උතුරුකරයේ ජන විශ්වාස ගැන කතා කළ අප පසුගිය සතියේ පුනරින් මුලංකාවිල් කෝවිල ගැන වාර්තා කළා. අද අපි කියන්න යන්නේ තවත් වැදගත් කෝවිලක් ගැනයි. ඒ කිලිනොච්චියේ ධර්මපුරම්හි පුලියම් පොකුණ නාග තම්බිරාන් කෝවිල. මේ කෝවිලට වන්දනාමාන කරන්නත් විශාල පිරිසක් එනවා. මෙය අනුහස් සපිරි කෝවිලක් කියා බොහෝ දෙනකු විශ්වාස කරනවා. කෝවිලේ අනුහස් සහ ඊට යන එන උදවිය ගැන කතා කරන්න කලින් එහි ඉතිහාසය ගැන අපි කතා කරමු. කෝවිලේ ඉතිහාසය ගැන ගමේ අය විශ්වාස කරන කතාව තමයි මේ.
මුහුදෙන් වටවුණු අපේ රටේ උතුරු ප‍්‍රදේශය ඉස්සර කොටස් 13කට බෙදලා තිබ්බා කියනවා. කරෙයිච්චි කියන්නේ ඉන් එක් කොට්ඨාසයක්. ස්වභාව සෞන්දර්ය අතින් ඉතාම හොඳට තිබ්බ ප‍්‍රදේශයක් තමයි මේ ප‍්‍රදේශය. කරෙයිච්චි උතුරෙන් මුහුදෙනුත් අනෙත් තුන් පැත්තෙන්ම වැව්වලිනුත් වටවෙලා තිබිලා තියනවා. මේ නිසා ආරක්ෂාව අතිනුත් වැඩි බයක් නෑ. ගස් වර්ග, මල් වර්ග රැසක් මේ ප‍්‍රදේශයේ තිබ්බා. අලි, කොටි, වලස්සු, මුවෝ වගේ සත්තු වර්ග රැසක් ප‍්‍රදේශය ආශ‍්‍රිත වනාන්තරයේ හිටියා. එනිසා අර කිව්ව කොට්ඨාස 13න්ම හොඳම ප‍්‍රදේශය ලෙස සැලකුණේ මේ කරෙයිච්චි ප‍්‍රදේශයයි.
වේලන්මෙයි කියන්නේ ගොවිතැන. මේ ප‍්‍රදේශයේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ ගොවිතැන් කරන අයයි. ගොවිතැන ඉතා උසස් දෙයක් විදියටයි මේ ප‍්‍රදේශවාසීන් සැලකුවේ. මේ ප‍්‍රදේශයේ කොටසක් වළං හැදුවා. ප‍්‍රදේශයේ උතුරු පැත්තේ මිනිස්සු ධීවර රස්සාව කළා. මෙය පාසල්, රෝහල්, නාට්‍ය මධ්‍යස්ථාන, කඩසාප්පු ආදී සියලු සැප සම්පත්වලින් පිරිපුන් ප‍්‍රදේශයක් කියලයි මිනිස්සු කියන්නේ. ප‍්‍රදේශයේ සශ්‍රීකභාවය සහ සියලු හොඳ දේවල් නිසා මෙම ප‍්‍රදේශය ධර්ම ප‍්‍රදේශයක් කියලයි හැඳින්වුවේ. දැන් ධර්මපුරම් කියන්නෙත් මේ ප‍්‍රදේශයටම තමයි.
දුප්පත්කම කියන එක මේ ප‍්‍රදේශයේ ගෑවිලාවත් තිබුණේ නෑ. මිනිස්සු සතුටින් සාමයෙන් ජීවත් වුණා. ඒ හරියට මහා විෂ්ණු මූර්ති දෙවියන් සහ මහා ලක්ෂ්මි දේවිය වගේ. ආරුමුහන් පෙරුමාන්, පත්තිනි කන්නැහේ වීරපත්තිලර් සහ වෛරප් පෙරුමාන් ආලයම් කියා කෝවිල් තුනක් මේ ප‍්‍රදේශයේ තිබිලා තියනවා. යාචකයන්ට, විවිධ කුලවල උදවියට, මාපියන් නැති දරුවන්ට, ස්වාමියා නැති බිරින්දෑවරුන්ට ආදී සෑම වර්ගයකම ජනතාවට කිසිම වෙනසක් නැතිව මේ කෝවිල් තුන විවෘත වෙලා තිබුණා. ඒ නිසා මේ ප‍්‍රදේශයට බොහෝ දෙනෙක් ආවා. වෙළඳාම් කළා.
කරෙයිච්චි කියන ප‍්‍රදේශය කුඩා ප‍්‍රදේශ 18කට බෙදී තිබුණා. පුලියම් පොකුණ කියන්නේ ඒ ප‍්‍රදේශ 18 අතර තිබුණ තවත් එක් විශේෂ ගම්මානයක්. පුලියම් පොකුණ ගමේ පොහොසත් උදවිය ජීවත් වුණා. ඉගෙනීම අතින්, ගුණධර්ම අතින් ඔවුන් ඉදිරියෙන්ම හිටියා. නැති බැරි අය බොහෝ දෙනෙක් ඒ නිසා මේ ප‍්‍රදේශයට ඇවිත් ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ ගමේ උදවියගෙන් උදව් ලැබෙන නිසා. හැමදාම මේ ප‍්‍රදේශවාසීන් කෝවිල්වලට ගිහින් ආගමික කටයුතුවල නිරත වුණා. උදේ අවදිවුණාට පස්සේ ගොම වතුර නිෙවස වටේට ඉහිනවා. දවස ආරම්භ කළේ එහෙමයි. ඉන්පසු ගේ ඉස්සරහා ලස්සන නිර්මාණ ඇන්දා. දන්නා අඳුරන කවුරුන් ආවත් හොඳින් සලකන පුරුද්දක් මේ ගමේ උදවියට තිබ්බා. ඒ විතරක් නෙවෙයි නොදන්නා කෙනකුට වුණත් හොඳින් සලකනවා. මාසෙකට සැරයක් උදාවන සූදහම් දවසට සියලුම දෙනා ආගමික චාරිත‍්‍ර ඉටු කළා. එදාට කෑවේ නෑ.
මේ පැත්ත කොච්චර හොඳට දියුණු වෙලා තියෙනවද කියනවා නම් හරකුන්ට ඇඟ කසා ගන්න පොඩි තාප්ප වගේ හදලා තිබිලා තියෙනවා. වැහි කාලෙට වැව් පිරිලා උතුරනකොට, සත්තු වතුර බොන්න එනකොට හරිම ලස්සනයි. මේ පැත්තෙ මිනිස්සු ඒ කාලේ මස් මාළු කාලා නෑ.
මුරුහ පෙරුමාන්, විනායහ පෙරුමාන්, විරපත්තිලර්, වෛරල්, කන්නහි කියන දෙවිවරුන් නමින් වසරකට සැරයක් මෙයාලා නොකා නොබී පූජා පවත්වලා තියෙනවා. ඒකට කියන්නේ විරදම් කියලයි.
තිරුවිලා කියන උත්සවයත් අවුරුද්දකට සැරයක් පවත්වනවා. දේව පිළිම ගම වටේ ගෙනියනවලු. එවිට ගමේ තියන දෝෂ නැතිවෙලා සෞභාග්‍ය වැඩි වෙනවා කියනවා. ගමේ මිනිස්සු කෝවිල වෙනුවෙන් ගොඩක් වැඩ කළා. දෙවිවරුන්ව හොඳට විශ්වාස කළ භක්තිවන්තයන්ට දෙවියො කොයි ආකාරයකින් හෝ උදව් කරනවා.
පුලියම් පොකුණ ගමට යාබදව කොලුන්දුපුලව් කියලා ගමක් තිබුණා. මේ ගමේ නීදිනායක මුදලියාර් කියලා කෙනෙක් ජීවත් වුණා. ඔහු ගොඩක් පොහොසත්. උපතින්ම ධනවතෙක්. ඒ වගේම ගොඩක් බුද්ධිමත්. ඔහුගේ වැඩ කරන්න ගොඩක් වැඩකාරයෝ හිටියා. ගමේ මිනිස්සු මොහුට ගොඩක් ගරු බුහුමන් කළා.
නීදිනායක තරුණ වයස එළඹෙද්දී ඔහුට පෙළවහක් කරලා දෙන්න මාපියන් කල්පනා කළා. මාපියන්ගේ බලාපොරොත්තුව තිබුණේ නීදිනායක විවාහ වෙලා දරුමල්ලන් හදාගෙන හොඳින් ජීවත් වෙනවා දකින්නයි. ඉතින් මාපියෝ හොඳට හොයලා බලලා හොඳට ඉඩ කඩම් තියෙන වත් පොහොසත් පවුලක කාන්තාවක් නීදිනායකට යෝජනා කළා. මුදල් වගේම ඇයගේ හොඳ ගතිගුණත් තිබුණා. නීදිනායක ඇයට කැමැති වුණා.
ඇගේ නම කමලා. කාමලාම් කියලත් කිව්වා. කොහොම හරි නීදිනායක සහ කමලා විවාහ වුණා. නීදිනායක මුදලි සහ කාමලාම් සතුටින් ජීවත් වුණා. දෙන්න හරිම ආදරෙන් කල් ගත කළා.
අම්මා තාත්තාගෙන් සහ බිරිඳගෙන් ලැබුණු දේවල් නිසා නීදිනායක රජෙක් වගෙයි හිටියේ. ප‍්‍රදේශවාසීනුන් මේ අයට ගොඩක් ගරු බුහුමන් දැක්වුවා. මෙහෙම සතුටින් ජීවත් වෙද්දී දෙමාපියන් පතපු එක් දෙයක් ඉෂ්ට කරන්න දෙදෙනාට නොහැකි වුණා. ඒ කියන්නේ මේ දෙපළට දරු සම්පත් තිබුණේ නෑ. නීදිනායක සහ කමලා දරු සුරතල් බලන්න හරිම ආසාවෙන් හිටියත් එය ඉෂ්ට වුණේ නෑ. මේ නිසා ටික දවසක් යද්දි දෙන්නාගේ සතුට නැති වුණා. දරු සම්පත් නැති එක ගැන නීදිනායක දිගින් දිගටම කල්පනා කළා.
දවසක් කල්පනා කරමින් ඉන්නා අතර නීදිනායකට මෙහෙම කියවුණා.
“අපේ අවසන් කටයුතු කරන්නවත් දරුවෙක් නැහැනේ. මං පව් කරලා නෑ. ඒත් ඇයි දෙයියෝ මට මෙච්චර දුක් දෙන්නේ.” නීදිනායක දැඩි වේදනාවෙන් කිව්වා.
එය බිරිඳ කමලාට ඇහුණා. කමලා සිය ආදරණීය ස්වාමි පුරුෂයා අස්වසන ගමන් මෙහෙම කිව්වා.
“අපි ඉගෙන ගත්තු නැති නූගතුන් වගේ දුක් වෙලා වැඩක් නෑ. අපි තව තවත් දෙවියන්ට ළංවෙන්න ඕනෑ.”
කමලා කියපු දේ ගැන නීදිනායකත් විශ්වාස කළා. ඔවුන් වෙනදාටත් වඩා කෝවිල් ගියා. දාන මාන දුන්නා. දෙවියන්ට ගරුබුහුමන් කළා. දෙවියන් වෙනුවෙන් බොහෝ පූජාවන් කළා. අධෛර්යවත් නොවී දිගටම මේ වගේ හොඳ දේවල් කරමින් ජීවත් වුණා.
මෙහෙම දිගටම කරගෙන යද්දී දිනක් අදහාගන්නටවත් බැරි ප‍්‍රකාශයක් කමලාගේ මුවින් පිටවුණා. තමන් ගැබ්ගෙන ඇති බව කමලා කිව්වා. නීදිනායක සතුටින් ඉහවහා ගියා. තමන් කොයි තරම් වාසනාවන්තයෙක් දැයි හිතුවා. ඔහුට කමලා ගැන ලොකු ආදරයක් දැනුණා. ඒ වගේම දෙවියන් ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. වසර ගණනක් තිස්සේ තිබුණු සිය බලාපොරොත්තුව ඉටු වී දරුවා මෙළොව එළිය දකින තුරු මේ දෙදෙනාට ඉවසීමක් තිබුණේ නෑ. ඒ අතරතුර කාලයේ දිගටම පිං දහම් කළා. දාන මාන දුන්නා. කෝවිල් ගියා. දෙවියන්ට පුද පූජා කළා.
දස මාසයක ඇවෑමෙන් මේ ආදරවන්තයන් දෙදෙනා දීර්ඝ කාලයක් බලා සිටි දිනය උදා වුණා. කමලා දරුවකු බිහි කළා. ඔහු පිරිමි දරුවෙක්. නීදිනායකට හරිම සතුටුයි. දරුවා ලැබුණු සතුටට දෙවියන් වෙනුවෙන් වතාවත් රැසක් කළා. පුද පූජා තිබ්බා. දුප්පතුන්ට තව තවත් සැලකුවා. ඉතින් මේ දෙපළ එකතු වෙලා මේ කුළුඳුල් දරුවට මාප්පාන මුදලියර් කියලා නම තිබ්බා.
මේ දරුවා සහ මාපියන් ඉතා සතුටින් ජීවත් වුණා. මෙහෙම කාලයක් යද්දි කමලා නැවතත් ගැබ් ගත්තා. දස මාසයක ඇවෑමෙන් කමලාට දරුවකු ලැබුණා. දෙවැනි දරුවාත් පිරිමි දරුවෙක්. ඉතින් නීදිනායක තමන්ගේ දෙවැනි පුතාට වවුනියා මුදලියර් කියලා නමක් තිබ්බා. දරු දෙදෙනා හොඳින් වැඩුණා. මේ දරුවන් දෙදෙනා කතා කරන ලස්සන බලලා නීදිනායක සහ කමලා ගොඩක් සතුටු වුණා. ඔවුන් දෙදෙනාට ලස්සන ලස්සන ඇඳුම් ඇන්දුවා. හොඳට ඉගැන්නුවා.
ඉතින් මේ පිරිස මේ විදියට සතුටින් ජීවත් වෙද්දී තුන් වැනි පාරටත් කමලා ගැබ් ගත්තා. පිරිමි දරුවන් දෙදෙනකු ඉන්න පවුලේ ඊළඟ පැතුම ගැහැනු දරුවෙක්. ඉතින් තුන් වැන්නා කවුද කියලා බලා ගන්න නීදිනායක සහ බිරිය කමලා දස මාසයක් පෙරුම් පිරුවා. ඔවුන් නොයිවසිල්ලෙන් බලා සිටි දවස උදා වුණා. ඔවුන්ට හරිම පුදුමයි. ලැබුණේ නිවුන්නු.
දෙපළගේ පැතුම ඉටුවෙමින් උපන් එක් දරුවෙක් ගැහැනු දරුවෙක්. එතකොට අනිත් දරුවා? අනිත් දරුවා ගැහැනු දරුවෙක් නෙමෙයි. එහෙනම් පිරිමි දරුවෙක්ද? දෙවැනි දරුවා පිරිමි දරුවෙකුත් නොවෙයි. අනිත් දරුවා නාගයෙක්. තමන්ගේ ආදරණීය බිරියට නයි පැටියකු ලැබුණේ කොහොමද කියලා නීදිනායක කල්පනා කළා. මේ දෙදෙනාට මතක් වුණා ඔවුන් දෙවියන් වෙනුවෙන් කළ පූජා. මේ නාගයා දෙවියන් තමයි එවලා තියෙන්නේ. ඔවුන් විශ්වාස කළා.
නයි පැටියා දැක්ක ගමේ ගෑනු උදවිය නයාට පොලුවලින් ගහන්න හැදුවා. ඒ වගේ අවස්ථාවලදී නයි පැටියා එයාගේ අම්මා වෙච්ච කමලා ගාවට ඇවිත් නිදා ගන්නවා. මනුස්ස දරුවෙක් වගේම මේ නයි පැටියා කමලාට සහ නීදිනායකට හරිම ළෙංගතුයි.
මේක දෙවියන්ගේ වැඩක් කියලා හිතපු කමලා ඒ නයි පැටියටත් මව් කිරි දීලා හදා ගත්තා. හොඳට සැලකුවා. මේ නයි පැටියා ලැබුණට පස්සේ හිතා ගන්නත් බැරි විදියට නීදිනායක තව තවත් පොහොසත් වුණා. මේ නාගයාට තම්බිරාන් කියලා නමක් තිබ්බා. නාගයා සමග ලැබුණු ගැහැනු දරුවට වෙල්ලිනාච්චාන් කියලා නම තිබ්බා. තම්බිරාන් කියන මේ නයි පැටියට කිසිම දුකක් නොදී හොඳින් හැදුවා. මේ නාගයා මව් කිරි බොන්න හරිම ආසයි.
නීදිනායකට එන්න එන්නම සැප සම්පත් ලැබුණා. තවත් ලොකු ගෙයක් හදලා නයි පැටියා සහ දරුවන් තුන් දෙනා හොඳට හදා වඩා ගත්තා.
නීදිනායකට සහ කමලාට ලැබුණු නාගයා පුලියම්පොකුණ කෝවිලට ගියේ කොහොමද? ලබන සතියේ බලමු.
තරිඳු ජයවර්ධන/සිතුම් චතුරංග
වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය
ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්
පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ
’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල
වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කිලිනොච්චියේ ධර්මපුරම් කෝවිලට කිරි බොන්න එන සුදු නාගයා