IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


කාන්තා රුව වැඩි කරන ‘තොල්කූරේ’ කතාව

විලාසිතා කියන කතා...

 

මිනිස් සිරුරේ පවතින සංවේදීම ස්ථානයක් වන දෙතොල් වර්ණ ගැන්වීම මගින් කාන්තාවෝ විරුද්ධ පාර්ශ්විකයන්ගේ අවධානය දිනාගැනීමට කැමැත්තක් දැක්වූහ. මුහුණේ සුන්දරත්වය වැඩිකර පෙන්වීමට අමතරව දෙතොල්වල තිබෙන සංවේදී සම ආරක්ෂා කරගැනීමත් තොල් ආලේපන ගැල්වීමට ප‍්‍රධාන වූ හේතුවක් විය. මුල් කාලීනව තොල් ආලේපන ගැල්වූයේ කාන්තාවගේ ලිංගිකත්වය හුවා දැක්වීම පිණිසය. යුවතියන්ගේ දෙතොල් මෘදු රෝස පැහැයෙන් යුක්ත වීම නිසා වැඩිමහලු කාන්තාවෝද තම දෙතොල් එසේ වර්ණ ගන්වා ගෙන වයසට වඩා ළාබාල ලෙස පෙනී සිටීමට උත්සාහ කළහ. 

කෙසේ වෙතත්, ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජය ඉදිරියේ පෙනී සිටීම සඳහා කාන්තාවට තොල් ආලේපන අත්‍යවශ්‍ය විය. තොල් පාට කිරීමට සමාජ පිළිගැනීමක් නොලැබුණු 1890 හා 1900 දශකයේ මුල් භාගයේදී සම්මතයට විරුද්ධව යාම පිණිසද වැඩි දෙනෙක් තොල් පාට කළහ. මෙම යුගයේදී කාන්තාව පිරිමින් සමඟ උරෙන් උර ගැටී රැකියා කළ අතර බහුතරයක් වූ පිරිමි සමඟ තරග වැදීමට මානසික ශක්තිය ලබාගැනීමේ උපක‍්‍රමයක් ලෙස කාන්තාවෝ තොල් වර්ණ ගැන්වූහ. කෙසේ වතුදු අදටත් පීතෘ මූලික සමාජවල හා ආගමික නීති දැඩිව පවතින ඉරානය වැනි රටවල තොල් ආලේපන භාවිතය තහනම්ය. 


පුරාණයේ විසූ ඊජිප්තු ළඳුන් සිය සමාජ බලය පෙන්වීම සඳහා රතු පැහැයෙන් තොල් පාට කළහ. එයටත් පෙර යුගයක සුමේරියානු ලඳුන් පලතුරු යුෂ, හෙනා, මැටි හා කුරුමිණියන් වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සාදාගත් තොල් ආලේපන භාවිත කරන ලදහ. එතෙකින් නොනැවතී මැණික් ගල් කුඩු කර ඒවා තොල් මත තවරමින් දිදුලන පෙනුමක් ලබාදීමටද උත්සුක වූහ. 


මුලින්ම තොල් ආලේපනවලට දැඩි කැමැත්තක් හා ආකර්ෂණයක් දක්වන්නට වූ පිරිස ඊජිප්තු වැසියන් විය හැකියි. තද දම් හා කළු වැනි වර්ණ තොල් ආලේපන ඔවුන්ගේ ප‍්‍රියතම වර්ණ විය. මෙම වර්ණ ලබාගත්තේ කුඩු කරගත් කොචිනීල් කුරුමිණියන්ගෙන් ලබාගත් තද රතු ඩයි වර්ගයකිනි. සුප‍්‍රකට ඊජිප්තු රැජින ක්ලියෝපැට්රා තොල් පාට කිරීමට යොදා ගත්තේ තලා ගත් කුරුමිණි යුෂයයි. එසේ වුවද ඔවුන්ගේ තොල් ආලේපන සියයට සියයක්ම සෞඛ්‍යයට හිතකර නොවූයේ තොල් ආලේපන හදා ගැනීමේදී ඊයම් හා අයඩින් වැනි අහිතකර ද්‍රව්‍ය භාවිත කළ බැවිනි. 


පුරාණ ග‍්‍රීක සමාජයේ කාන්තාව බලයෙන් අඩු කොට්ඨාසයක් ලෙස හඳුන්වනු ලදහ. තොල් ආලේපන ගල්වා ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම වැනි සරල ක‍්‍රියාවක් පවා ඔවුනට තහනම්ව පැවතිණි. එම සමයේ තොල් ආලේපන භාවිතයට අවසර ලැබී තිබුණේ ගණිකාවන්ටයි. ඔවුන් ආලේප කළ ඒවා තොල් සායම්වලට වඩා ඩයිවලින් පැහැය ලැබුණු ලාභ තොල් සායම් විය. ඇත්තෙන්ම මෙම ගණිකාවන්ට රතු පැහැ තොල් ආලේපන භාවිත කිරීමට නීතියෙන් ඉඩ කඩ ලැබී තිබුණේ හොඳින් ඇඳ පැලඳ සිටින විට සාමාන්‍ය කාන්තාවන් සහ ගණිකාවන් අතර වෙනසක් පෙනෙන්නට නොවූ නිසාත්, වැදගත් කාන්තාවන් යැයි සිතා පිරිමින් ඔවුන්ට රැවටීමත් වළක්වාගෙන ඔවුන් පහසුවෙන් හඳුනා ගැනීම පිණිසය. ඒ හේතුවෙන්ම තොල් ආලේපන සම්බන්ධ පළමු නීතිය වන රතු තොල් සායම් නොමැතිව ප‍්‍රසිද්ධියේ පෙනී සිටියහොත් ගණිකාවන්ට දඬුවම් දීමේ නීතිය සම්පාදනය විය. 
රෝම සමාජයේ කාන්තාවගේ විලාසිතා අයිතිවාසිකම් ග‍්‍රීක කාන්තාවට වඩා ඉදිරියෙන් තිබිණි. සැබැවින්ම රෝම කාන්තාවන් පමණක් නොව, පිරිමි පවා සමාජ පන්තිය හා නිලය පෙන්වීමේ සංකේතයක් ලෙස තොල් ආලේපන භාවිත කළහ. රෝම සමාජය භාවිත කළ තොල් ආලේපන වස විසවලින් ගහණ වූ බව කියැවේ. 


ක‍්‍රි.ව. 9 දී පමණ අරාබි විද්‍යාඥයකු වූ අබුල්කසිස් විසින් තොල් ආලේපන ඝන ද්‍රව්‍යයක් වශයෙන් නිපදවන ක‍්‍රමය සොයාගනු ලැබිණි. 


බටහිර ලෝකයේ කාන්තාවගේ සුන්දරත්වය හා ලිංගිකත්වය පෙන්වන ප‍්‍රබල සංකේතයක් ලෙස තොල් ආලේපන හැඳින්විය හැකි වුවද, රතු පැහැති තොල් ආලේපන භාවිත කිරීමට එරෙහිව බටහිර ලෝකය විසින්ම තහංචි පැනවූ අවස්ථාද නැතිවා නොවේ. 


තොල් ආලේපන අඳින දශකය, සියවස හෝ කලාපය අනුව ඒවායේ අර්ථය විවිධ විය. කලෙක එයින් සමාජ තත්ත්වය හා ධනය පෙන්නුම් කෙරිණි. 


මධ්‍යතන යුගයේ දැඩි තහනමක් 


ක‍්‍රිස්තියානි දහම පුළුල්ව ප‍්‍රචලිත වූ මධ්‍යතන යුගයේදී තොල් ආලේපන ඇතුළු සියලුම ආකාරවල මේකප් පල්ලිය විසින් තහනම් කරන ලදී. තොල් රතු කිරීම යක්ෂ වන්දනාවේ සංකේතයක් ලෙස සැලකුණ අතර තොල් පාට කරන්නියන් මායාකාරියන් ලෙස සැලකිණි. ගණිකාවන් හැරුණු විට ආත්ම ගරුත්වයක් ඇති කාන්තාවන් එකල තොල් පාට කිරීමේ නොයෙදිණ. එසේ නමුදු 16වැනි සියවසේදී එංගලන්තයේ එළිසබෙත් රැජිනගේ පාලන කාලයේදී තොල් ආලේපන නැවත ජනප‍්‍රිය විය. නමුදු තොල් පාට කිරීමේ අවසරය වංශවත් කතුන්ට හා වේදිකා නළු නිළියන්ට පමණක් සීමා විය. 


සිපගන්නට බාධා නැත 


1920 ගණන්වලදී ප‍්‍රංශ රසායනඥයකු වූ පෝල් බොඩික්යුර් විසින් සිපගැනීමකින් පවා ඉවත් නොවෙන තොල් ආලේපන සංයෝගයක් සොයා ගත්තේය. මෙය උණු කැවුම් මෙන් අලෙවි වූ අතර කාන්තාවෝ සාප්පුවලට කඩා වැදී තොල් ආලේපන ඩැහැගන්නා තරමට ජනප‍්‍රියත්වය ඉහළ ගියේය. කුමන ආර්ථික අවපාත පැමිණියත් තොල් ආලේපනවලට තිබූ ඉල්ලූම නම් පහත ගියේ නැත. එකල නිවෙස්වල මාපියන් හා දියණියන් අතර වැඩියෙන්ම රණ්ඩු සිදුවූයේද තොල් ආලේපන නිසාවෙනි. මෙකල වන විට මැට්, ග්ලොස් ආදී තොල් ආලේපන ප‍්‍රභේද පවා වෙළෙඳපොළට පැමිණ තිබූ අතර නිෂ්පාදකයෝ එකිනෙකා සමඟ සීතල යුද්ධ කරමින් පාරිභෝගිකයන් දිනාගැනීමට උත්සුක වූහ. 


බාධා කළ යුද්ධය 


දෙවන ලෝක යුධ සමයේදී අමුද්‍රව්‍ය හිඟ වීම, තොල් ආලේපන ඇසුරුම් නිපැයුම දුෂ්කර වීම ආදිය නිසා කාන්තාවන්ට සිදුවූයේ මහත් පාඩුවකි. නමුත් විශ්මයට කරුණ වන්නේ යුද්ධ සමයේදී මිනිසුන්ගේ චිත්ත ධෛර්යය නංවාලීම පිණිස රතු පැහැ තොල් ආලේපන ගැල්වීමට කාන්තාවන්ට අනුබල ලැබීමයි. 


නිළියන් ඇසුරේ ජනප‍්‍රිය වෙයි 


ගේ‍්‍රස් කෙලී, මැරිලින් මොන්රෝ, ඔඩ්‍රි හෙප්බර්න් හා එළිසබත් ටේලර් වැනි සරාගී හොලිවුඩ් නිළියන් භාවිත කළ බැවින් රතු පැහැයේ විවිධ ප‍්‍රභේදවලින් යුත් තොල් ආලේපන ඉතා ජනප‍්‍රිය විය. හොලිවුඩ් සුරූපිනියන් අනුකරණය කිරීමට යුවතියෝ පොර කෑහ. 1990 ගණන්වලදී රතු රැල්ල බැස ගිය අතර ස්වාභාවික වර්ණ හා වඩා පාරිභෝගික හිතකාමී නිපැයුම් පාරිභෝගිකයෝ ඉල්ලා සිටින්නට වූහ. 


නිය ආලේපන 


ශරීරයේ ඉතා වැදගත් කොටසක් වූ අත්වල පිහිටි නියපොතු වර්ණ ගැන්වීම ආරම්භ කිරීමත් සමඟ අත්, අනෙකුන්ට පෙන්වා සිටිය හැකි සැරසිලි කලාපයක් බවට පත් විය. එමෙන්ම නිය ආලේපන ගල්වා සිටින තැනැත්තියක විවේකයෙන් හා නිදහසේ සිටින වංශවත් කතක පෙන්නුම් කරන්නේ යැයි මතයක් ද තිබිණි. 


වර්තමානයේ කාන්තාවෝ නිය වර්ණ ගන්වන්නේ කෘත‍්‍රිම වර්ණවලින් වුවත්, මුලින්ම නිය වර්ණ ගැන්වීමට යොදාගෙන තිබෙන්නේ හෙනාය. අතීත පාරාවෝ රජවරුන්ගේ මමීවල නියපොතු වර්ණ ගැන්වීමට හෙනා යොදාගෙන තිබේ. ඔවුහු සමාජ තත්ත්වය පෙන්නුම් කිරීමට නිය වර්ණ ගැන්වූ බව කියැවේ. පහත් පන්තියේ මිනිස්සු නූඩ් හෙවත් සමේම පැහැය හා ලා වර්ණද, ඉහළ පන්තිවල මිනිස්සු රතු වර්ණයෙන්ද නිය පාට කළහ. පුරාණ ඉන්දියානු හා අප‍්‍රිකානු කතුන්ද හෙනාවලින් ඇඟිලි තුඩු වර්ණ ගැන්වූහ. 


ක‍්‍රි.පූ. 3000දී පමණ චීන ජාතිකයෝ සමාජ පන්ති වෙන්කර හඳුනාගැනීමට නිය ආලේපන යොදා ගත්හ. ඔවුන්ගේ නිය ආලේපනවල සංයෝග වූයේ මී ඉටි, බිත්තර සුදු මදය, ජෙලටින් හා එළවළුවලින් ලබාගන්නා ඩයි වර්ගයි. 


නිය ආලේපන ජනප‍්‍රිය වෙන්නට ගත්තේ 18 වැනි සියවසේ අගභාගයේදීය. එහෙත් එය පොදු සමාජයේ කාන්තාවන් අතරට ගියේද, නිය වර්ණ ගැන්වීමේ සේවා සැපයීම ඇරඹුණේද 20 වැනි සියවසේදීයි. අද අප දන්නා නිය ආලේපනවල ඇරඹුම එතැනයි. 1960 ගණන්වලදී වර්ණ රූපවාහිනිය පැමිණීමත් සමඟ නිය වර්ණවල නොයෙක් ප‍්‍රභේද හා වර්ණ දහස් ගණනක් නිපැයිණි. 


ලොව මිල අධිකම නිය ආලේපනය Black Diamond King යනුවෙන් හැඳින්වෙන අතර කැරට් 247ක වටිනාකමකින් යුත් කළු දියමන්තිවලින් සාදා ඇත. එහි මිල ඇ.ඩොලර් 250000 කි. 


නිය ආලේපන භාවිත කරන සියලු දෙනා දැනගත යුතු කරුණක් වන්නේ භාවිතයෙන් ඉවත් කරන නිය ආලේපන ගෘහාශ‍්‍රිත විෂ අපද්‍රව්‍යයක් වන බවය. එනිසා අනෙකුත් කසළ සමඟ මේවා බැහැර කිරීම නුසුදුසුය. 


මෝස්තර නිරූපණ ශිල්පයේ ඇරඹුම 


1800 ගණන් වෙන තුරුම මොඩ්ලින් හෙවත් නිරූපණ ශිල්පය යන්න හුදු අර්ථ විරහිත වචනයක්ව පැවතිණි. මොඩ්ලින් යන වචනය සම්භවය වී තිබෙන්නේ චිත‍්‍ර සඳහා පෙනී සිටින නිරූපණ ශිල්පීන්ට කියන ප‍්‍රංශ වචනය වූ Modelle යන්න ඇසුරිනි. කැමරාව සොයාගැනීමත් සමඟම මෙම ශිල්පීන් ඡායාරූපවලට පෙනී සිටි අතර ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ සේයාරූ රැගත් දැන්වීම් පුවත්වල පළවෙන්නට විය. නමුදු මෙයටත් පෙර කලෙක විලාසිතා නිර්මාණකරණයේ පුරෝගාමියකු ලෙස සැලකෙන චාල්ස් ෆෙඩ්රික් වර්ත් නමැත්තා, 1850 වනවිටත් ඔහු නිර්මාණය කළ ඇඳුම් විලාසිතා ඔහුගේ බිරිඳට අන්දවා නිරූපණ ශිල්පයට පදනම ඇති කර තිබිණි. මේරි ඔගස්ටින් වර්නට් නම් වූ ඇය ඔහුගේ සජීවී ඩමිය බවට පත් ව සිටියාය. ලොව පළමු විලාසිතා නිරූපණ ශිල්පිනිය ලෙස සැලකෙන්නේ ඇයයි. එමගින් චාල්ස් වර්ත් සජීවී ඩමියක් භාවිත කළ පළමු මෝස්තර නිර්මාණකරුවා බවට පත් වූ අතර විලාසිතා සන්නාමය ඇඳුමට තබා මැසූ පළමු තැනැත්තා වීමේ ගෞරවයද ඔහු හිමි කරගන්නා ලදී. 


ඒ වනතුරුම විලාසිතා පෙන්වා සිටීම සඳහා යොදාගනු ලැබුවේ කවුළු ඩමියි. 


විලාසිතා නිරූපණය පැමිණි මග 


වර්ත් විසින් ජීවමාන පුද්ගලයකු මෝස්තර නිරූපණයට යොදාගැනීමත් සමඟ මෝස්තර නිරූපණ ශිල්පය වෘත්තියක් වශයෙන් ජනප‍්‍රිය විය. විලාසිතා ඡායාරූපකරණයේ ඇරඹීමත් සමඟ මෙම වෘත්තිය ඉමහත් වේගයක් අත්පත් කරගනිමින් පුළුල් පැතිරීමක් පෙන්නුම් කරන්නට විය. Ford Models යනු ලෝකයේ එසේ පළමුවරට බිහි වූ මෝස්තර නිරූපණ ශිල්පී සමාගමයි. එලීන් හා ජෙරාඩ් ෆෝඩ් එහි නිර්මාතෘවරු ලෙස සැලකේ. ඔවුහු දහස් ගණනින් නිරූපණ ශිල්පීන් බඳවා ගන්නට වූ අතර විනෝදාංශයක් ලෙස පමණක් පැවති මෝස්තර නිරූපණ ශිල්පයට වෘත්තීමය පදනමක් ලැබීමට මෙම සමාගමෙන් මහත් මෙහෙයක් සිදුවිය. 


1950 පමණ වනවිට වෘත්තීමය වශයෙන් සාර්ථක නිරූපණ ශිල්පීන් සිටි අතර වෘත්තීමය සාර්ථකත්වය ලෙස සැලකුණේ විලාසිතා සමාජය තුළ ඔවුන් අත්කරගෙන තිබූ ප‍්‍රසිද්ධියයි. කාර්මෙන්, ඩොමිනා, විල්හෙල්මිනා කූපර් හා ඩොරති පාකර් වැන්නවුන් මෙකල ප‍්‍රසිද්ධ වී සිටි නිරූපණ ශිල්පිනියෝ වූහ. ඔවුන් අතරින්ද අතිසාර්ථකම නිරූපණ ශිල්පිනියෝ පැයකට ඇ. ඩොලර් 25ක් වැනි අතිවිශාල මුදලක් උපයන්නට සමත් වූහ. 


1960 පමණ වෙනවිට ලෝකය පුරා නිරූපණ ශිල්පී සමාගම් ව්‍යාප්ත වී තිබිණි. නිරූපණ ශිල්පී ශිල්පිනියන් තමා ජීවත් වූ කලාපයේ තිබූ කුමන හෝ කර්මාන්තයක නිරූපණ කටයුතුවලට පමණක් සම්බන්ධ වූහ. 
මේ කාලයේදී ලන්ඩනය ලොව ප‍්‍රකට විලාසිතා කේන්ද්‍රයක් බවට පත් විය. ට්විගී, ජීන් ෂ්රිම්ප්ටන්, ජොආනා ලූම්ලි වැනි ප‍්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියන් බිහිවූයේ ලන්ඩන් විලාසිතා කේන්ද්‍රය පදනම් කරගෙනය. එය අදටත් ලොව ප‍්‍රධාන විලාසිතා කේන්ද්‍රස්ථානයක්ව පවතී. 

 

 

 


ඉතිරිය ලබන සතියට...... 
අන්තර්ජාලය ඇසුරිනි. 
නිසංසලා දිසානායක

 
 
 
 



අදහස් (0)

කාන්තා රුව වැඩි කරන ‘තොල්කූරේ’ කතාව

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 64 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 75 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 94 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 52 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 136 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 106 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 326 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site