සත්‍යජිත් රායිගේ ‘පාතර් පංචලී’ එක්දහස් නමසිය හැත්තෑ ගණන්වලදී දැක ගන්නට අපට අවස්ථාවක් නොවීය. ’පාතර් පංචලී’ පමණක් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ පවා දැක ගැනීම අපහසු කරුණක් විය.
එකල කැසට්, සී.ඩී., ඩී.වී.ඩී. හෝ අන්තර්ජාලය නොවීය. ඉඳහිට අප්‍රකටව කොහේ හෝ තානාපති කාර්යාලයක පෙන්වන විශේෂ දැක්මක් හැර කලාත්මක චිත්‍රපට බලාගැනීමේ අවස්ථාවක් හැත්තෑ ගණන්වල බොහෝ තරුණ රචකයන්ට නොතිබිණ.
කලාත්මක චිත්‍රපට දැක ගැනීමේ පිස්සුව අවුළුවාලූ කථිකයන් අතර එදා පෙරමුණේ සිටියේ තිස්ස අබේසේකරයන්ය. ‘පාතර් පංචාලී’ චිත්‍රපටයේ ඕපු හා දුර්ගාගේ චරිත රායි ඉදිරිපත් කළ ආකාරය එහි රාමු මෙන්ම සංගීතය යොදාගන්නා ආකාරය තිස්ස ඇතැම් දේශනයකදී විස්තර කරනුයේ ‘පාතර් පංචලී’ අප නෙත් හමුවේ මවාපාමිනි. ඔහු එතරම්ම ආකර්ෂණීය දේශකයෙකු විය.
එහෙත් තිස්ස කිසිම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගත්තෙකු නොවේ. කිසියම් රෝගී තත්ත්වයක් නිසා ඔහු වයස අවුරුදු එකොළහ වනතුරුම ගෙදර සිටියේය. එහෙත් ප්‍රභූ පැලැන්තියට අයත් වූ ඔහුගේ පියා ආතර් සොලමන් ද ෆොන්සේකා ගෙදරට ගුරුන් ගෙන්වීමෙන්ද, නුගේගොඩ පෞද්ගලික ඇකඩමියකදී ද තිස්සට අකුරු කරවූ බව කියැවේ. (1939 මැයි 07 වැනිදා උපන් තිස්ස ආනන්ද ද ෆොන්සේකා පසුව තිස්ස අබේසේකර ලෙස නම වෙනස් කර ගත්තේය. ඔහු අප අතරින් වෙන් වූයේ 2009 අප්‍රේල් මස 18දාය).
පසුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඇතුළුවුණු තිස්ස, එකල එගොඩවත්ත ගම මායිමේ තිබූ කැම්ප් එකේ සිටි සුදු ජාතිකයන් සමග ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනු දුටු ගමේ දරුවන් මවිතයට පත්වූ බව රංගවේදී ජී.ආර්. පෙරේරා පවසයි. ඒ ‘නික්ම නොගිය අප්‍රමාණ මිනිසා’ නම් තිස්ස අබේසේකර උපහාර කලාපයට ලියූ ලිපියකිනි. තිස්සගේ බාල කාලයේ තොරතුරු බොහොමයක් එහි දැක්වෙයි.
කුඩාම කලදී විධිමත් අධ්‍යාපනයක් නොලද මේ අප්‍රමාණ මිනිසා පසු කාලයේ විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්ය, මහාචාර්යවරුන්ට වඩා දැනුමෙන් සන්නද්ධ විදග්ධයෙක් විය. ඒ නිසාම ඔහුට කොළඹ විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යසූරී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමිණ. එතැන් පටන් ඔහු ආචාර්ය තිස්ස අබේසේකර වූයේය.
“මා ලද දැනුම විශ්වවිද්‍යාලයක විධිමත් ලෙස ලබාගත් දැනුමක් නෙමෙයි. විධිමත් ලෙස ලබාගත් දැනුම වටිනවා” යන්න ඔහුගේ අදහස විය. ඔහු කෙතරම් සමාජයට බලපෑමක් කළ කලාකරුවෙකු දැයි කිවහොත් 2013 නොවැම්බර් 27 වැනිදා ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් විය.
තිස්ස අබේසේකරයන් මුදල් ලද බොහෝ විටෙක ඒවා ඉතිරි කර ගත්තේ පොත් මිලදී ගැනීමටය.
“මම රුපියල් 25,000ක් ඉතුරු කරගෙන ඉන්නවා. හැමෝටම හොරෙන්, පොත් ටිකක් ගන්න” ඔහු වරෙක ඔහුගේ නිර්මාණවලට දායක වූ සෝමවීර ගමගේට කීවේය.
එහෙත් තිස්ස වරෙක හිතුවක්කාරයෙකි. විටෙක දරදඬු පුද්ගලයෙකි. ස්වීඩන් ජාතික ඉග්මාර් බර්ග්මාන් නම් විශිෂ්ට සිනමාකරුවාගේ චිත්‍රපට උළෙලක් තිස්ස අබේසේකරයන් සංවිධානය කළේ 80 දශකයේදී අග භාගයේදී විය යුතු යයි සිතමි.
මේ කාලය වන විටද කලාත්මක චිත්‍රපට දැක ගැනීමට අවස්ථාවක් ලැබුණේ තානාපති කාර්යාල හරහා ඉදිරිපත් කරන මෙවැනි චිත්‍රපට උත්සවවලිනි. සෙවන්ත් සීල් වයිල්ඞ් ස්ට්‍රෝබෙරි (ආදී බර්ග්මාන්ගේ මුල් යුගයේ චිත්‍රපට කිහිපයක් සමග 1982දී නිර්මාණය කළ ‘ෆැනී ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්’ නම් විශිෂ්ට චිත්‍රපටයද මේ උත්සවය සඳහා ප්‍රදර්ශනය කිරීමට සැලැසුම් කර තිබිණ. එහෙත් ‘ෆැනී ඇන්ඞ් ඇලෙක්සැන්ඩර්’ චිත්‍රපටය පරීක්ෂක මණ්ඩලය මගින් වාරණය කෙරිණ. එයට හේතුවූයේ එහි ඇති දෙබසක ඇති එකම එක වචනයකි. බටහිර චිත්‍රපටවල ඕනෑතරම් කියැවෙන මේ වචනය චිත්‍රපට උත්සවයක චිත්‍රපටයක් වාරණය කිරීමට හේතුවක් නොවේ. තිස්ස මෙයට තදින්ම විරෝධය පෑවේය. ඒ සඳහා මතයක් ගොඩනැගීම සඳහා ඔහු පුවත්පත් දර්ශනයක් සූදානම් කළේය.
චිත්‍රපටය ආරම්භ කරන්නට විනාඩි කීපයකට පමණ පෙර තිස්ස ශාලාවට ඇතුළු විය. එහි ඉදිරි පෙළේ අසුනක සිටියේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. මාධ්‍ය දර්ශනයකට පැමිණි අධ්‍යක්ෂවරයා මාධ්‍යවේදීන්ට පැනවූ අසුනක වාඩිවී සිටීම අසාධාරණ යැයි තිස්ස සිතන්නට ඇත.
“මේ ෂෝ එක ප්‍රෙස් එකට. ඒක නිසා කරුණාකරල ගිහින් පිටිපස්සෙන් වාඩිවෙන්න. තිස්ස කෙළින්ම කීවේය.
තිස්සගේ හැටි එහෙමය. ඔහු කිව යුතු දේ කෙළින්ම කියන්නෙකි.
වරක් ජනප්‍රිය සිනමා නිළියක නිෂ්පාදනය කළ චිත්‍රපටයක තිර කතාව ලීවේ තිස්සය. එක් ජනප්‍රිය නළුවෙකු එහි එක් චරිතයක් සඳහා තෝරා ගැනිණ. තිර කතාව රංග ශිල්පියා වෙත යැවුණේය. තිර කතාව කියැවූ රංග ශිල්පියා කීවේ ඔහුගේ චරිතය චිත්‍රපටයේ ගොඩනැගෙන්නේ විශ්වසනීයත්වයෙන් තොරව බවය. තිස්සට මේ බව දැන්විණ. තිස්ස ගත් කටටම කීවේ ඔහු තිර කතාව වෙනස් නොකරන බවය. පසුව එම නළුවා වෙනුවට වෙනත් නළුවෙකු යොදාගෙන චිත්‍රපටය රූගත කෙරිණ.
තමා ලියූ තිර කතා වෙනස් කරනවාට තිස්ස කැමැති නොවීය. එමෙන්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන විට ඔහු දර්ශන තලයේදී හැසිරෙන්නේ ආඥාපතියෙකු මෙනැයි බොහෝ අය කියති.
ඔහු ‘මංමුළා වැල්’ නමින් අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගත්තේ 1981දීය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බෙනඩික්ට් දොඩම්පෙගමගේ වස්තු බීජයක් අනුව තිස්ස ලියූ එම චිත්‍රපටයේ එක් දර්ශන පෙළක් රූගත කිරීමට සූදානම් කළේ උඩුපුස්සැල්ලෑවේ වතු බංගලාවකය.
‘මං මුළාවැල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ධම්ම ජාගොඩ (වතු අධිකාරී), ස්වර්ණා මල්ලවආරච්චි (මානසික අවපීඩනයට පත්වූ බිරිඳක්), විජය කුමාරතුංග (කොළඹින් එන මිතුරෙක්), යූ. ආරියවිමල් (විජයගේ මිතුරා), දයා අල්විස් ආදී ජනප්‍රිය නළු නිළියන් පිරිසකි. එහි සහය අධ්‍යක්ෂවරයා වූයේ දයාරත්න රටගෙදරය. දෙවැනි සහාය අධ්‍යක්ෂ තිලක් අබේසිංහය.
‘මංමුළා වැල්’ විශේෂාංගයක් ලියමුයි මට යෝජනා කළේ රටගෙදරය. ඒ සඳහා කොළඹ සිට නුවරඑළියේ උඩුපුස්සැල්ලාවට වාහන පහසුකම්ද සැපයිණ. එදින තිලක් මා රැගෙන යන්නට ආවේ මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයකිනි. හැන්දෑවේ පහට පමණ මුලින්ම මගේ දෙමටගොඩ බෝඩිමෙන් ඔහු මා වාහනයට නංවා ගත්තේය. ඊළඟට ගන්නට තිබුණේ යූ. ආරියවිමල්ය.
එදා සුගතපාල ද සිල්වාගේ ‘ඇසළ සඳ අවන්හල’ වේදිකා නාට්‍යයේ දර්ශන දෙකක් නාරාහේන්පිට ශාලිකා රඟහලේ පැවැත් විණ. සමහරවිට ආරි කියන්නට ඇත්තේ සවස 03.30 දර්ශන්‍යෙන් පසුව උඩුපුස්සැල්ලෑවට යාමට එන බව විය යුතුය. එහෙත් ඔහු සවස 06.30 දර්ශනයේද රඟපෑවේය.
කෙසේ හෝ විජය කුමාරතුංගයන් කොළඹ රොස්මීඞ් මැදුරෙන් ගන්නා බව පවසා තිබුණේ සවස 07.30ටය. ඇතැම් විටෙක විජය ප්‍රමාද වේ යැයි ආරි සිතුවා වන්නටද බැරි නැත. වාහනය පැදවූයේ දෙගොඩහරි වයසේ රියැදුරෙකි. ඔහු මහත් විඩාපත් බවක් පළ කළේය.
අපි ආරි එනතුරු නාරාහේන්පිට ශාලිකාව ළඟ රැකගෙන සිටියෙමු. නාට්‍යය නිමවන විට රාත්‍රී 09.30ට පමණ විය. ඉන්පසු මධු සාදය පටන් ගත්තේය. තිලක් වරින් වර ගොස් ආරිට ගමන ගැන සිහිපත් කළද මධු පාන සාදය නිමවන විට රාත්‍රී 11.00ද පසුවිය.
ආරිත් රැගෙන ඊළඟට ගියේ රොස්මීඞ් මැදුරටය. අවට හැල හොල්මනක් නැත. එකල විජයගේ චිත්‍රපට කටයුතු හා දේශපාලන කටයුතුවලට වෙලාවක් අවේලාවක් නැති නිසා මුරකරුවෝද අපට ඇතුළට යන්නට අවසර දුන්හ.
ගෙඋයනට ඇතුළු වී සීනුව නාද කළද ප්‍රතිචාරයක් නොලැබිණ. ඊළඟට තිලක් කළේ “විජය අයියේ විජය අයියේ” කියා කතා කිරීමය.
දෙතුන් වරක් කතා කතා කිරීමෙන් පසු උඩුමහලෙන් හඬක් නැගිණ.
“කවුද මේ මහ රෑ ?” ඒ විජයගේ හඬය.
“තිස්ස අයියගෙ ෂූටින්වලට එක්කගෙන යන්න ආවෙ.”
“මට බෑ. එනව කිව්වෙ කීයටද? දැන් වෙලාව කීයද?” විජයගේ හඬ් තිබුණේ නොරුස්සන බවකි.
“අනේ විජේ අයියෙ. හෙට උදේ ෂූටින්. තිස්ස අයියගෙන් ඉන්න වෙන්නෑ.”
“මට බෑ. දැනගන්න ඕන වෙලාවට එන්න.”
එහෙත් මඳ වෙලාවක් යත්ම විජය බෑගයකුත් අතැතිව පහළට බැස ආවේය. ඔහු හැඳ සිටියේ නිරතුරුවම ඔහු නිතරම ප්‍රිය කළ අත් කොට කමිසය හා බතික් වර්ගයේ සරමකි. ඉන්පසුව බෑගය රථයේ පිටුපසට දැම්මේය. ඔහුට ඉදිරි අසුන පිරිනැමිණ. තිලක්, මා සහ ආරි පිටුපස අසුනේය.
මයිනර් රථය සෙමින් රොස්මීඞ් ගෙඋයනෙන් පිටත් විය. රථය මඳ දුරක් ඇදී ගියේය. එය පැදවෙන්නේ ඉතා සෙමිනි. මේ වන විට වියපත් රියැදුරු වඩාත් වෙහෙසට පත්ව සිටියේය.
“අන්කල් ඔහොම ගිහිල්ල හෙට උදේ නෙමෙයි, අනිද්දා උදේටවත් පුස්සැල්ලාවට යන්න වෙන්නෙ නෑ. මෙන්න මෙහෙට වෙන්න.” යැයි කියමින් විජය රථයෙන් බැස්සේය. රියැදුරු විජයගේ අසුනට ආවේය. විජය රියැදුරු වූයේය. පසුදා උදෑසන හයවන තුරුම නුවරඑළියේ උඩුපුස්සැල්ලාව කරා රථය පැදවූයේ විජය කුමාරතුංගය.
අද සිතන විට මොරිස් මයිනර් රථයකින් කඳු, පල්ලම්,වටවංගු හා මීදුම පිරි පාරක මහ රෑ ගමන් කිරීම කෙතරම් දුෂ්කරද? ජනප්‍රියත්වයේ වැජඹුණු තාරකාවක් මෙවැනි කාර්යයකට මැදිහත් වීමම විමතියක් නොවේද ?
උදේ නමය පමණ වන විට මුළු රෑම නිදි මැරූ විජය තිස්සගේ රූගත කිරීමට සූදානම්ව සිටියේය. තිස්සගේ ‘මංමුළා වැල්’ චිත්‍රපටයේ වේෂ නිරූපණ ශිල්පියා වූයේ සුප්‍රකට නළුවෙකු හා නිෂ්පාදකවරයෙකු වන ශේෂා පළිහක්කාරය. සහාය වසන්ත විට්ටච්චිය.
පසු කලෙක සම්මානනීය සිනමා කැමරා ශිල්පියෙකු හා සිනමා ග්‍රන්ථ කීපයක් රචනා කළ එම්.ඩී. මහින්දපාල නිශ්චල කැමරා ශිල්පියා විය. වර්තමානයේ ජාත්‍යන්තර කීර්තියට පත් කලා අධ්‍යක්ෂ එරල් කෙලී එහිදී කලා අධ්‍යක්ෂවරයා විය.
තිස්ස සුපුරුදු ආඥා දායකත්වය පතුරුවමින් වතු බංගලාවේ අධ්‍යක්ෂණ කටයුතුවල යෙදී සිටියේය. හිටි ගමන්ම අප අසලට දිව ආවේ යූ. ආරියවිමල්ය. ඔහු හඬමින් සිටියේය.
“ඇයි ආරි? ”
“තිස්ස අයිය මට බැන්නා”
“ඇයි ඒ? ”
“ඔය විදිහට වැඩ කරන්න බෑ කියල. ”
මධු සාදයකින් පසුව මුළු රෑම නිදි වරා සිටි ආරි මහත් සේ විඩාපත්ව සිටින්නට ඇත.
“මම කවදාවත් මචං මගෙ ජොබ් එක හරියට නොකර ඉඳල තියෙනවද?” ඔහු බොහෝ වේලාවක් තම දුක කියමින් ළතැවුණේය.
ලින්ටන් අධිපති මුනිදාස සිල්වා නිෂ්පාදනය කළ මංමුළා වැල් පසුව අතරමග නැවතිණ. විජය කුමාරතුංගයන් තිස්සගේ බිරිඳ අසංකා සමග මෙය යළි නිෂ්පාදනය කිරීමට උත්සාහ කළද සාර්ථක නොවිණ.
දයා රාජපක්ෂයන්ගේ ‘හතේ වසම’ චිත්‍ර කතාව ඇසුරෙන් මා ටෙලිනාට්‍යයක් නිපදවීමේදී තිස්ස එහි චරිතයකට ගනිමුයි යෝජනා කළේ සිනමා නළු සෝමවීර ගමගේ හා නිෂ්පාදක සරත් සූරියබණ්ඩාරය. මම ඊට තදින්ම විරුද්ධ වීමි. පළමු වැනි කරුණ වූයේ ඔහු නම් දැරූ නළුවෙකු, තිර කතා රචකයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීමයි. ඇතැම් විට මගේ අධ්‍යක්ෂණ කටයුතුවලදී ඔහු බලපෑම් කරන්නට පිළිවණ. දෙවැන්න හතේ වසමේ පොලිස් අධිකාරි චරිතය තිස්සට තරම් නොවීමයි. එය නාට්‍යය පුරා විහිද යන්නක් නොවේ.
එහෙත් අවසානයේදී මම ඊට කැමැති වීමි. තිස්ස තිර කතා පිටපත හෝ චරිතය ගැන ඇසුවේ නැත. ඔහු මහත් ප්‍රබෝධයෙන් යුතුව උදෙන්ම දර්ශන තලයට පැමිණියේය.
මම ඔහුට පිටපතේ දර්ශන කීපය කියවන්නට දුනිමි. දර්ශනය මඳක් විස්තර කළෙමි. තිස්සට රඟපාන්නට තිබුණේ ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහයන් සමගිනි. තිස්ස දෙබස් කියවා ධාරණය කර ගත්තේය.
“මම මේ විදිහටයි ඩයලොග් කියවන්නේ” යි කියමින් ඔහු මා ඉදිරිපිට දෙබස් කියැවූයේය.
“ඔයාට ඕන වෙන විදිහක් නම් කියන්න”
ඔහුගේ දෙබස් උච්චාරණය හරියටම නිවැරදි විය.
“මම ටිකක් වැඩිපුර ෂොට්ස් ගන්නවා.” මම කීවෙමි.
“මට කමක් නෑ. ඔයාට ඕනැ ෂොට්ස් ටික කියන්න.”
මේ මහා සිනමාකරුවා, විදග්ධයා කුඩා දරුවෙකු මෙනි. කැමරාව මෙහෙය වූයේ ජ්‍යෙෂ්ඨතම කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ එම්.ඒ. ගෆූර්ය.
“අපි ඉස්සර ගෆූර් ෆිල්ම් කරන කොට බොහෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා” ඔහු ගෆූර් දෙස බලා කීවේය.
ටෝනිගේත්, තිස්සගේත් දර්ශන කොතරම් සාර්ථක වීද යත් තවත් දර්ශන තුනක්ම තිස්ස වෙනුවෙන් එවෙලේම ලියන්නට අපි අදහස් කළෙමු. දයා එවෙලේම දර්ශන කිහිපයක් ලීවේය.
දර්ශන පහක් හෝ හයක් එදින තිස්ස සමග රූගත කළ බව මට මතකය. ඉන්පසු එකලද මඳ රෝගී තත්ත්වයෙන් පසුවූ තිස්ස තවත් දර්ශනයක රඟපෑම එදින ප්‍රතික්ෂේප කළේය.
“මම ඔයා හින්ද පේන් කිලර්ස් අරගෙන මේ වැඩේට ආවෙ. දැන් මට අමාරුයි” මොනතරම් සොඳුරු නිහතමානී උතුම් මිනිසෙක්ද?
මා වෙනුවෙන් තම අසනීපය නොතකා තිර පිටපතවත් කියවන්නේ නැතුව රඟපාන්නට පැමිණීම ඔහුගේ නිහතමානී බව පසක් කරවන්නක් නොවේද?
තිස්ස අපූරු කතාවක් කීවේ ‘ගඟ අද්දර’ චිත්‍රපටය දෙවැනි වර තිරගත කිරීම වෙනුවෙන් පැවැත්වූ සාදයකදීය. ඒ වන විටි ‘ගඟ අද්දර’ මහත් සේ ජනප්‍රියත්වයට පත්වූවා පමණක් නොව එය චිත්‍රපට සම්මාන උත්සව කීපයකදීම සම්මාන රැසක්ද හිමිකර ගත්තේය. එකල බොහෝ දෙනා ගඟ අද්දර තිර කතාව ගැන කතා කළහ.
ඇත්තෙන්ම ලෙටිෂියා බොතේජුගේ දීර්ඝ නවකතාවක් වූ ගඟ අද්දර සාර්ථක සිනමාත්මක නිර්මාණයක් වූයේ තිස්සගේ තිර කතාව නිසාවෙනි. තිස්ස කතා කරමින් සිටි අතර මම ඔහු ළඟට ගොස් තිර කතාව ගැන මතක් කෙළෙමි. එවෙලේ ඔහු ඒ තිර කතාවට අය කළ මුදලද කීවේය. එය මුදල් අවශ්‍යතාව ඇති විටෙක ආ හොඳ අවස්ථාවක් බවද කීවේය.
“ගඟ අද්දර තිර කතාව හරිම ප්‍රබලයි. මෙච්චර සාර්ථක වුණේ ඒකයි” මම කීවෙමි. ඔහුගේ පිළිතුරෙන් මම විපිලසර වීමි.
“ඔයා එහෙම කියනවා. ගඟ අද්දර ඔක්කොටම වගේ සම්මාන ලැබුණා. තිර කතාවට විතරයි සම්මානයක් නොලැබුණේ.”
තිස්සගේ එම කතාව එදා පමණක් නොව වර්තමාන සිනමා සම්මාන උත්සවවලටද වලංගු යැයි මට සිතෙයි.
රොඞ්නි විදානපතිරණ
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
සහෝදරියන් දෙදෙනෙක් රඟපාන අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකින්. ‘‘පියුමාලි එදිරිසිංහ සහ සිත්මි එදිරිසිංහ මේ විදිහට අපට හමුවන තුරුණු රංගන ශිල්පිනියන් දෙ
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
තිස්ස වෙනුවෙන් විජය