සැදැහැවත් බෞද්ධයන් තෙල්, මල්, පහන් ගෙන විහාරයට යන්නේ උතුම් වූ බුද්ධාලම්භන ප්‍රීතියෙනි. විහාරය හාත්පස ඇසගැසෙන්නේ ද වීතරාගී හැඟීම් ගෙනෙන දසුන්මය. බුද්ධ ධාතුන් නිදන් කර සෑදුවා වූ ස්වේත වර්ණයෙන් දිලෙන චෛත්‍යය, බුදුරදුන්ට සෙවණ දුන් හරිත පැහැයෙන් දිලෙන බෝධිරාජයාණන් හා බුද්ධ රූපය නෙත කැන්දන බුද්ධ ප්‍රතිමාවන්ය. එවන් පහන් හැඟුමන් ගෙනෙන විහාරයක බුද්ධ ප්‍රතිමාව සහිත පිළිම ගෙයි මිනිස් සිත කාමයට යොමු කරන කාමයට අධිපති මල්සරාගේ එනම් අනංගයාගේ ප්‍රතිමාවක් ඇතැයි කිවහොත් ඔබ උරණ වනවා නොඅනුමානය. නමුත් එය සත්‍යයකි. අපි මේ දකින්නට යන්නේ තෙල්වත්ත, තොටගමුව පුරාණ විහාරයේ දක්නට ලැබෙන අනංග රූපයයි.   

 

 

ගාල්ල දිස්ත්‍රික්කයේ තෙල්වත්ත ග්‍රාමයේ පිහිටා ඇති තොටගමුව පුරාණ විහාරයේ ආරම්භය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්වා දිවෙන බවට ජනප්‍රවාදයේ පවතී. ඒ අනුව ක්‍රි.පූ. 2 සියවසේදී බිහිසුණු මුහුදු ගොඩගැලීමක් සිදුව ඇති අතර පොළෝතලය මුහුදට බිලිවන මොහොතෙහි තොටගමු විහාරයේ දිසා පිළිමවහන්සේ වැඩ හිඳුවා රට රැකගැන්ම අසිරිමත් සිදුවීමක් බව ගිරා සන්දේශයේ ද සඳහන් කර ඇත.   


එතරම් ඈතට යන ඉතිහාසයක් පිළිබඳව සාධක නොමැති වුවද අනුරාධපුර අවධිය දක්වා දිවෙන සාධක විහාරයෙන් ලැබේ. විහාරයේ දැනට ශේෂව පවතින නාථ දේවාලයට අයත් ගල් ටැම් හතරේ දක්නට ලැබෙන අක්ෂර ක්‍රි.ව. 8 වන සියවසට අයත් වන බව පෙනේ. එසේම විහාරයේ චෛත්‍යය ඉදිරිපිට තැන්පත් කර ඇති නෙළුම් මල් මෝස්තර සහිත ගල් ආසනය අනුරාධපුර අවධියට අයත් වන බවට මත ඇත. දේවානම්පියතිස්ස රජුගේ සොයුරු මහානාග කුමාරයා මෙම විහාරය කරවූ බවටද ජනප්‍රවාදයේ පවතී.   
සැළලිහිණි සන්දේශය රචනා කරන ලද මහා කවි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ විසූ විහාරය වන මෙය 15 වන සියවස වන විට උසස් විද්‍යාපීඨයක් ලෙස පැවැත ඇත. යටත් විජිත සමයේදී ජරාජීර්ණ වූ විහාරය නැවත කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (ක්‍රි.ව.1780) කාලයේදී එළිපෙහෙළි කර සංවර්ධනය කර ඇත. තොටගමුව විහාරයේ දක්නට ලැබෙන මහනුවර සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් හේතුවෙන් එය දෙස් විදෙස් හි ප්‍රචලිත වී තිබේ.   


තොටගමුව විහාරයේ අලුත් විහාරය හා පරණ විහාරය ලෙස පිළිම ගෙවල් දෙකක් වේ. මෙහි මහනුවර රාජධානි සමයට අයත් අලුත් විහාරයේ ප්‍රවේශන ශාලාවේ සිට ගර්භයට පිවිසීම සඳහා දොරටු දෙකක් වන අතර එහි දක්නට ලැබෙන විශාල මකර තොරණ දෙක අතර ලංකාවේ වෙනත් කිසිදු විහාරයක දක්නට නොමැති අනංග දේව ප්‍රතිමාව දැකිය හැකිය.   
ලංකාවේ විහාර සිතුවම් අතර කොතෙකුත් දෙවිවරුන්ගේ රූප දක්නට ඇතත් කිසිදු ස්ථානයක අනංගයාගේ රූපයක් දක්නට නොලැබේ. කාමයට අධිපති වූ හින්දූන් විසින් කාම දේව ලෙසද, බෞද්ධයන් “මාරයා” ලෙසද හඳුන්වන මෙම රූපය උක් දඬු දුන්න හා පංච විද ඊතලද අතට ගෙන හිටි ස්වරූපයෙන් සිටී. දෙවියන්ගේ හිස ස්ථර කිහිපයකින් යුත් ශීර්ෂාභරණයෙන්ද, සිරුර පුරා ආභරණද, උඩුකය උතුරු සළුවකින්ද හා පා සලඹ සහිතව මූර්තිමත් කර ඇත. ප්‍රතිමාවේ උස අඩි 7ක් පමණ වේ. වම් අතෙහි උක්දඬු දුන්න ඇති අතර එහි දුනුවැල දිය බඹර වැලකින් නිර්මිතය. දකුණතෙහි පංචවිද ඊතල වේ. ඒවාට නෙළුම්, අශෝක, අඹ, දෑ සමන් හා නිල් මහනෙල්වල පැණි හා විස පොවා ඇති බව සාහිත්‍යයේ සඳහන් වේ. මුහුණේ මඳ සිනහවකි.   


බෞද්ධ විහාරයක පිළිම ගෙයි මල්සරාගේ රූපය මූර්තිමත් කළේ ඇයිද යන ගැටලුව බොහෝ දෙනා තුළ පැනනගී. මූර්ති ශිල්පීන් මොහු වසවර්ති මාරයා ලෙස සලකා කාමාවචර දෙව් ලොවට අධිපතියා ලෙස බුදුරදුන්ට බුද්ධත්වයට බාධා කළ බවත් සලකා මෙහි නිර්මාණය කළ බවට එක් මතයකි. බෞද්ධ චර්යා මාර්ගයට ඉඳුරා පටහැනි චර්යා රටාවක් ඇති අයෙකි අනංගයා. මෙම අනංග මූර්තිය බිත්තියට අල්වා සාදා ඇති හෙයින් විහාර මන්දිරය පුද්ගලයා තුළ රාගය මෙල්ල කරන ස්ථානයකි යන අදහසින් මෙම මූර්තිය කර ඇති බවටද මතයක් වේ.   


තොටගමුව විහාරය වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් විහාර මන්දිර දෙකෙහි ඇති බුද්ධ ප්‍රතිමා දැක වැඳ නමස්කාර කිරීමට පමණක් උත්සුක වන බැවින් මෙම අපූර්වතම මූර්තිය පිළිබඳ අවධානය ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇති බව පෙනේ. මෙම සිහිපත් කිරීමෙන් පසු ඔබ නැවත මෙම විහාරය වෙත පැමිණෙන්නේ නම් වෙන කිසිදු විහාරයක දක්නට නොමැති මෙම අනංග රූපය දැක බලා ගැනීමටද අමතක නොකරනු ඇත.  

 


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර