සූරියවැව පඩිකෙම්ගල විහාරයේ බෝධින් වහන්සේ 
රෝපණය කර තිබුණේ පාත්‍රයකද?

 

පුරාණ රෝහණයේ ප්‍රථම පාලකයා වූයේ අනුරාධපුරයේ රජ කළ දේවානම් පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ මහානාග යුව රජුය. මිහිඳු මා හිමියන් උතුම් වූ බුදුදහම ගෙන මෙරටට වැඩම කරන ලද්දේද අනුරාධපුරයේ රජ කළ දේවානම් පියතිස්ස රජුගේ කාලයේදීය. එම රජුගේ සොහොයුරු මහානාග යුව රජුට විරුද්ධව එකල රජගෙය තුළම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බැවින් එයින් බේරී රුහුණට පළා ආ යුව රජු මාගම නගරය (වර්තමාන තිස්සමහාරාමය) අගනුවර කරගනිමින් රෝහණයේ රාජධානියක් පිහිටුවාගෙන ඇත.   


මෙසේ පුරාණ රුහුණු රාජධානියේ ආරම්භකයා වූ මහානාග රජු තිස්සමහාරාමය අවට යටාල විහාරය, නාගමහ විහාරය, උද්ධකන්දර විහාරය ඇතුළු විහාර රාශියක් කර තිබේ. එසේ මහානාග රජු විසින් කරවන ලදැයි ජනප්‍රවාදයේ සඳහන්වන විහාරයකි සූරියවැව පඩිකෙම්ගල රජ මහා විහාරය. එම විහාරයේ දක්නට ලැබෙන නටබුන් අතරින් එහි ඇති බෝධිඝරය පුරාණ රුහුණු රටේ නිර්මාණය වූ අලංකාරම බෝධිඝරය ලෙස විචාරක ආකර්ෂණයට ලක්ව තිබේ. එම අලංකාරය ඉක්මවා ගිය තවත් විශේෂත්වයක් එහි දක්නට ලැබේ. එනම් එහි නිර්මාණ ලක්ෂණ අනුව එම බෝධිඝරයේ තිබූ බෝධින් වහන්සේ පාත්‍රයක සිටුවා තිබූ බවට පෙනීයාමයි.   


හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලවේ ගම් නිම්නයේ පිහිටා ඇති පඩිකෙම්ගල රජ මහා විහාරය පිළිබඳව වංශකතා සාධක විරල වේ. එසේම සමස්ත විහාර භූමියම මේ දක්වා පුරාවිද්‍යා කැනීමකට බඳුන් වී නොමැති බැවින් සෙල් ලිපියක් හෝ සොයාගෙන නොමැතිවීමද එහි ඉතිහාසය ගොඩනැගීමට බලපා තිබේ. එම නිසාවෙන් විහාරයේ ඉතිහාසය ගොඩනැගීමට සිදුවී ඇත්තේ විහාරභූමිය පුරා දක්නට ලැබෙන නටබුන්වල ස්වභාවය අනුවය. අක්කර 50ක පමණ භූමියක විහාරයට අයත් නටබුන් විසිරී පවතින අතර දැනට කැනීම් මගින් මතුකරගෙන ඇති පිළිමගෙයි නටබුන්, පැරැණි ගොඩනැගිලිවලට අයත් දැනට ශේෂව පවතින දැවන්ත ගල් කණු, අලංකාර මුරගල්, යන්ත්‍රගල්, සිරිපතුල් ගල් කියාපාන්නේ අනුරාධපුර යුගයේදී මෙම විහාරය රුහුණේ ඉතා සශ්‍රීක විහාරයක් ලෙස කිතුගොස පතුරා සිටි බවය.   

 

 

 


පඩිකෙම්ගල රජමහා විහාරයේ දක්නට ලැබෙන බෝධිඝරය මෙරටින් වාර්තා වී ඇති අලංකාරම බෝධිඝරයක් ලෙස හැඳින්විය හැකිවන්නේ එහි දක්නට ලැබෙන නිර්මාණ ලක්ෂණයන්හි සුවිශේෂිතාව හේතුවෙනි. කාලයාගේ ඇවෑමෙන් පස් හා ගස් අතර සැඟවී පැවැති බෝධිඝරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැනීම් මගින් මතුකර පසුව සංරක්ෂණය කර තිබේ. අට්ටාශ්‍රයක (පැති අටක) හැඩයකින් යුත් බෝධිඝරය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. පිටත මාලය ගඩොල් බිත්ති සහ ඒ මත සිටවූ ගල් කණු යොදාගෙන කර තිබෙන අතර දැනට ගල් කණු දෙකක් පමණක් ශේෂ වී පවතී. එමගින් පැහැදිලි වන්නේ පිටත මාලය හා සම්බන්ධව පැවැති වහලයක් මෙම බෝධිඝරය වෙනුවෙන් එකල නිර්මාණය කර තිබී ඇති බවය. එම මාලකයෙන් ඇතුළු වූ විට අපට හමුවන්නේ බෝධිඝරයේ අලංකෘතම නිර්මාණයයි. මාර්බල් පාෂාණයෙන් අට්ටාශ්‍රයක හැඩයට නිරමාණය කර ඇති මෙම කොටසේ විෂ්කම්භය මීටර 3.5කි. උස මීටර 1.20කි. එහි ඇතුළට ප්‍රවිශ්ට වීම සඳහා සෙ.මී. 80ක පමණ පළලින් යුතු පිවිසුමක්ද වේ. බෝධිඝරයේ අලංකාරම නිර්මාණය මෙම කොටස වන අතර එය බොරදම් පේළි, ඇත් හිස් පෙළක් හා වාමන රූප පෙලකින් ද අලංකාර කර තිබේ. ප්‍රවේශ දොරටුව හැර සෙසු පැති හතෙහි මධ්‍යයේ විෂ්කම්භය සෙ.මී. 9ක් පමණ වූ වෘත්තාකාර පුවරුවල බුදු සිරිතේ අවස්ථා කැටයම් මගින් නිරූපණය කර තිබේ. කාලයාගේ ඇවෑමෙන් එම කැටයම් පුවරු හඳුනාගත නොහැකි ලෙස විනාශ වී ඇති මෙම වෘත්තාකාර පුවරුවලින් දැනට හඳුනාගත හැකි ලෙස ශේෂ වී ඇත්තේ සුජාතා සිටු දියණියගේ කිරිපිඬු පූජාව දැක්වෙන කැටයම් ඵලකය පමණි. මෙම කොටසේ ගල් පුවරුවල ඉහළ එක් පැත්තක 2 බැගින් වනසේ සැකැසූ සතරැස් සිදුරු දක්නට ලැබෙන අතර මේවා බොහෝදුරට පිටත මාලයේ වහලය සමග සම්බන්ධතාවයක් දැක්විය හැකි බව පෙනේ. එනම් ඒවා දැව හෝ ගල් කුලුනු සවිකර තිබූ විවර විය හැකිය.   

 

 


බෝධිඝරයේ මධ්‍යය කොටසේ පිවිසුමෙන් ඇතුළු වූ විට එහි මැද දක්නට ලැබෙන්නේ සෙ.මී. 27ක පමණ උසකින් හා පතුලේ විෂ්කම්භය සෙ.මී. 50ක් හා ඉහළ විෂ්කම්භය සෙ.මී. 30ක් පමණ වූ වෘත්තාකාර කුඩා වේදිකාවකි. බිම ඇතිරූ ගල්පුවරු මත ගලින්ම නිර්මාණය කර ඇති මෙම නිර්මාණයේ ස්වභාවය අනුව බෝධිඝරයේ මධ්‍යයේ බෝධි වෘක්ෂයක් රෝපණය කිරීමට හැකියාවක් නොමැති බව පෙනේ. බෝධිඝරය මතුකර ගැනීම සඳහා කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී ගලින් කරන පාත්‍රයක කොටසක් මෙහි ඇතුළතින් හමුවී ඇති අතර ජනප්‍රවාදයේ පවතින මතය වන්නේද මධ්‍යයේ පිහිටි පීඨිකාව මත තැබූ පාත්‍රයක බෝධීන් වහන්සේ රෝපණය කර තිබෙන්නට ඇති බවය. ජනප්‍රවාදගත මතයන් හා බෝධිඝරයේ නිර්මාණ ලක්ෂණ දෙස බැලූවිට පෙනීයන්නේ එකල එහි පාත්‍රයක සිටවූ බෝධීන් වහන්සේ නමක් පැවැති බව සැලකීම යුක්ති සහගත බවය.   

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  රත්නපුර