අඟහරු මතුපිටට ගවේෂණයට රොබෝ රෝවර් යානා යැවූ ඇමෙරිකාවේ නාසා ආයතනය මේ වනවිට අලුත් වික්‍රමයකට පිඹුරුපත් සකස් කරමින් සිටී. ඒ, අභ්‍යවකාශයට කුමුඳුවක් එසේත් නැතිනම් සබ්මැරීනයක් යැවීමටය. මෙම සබ්මැරීනය යැවීමට සූදානම් වන්නේ සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයකුටය. එම චන්ද්‍රයා ටයිටන් ය.

 

ටයිටන් චන්ද්‍රයාට මෙම ගවේෂණ රොබෝ සබ්මැරීනය යැවෙනු ඇත්තේ 2040 වසරේදීය.  ටයිටන් චන්ද්‍රයා අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සුවිශේෂී චන්ද්‍රයෙකි. පෘථිවියෙන් එපිට මතුපිට විල් සහ සාගර පිරුණු චන්ද්‍රයකු සිටින්නේ නම් ඒ ටයිටන් පමණි. ටයිටන්ගේ ඇති මේ ද්‍රව හයිඩ්‍රෝකාබන්ය. එසේත් නැනිනම් හයිඩ්‍රජන් සහ කාබන් සංයුතියකි. අප ජලය එසේත් නැතිනම් සරල බසින් කීවොත් වතුර යනු ඔක්සිජන් සහ හයිඩ්‍රජන් (්‍ය2ධ) සංයුතියයි. ටයිටන්ගේ මතුපිට ඇති මෙම ද්‍රව ජලාශ සහ සාගර අභ්‍යන්තරයෙහි ඇත්තේ මොනවාද ? ඒවා පිරී ඇති හයිඩ්‍රෝකාබන් දියරවල සැඟවුණු රහස් මොනවාද ? ආදිය සොයා බැලීමට මෙම සබ්මැරීනය එසේත් නැතිනම් කුමුඳුව යවනු ලැබේ. සබ්මැරීනය යැවෙනු ඇත්තේ ටයිටන්ගේ විශාලතම සාගරයටය. තාරකා විද්‍යාඥයන් මෙම සාගරය නම් කර ඇත්තේ, ‘ක්‍රැකන් මාරේ’ යනුවෙනි. 


ග්‍රීක දේව පුරාණයට අනුව ටයිටන් එසේත් නැතිනම් ටයිටන්වරුන් යනු දැවැන්ත මෙන්ම බිහිසුණු මෘගයෝය. මොවුන්ගේ අන්තිමයා ක්‍රෝනෝස්ය. ක්‍රෝනෝස් දැවැන්ත මුහුදු මෘගයකු නිර්මාණය කරයි. මේ මෘගයා ක්‍රැකන්ය. ටයිටන් චන්ද්‍රයාට ‘ටයිටන්’ යන නමත් එහි විශාලතම සාගරයට ‘ක්‍රැකන් මාරේ’ යන නමත් පටබැඳුනේ ඒ අනුවය.


ක්‍රැකන් මාරේ වර්ග කිලෝ මීටර් 4,00,000 ක් පුරා විහිදී පවතින සාගරයකි. එය මීටර් 300 ක් පමණ ගැඹුරු යැයි අනුමාන කෙරේ. එය උතුරු ඇමෙරිකාවේ මහා විල් එකට එක් කළා හා සමාන යැයි නාසා විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.


ටයිටන් සබ්මැරීනය ටොන් එකක් බරින් යුක්ත වනු ඇත. එය විදුලි සහ සූර්ය බලයෙන් පණ ගැන්වෙනු ඇති බවත් දින 90 ක මෙහෙයුමකට සම්බන්ධ කරන බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. සබ්මැරීනය ටයිටන් චන්ද්‍රයාට ගෙන යනු ලබන්නේ ද සුවිශේෂී ගගන යානයක් මගිනි. මෙම යානය ඇමෙරිකා ගුවන් හමුදාව මේ වනවිට භාවිතා කරන ‘එක්ස් 37’ යානයක් වැනි යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. යානය ටයිටන් චන්ද්‍රයාගේ වායුගෝලයට ඇතුළු වීමෙන් පසු, එට සබ්මැරීනය සාගරයට මුදා හැරීමට සිදුවෙයි. 


ටයිටන්ගේ වායුගෝලය බහුලව අන්තර්ගත වී ඇත්තේ හයිඩ්‍රජන් සහ මීතේන්වලිනි. ටයිටන්ගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 179 කි. සබ්මැරීනය ක්‍රියාත්මක වනු ඇත්තේ කිලෝ වොට් 1 ක රේඩියෝතර්මල් ස්ටර්ලිං වර්ගයේ විදුලි ජනකයකිනි. අධික සීතලට යානය මිදී නොයා එය ආරක්ෂා කිරීමට ද මෙම විදුලි ජනකයට හැකිවෙයි. ‘ක්‍රැකන් මාරේ’ සාගරයේ වඩදිය බාදිය සිදුවන්නේ කෙසේද යන්න ගැන ද සොයා බැලීම සිදුවෙයි. වඩදිය බාදිය සිදුවන එක් ටයිටන් දිනයක් පෘථිවි දින 16 කට සමානය.


ටයිටන් යනු සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයාය. පෘථිවිය හැරුණාම මතුපිට ද්‍රව අඩංගු එකම සාමාජිකයා ටයිටන්ය. ද්‍රව අයිස් ද ටයිටන් චන්ද්‍රයාගේ ඇතැයි පැවැසෙයි. ටයිටන් චන්ද්‍රයාගේ වායුගෝලය තුනීය. සෙනසුරුට චන්ද්‍රයන් සය දෙනකු සිටී. ඒවා අතරින් සුවිශේෂී චන්ද්‍රයා වන්නේ ද ටයිටන්ය. චන්ද්‍රයකු යැයි කීවත් ටයිටන් ග්‍රහලොවක් වැනි යැයි තාරකා විද්‍යාඥයන්ගේ අදහසය. මෙය අපේ සඳ එසේ තැනිනම් පෘථිවි චන්ද්‍රයාට වඩා සියයට 50 කින් විශාලය. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාලතම චන්ද්‍රයා ලෙස ද ටයිටන් සැළකෙයි. එය දෙවැනි වන්නේ බ්‍රහස්පතිගේ ගැනිමේඞ් චන්ද්‍රයාටය. ටයිටන් චන්ද්‍රයා සොයා ගනු ලැබුවේ ඕලන්ද තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියාන් හයිජන්ස් විසිනි.

 

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි