​කෝට්ටේ රාජධානියට අයත් රාජකීය ග්‍රාම නාමාවලියේ රාජගිරියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එද‌ා කෝට්ටේ රජකම් කළ සය වැනි පැරකුම්බා රජතුමාගේ රජවාසලට ඇතුළු වීමට තිබූ කපොලුවලින් ප්‍රධාන කපොල්ල හෙවත් ප්‍රධාන ආරක්ෂක මුරපොළ පිහිටා තිබූ ස්ථානය රාජගිරිය වූ බව පැරණි වංශකථාවල සඳහන් වේ.   
කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයට අයත් පල්​ෙල්පත්තුවේ රාජගිරිය පිහිටා ඇත. වැලිකඩ, ඔබේසේකරපුර, බණ්ඩාරනායක පුර, මාදින්නාගොඩ, කලපළුවාව මේ සියලු ගම්මානවල ප්‍රධාන ගම්මානය රාජගිරියයි. 

  
පරිසරයේ හදවත බඳු වගුරුබිම් රැසකට උරුමකම් කියූ රාජගිරියේ රාජකීය මුගටියකු සිටි බවත් ඒ මුගටියා ඔබේසේකර වලව්වේ ජීවත් වූ බවත් පැරණි ජනප්‍රවාදයේ එන තවත් කථා ප්‍රවෘත්තියකි.   


බොදු පුනරුද ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකු වූ අනගාරික ධර්මපාලතුමාගේ දොන් කරෝලිස් හේවා විතාරණ පවුලට අයත් නිවස පමණක් නොව ඉඩකඩම් පවා පිහිටා තිබුණේ රාජගිරියේය.  

 
රාජගිරිය අවට ප්‍රදේශවල ජීවත් වූ බොදු දරු දැරියන්ට ඉගෙනුම ලබන්නට විදුහලක් නොමැති අවදියක හේවාවිතාරණ පවුල සිය දේපළ පරිත්‍යාග කොට ආරම්භ කළ හේවාවිතාරණ විදුහල රාජගිරියට සද‌ා නොමියෙන සිහිවටනයකි.   
හේවාවිතාරණ නිවස හැරුණු කල තවත් වලව් දෙකක් රාජගිරියට උරුමව ඇත. ඒ ඔබේසේකර වලව්ව හා ආටිගල වලව්වයි. මේ අතීත උරුමය හා එද‌ා පැවැති ජන ජීවිතය ගැන කරුණු සොයා යෑමේදී හමු වූ අය අතර රාජගිරියේ අතීතයට ආදරය කරන සාම විනිසුරු ප්‍රේමසිරි මුණසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේය.   


ඉස්සර ඔබේසේකර පුරට කිව්වේ කොච්චියාවත්ත කියලයි. කොච්චියාවත්ත කියන්නේ ඒ කාලේ කොච්චි මිනිස්සු ජීවත්ව සිටි නිසා බව අපේ පැරණි මුතුන් මිත්තෝ අපිට කියලා තිබෙනවා. මේ ප්‍රදේශය තනිකරම වගුරු බිම සහිත තෙත් බිම් අක්කර 84 ක වපරිසයකට හිමිකම් කියනවා. ඉබේම වැවුණු තණ කොළවලින් මේ ප්‍රදේශය වැසී තිබුණා.   
ඒ අතරේ කීර කොටුත් තිබුණා. විශාල වශයෙන් ගව පට්ටි තිබුණ නිසා තණකොළවලට හොඳ ඉල්ලුමක් ඒ කාලේ ඉඳන්ම තිබුණා. ඔබේසේකරපුර වශයෙන් අද හැඳින්වෙන රාජගිරියේ මේ කොටසේ වගුරුබිමෙත් නින්දගමෙත් නිත්‍ය හිමිකරුවා වූයේ ඩොනල්ඩ් ඔබේසේකර මුදලිතුමා ප්‍රමුඛ පවුලේ උදවියයි.   


මේ වටිනා ඉඩමෙන් ජනතා, සේවයක් වශයෙන් ඉටුවෙලා තියෙන්නේ ආයුර්වේදයේ ඉගෙන ගන්න සිසුවියන්ට කාන්තා නේවාසිකාගාරයක් ඉදිවීම පමණයි.   


1950 ගණන්වල රජයේ මැදිහත්වීමෙන් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ වුණා. ගෙවල් දෙක බැගින් අැරඹුණු මේ නිවාස යෝජනා ක්‍රමයට නම දැම්මේ ඔබේසේකර පුර කියලයි. එහෙම තමයි ඔබේසේකර පුර ආරම්භ වුණේ.   
ඒ කාලේ ඉතාම සුන්දර පරිසරයක් තමයි තිබුණේ. ඔබේසේකරපුර රජයේ නිවාස ආශ්‍රිතව ගුරුපාරක් තමයි තිබුණේ. පාර දිගටම රජයෙන් ඇහැළ ගස් වවලා තිබුණා ඇහැළ මල් පිපෙන කාලට කහ රෙද්දක් පෙරෙව්වා වගේ මුළු පළාතම හරිම ලස්සනයි. ඊළඟට රොබරෝසියා මල් පාර දිගටම වවලා තිබුණා. ඒවායේ මල් පිපෙන කාලෙටත් පුදුම ලස්සනක් තිබුණා.   


ඔබේසේකරපුර නිවාස හදලා රජයෙන් අඬබෙර ගහලා කිව්වා ඒ නිවසවල පදිංචියට එන්න කියලා. ඒත් ඒ මිනිස්සු ඒකට මුලින් කැමති වුණේ නැහැ. එකක් ජනශූන්‍ය බව. අනෙක පැල්පත්වල හිටියත් ඒ මිනිස්සු එයින් මිදෙන්න තිබුණ අකමැත්ත ඊට හේතු වුණා.   


මොරගස්මුල්ලෙන් කොලොන්නාවට ප්‍රවේශවන මාර්ගයේ ලී පාලමක් තිබුණා. මෙතැනින් ගලාගෙන ගිය දියවන්නා ඔයෙන් ගමේ වැඩිහිටියෝ වගේම අපේ වයසේ පසු වූ දුවපැන ඇවිදින කොල්ලෝ නානවා. මේ ගඟ දෙපස තිබුණේ වගුරු බිම් තමයි.   


ඒ දවස්වල මුහුදු මාළුවලට වඩා මිනිස්සු හුරුවෙලා හිටියේ වෙල් මාළු කන්න තමයි. තංගයියා සහ සිල්වා උන්නැහේ කියලා දෙන්නෙක් ගමේ හිටියා. මේ දෙන්නගේ රාජකාරිය වුණේ ගඟෙන් හා අවට ඇළවල්වලින් වගුරු බිම්වලින් මාළු ඇල්ලීමයි.   


පොල් ඉරටුවක කෙළවර ගැටයක් ගහලා මාළුවාගේ කරමලේ අස්සෙන් පොල් ඉරටුව රිංගවලා ලස්සනට අසුරනවා හරියට දම්වැලක පුරුක්වගෙයි. වෙල් මාළු රසවගේම ගුණයි. ගමේ නැවුම් එළකිරි බෝතලයක් ඒ කාලේ ශත 60 යි. ඒ කාලේ ගමේම ගව පට්ටි 5 ක් විතර හිටියා. සෝමදිසි මුදලාලිගේ ගව පට්ටියත් ඒ කාලේ ප්‍රසිද්ධ ගව පට්ටියක්. සෝමදිසි මුදලාලිගේ පුතෙක් තමයි එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා කියන්නේ. මාදින්නාගොඩ, මොරගස්මුල්ල, කලපළුවාව වැනි ප්‍රදේශ ඒකාලේ ජනාකීර්ණ වෙලා තිබුණේ නැහැ. නමුත් ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ජනාවාස වූ පසුවත් පැල්පත් වාසී මිනිස්සු ඒ ප්‍රදේශ දෙකේ බහුලව හිටියා. ඒ මිනිස්සුන්ට තමන්ගේ දුප්පත්කම ඒ තරම් දැනුණේ නැහැ.   


ඒකට හේතුව වුණේ ඒ මිනිසුන් තුළ තිබූ සාමුහික බව සහ ඒ අයට උරුම වූ සෞන්දර්යාත්මක පැවැත්මකුත් තිබුණ නිසයි.   


අපි පුංචි කාලේ ගමේ දෙවොල් මඩු, නාඩගම් මඩු නිතර තියෙනවා. නාඩගම් මඩුවල ලස්සනට වියපු පොල් අතු ඉරුවේ තමයි වාඩිවෙන්න දෙන්නේ. එ් කාලේ පැරණි නාඩගම් ගායකයෙක් හිටියා ඔහුගේ නම ඇලන් රත්නායක. වෙසක් කාලේට වෙසක් බොදු බැති ගී කණ්ඩායම් ගමේ සෑම නිවසකටම ගිහින් බොදු බැති ගී ගායනා කරනවා. ඒ කාලේ පුංචි අපි වගේම අපේ දෙමව්පියොත් මේ වැඩසටහනට හරිම කැමතියි. බොදු බැතිගී ගායනා කරලා අවසන් වුණාම ඒ අයට සංග්‍රහයක් කරලා පුංචි තෑග්ගකුත් දෙන සිරිතක් තිබුණා. ඒ කාලේ අඩි 4 පුංචි වැටක් මිස තාප්ප දාපු ගෙවල් තිබුණේ නැහැ. අපේ ළමාවිය හරිම සුන්දරයි. ටියුෂන් පංතිවලට අපේ ළමාවිය හිරකරලා තිබුණේ නැහැ. බාහිර ක්‍රියාකාරකම්වලට අපි මුල් තැන දුන්නා. වගුරු බිම්වල බඩවැටි අතරින් ගිහිල්ලා සරුංගල් යවනවා. වෙසක් කාලේට සෑම නිවසකම ලස්සනට සල් උයනක් හදනවා. පොසොන් කාලේට මිහින්තලේ හදලා මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස වගේම මිහින්තලා ගල ලස්සනට හදනවා. අදට වඩා අපේ ළමාවිය හරිම නිර්මාණශීලියි.   


එළිමහන් වේදිකා නාට්‍යවලටත් හරිම ඉල්ලුමක් එ් කාලේ තිබුණා. ඒ කාලේ රූපවාහිනී ඇත්තේ නැහැ. තිබුණොත් රේඩියෝ එකක් තමයි ගෙදරක දෙකක තියෙන්නේ.   


එළිමහන් වේදිකා නාට්‍යවල වාදකයෝ ගායකයෝ නළු නිළියෝ අධ්‍යක්ෂවරු මේ සියලු දෙනාම ගමේ අය තමයි. බෞද්ධ කථා වස්තු රැගත් නාට්‍යය තමයි බොහෝ වෙලාවට වේදිකාගත කරන්නේ.   


අජාසත්ත කථාව ඒ කථා අතර තිබුණ විශේෂ නාට්‍යයක් තමයි. මේ නාට්‍ය කලාව 1920 - 30 දක්වා දිවයන අතීතයක් තිබුණු නාට්‍ය බව ඒ කාලේ හිටපු වැඩිහිටියෝ අපිට කියලා දුන්නා. මේ සංස්කෘතික සබැඳියාව සමග ගමේ එකමුතුකම සාමුහික බව වඩාත් අර්ථවත් වුණා.   


සමුප හන්දියේ ඒකාලේ බොහෝ දෙනා එකතුවන කඩමණ්ඩියක් තිබුණා. සවසට මේ කඩමණ්ඩියට වැඩිහිටියෝ වගේම ළමයින් එකතු වෙනවා. මේ කඩමණ්ඩිය අසල ශාලාවක් තිබුණා ඒක පොල් අතු සෙවිළි කළ මඩුවක්. සෑම ඉරුදිනකම ගමේ වැඩිහිටියෝ එකතුවෙලා මේ ස්ථානයේ ධර්මදේශනාවක් පවත්වනවා. ශ්‍රී සද්ධර්මානුචාරී සමිතිය කියලා වැඩිහිටියෝ පිහිටුවාගත් සමිතියක් තමයි මේ ධර්මදේශනාව පවත්වනු ලබන්නේ. එද‌ා බොහෝවිට මේ ස්ථානයේ ධර්මදේශනාවලට වැඩම කළේ අපවත් වී වද‌ාළ කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක හාමුදුරුවෝ නැත්නම් අපවත් වී වද‌ාළ පිටකෝට්ටේ සෝමානන්ද හාමුදුරුවෝ තමයි. මේ පිංකම සංවිධානය කළ අය අතරින් සුබදේරිස් අයියා ලේකම් මාමා වගේ වැඩිහිටි පිරිස මට මතකයි. ඒ දවස්වල සෑම ගෙදරකම කොස්, දෙල් වගේම වැළවරකා, ගස් ලබු, කෙසෙල් වැනි පලතුරු වර්ගද ගෙවත්තේම සරුවට වැවී තිබුණා. එ් කාලේ මිනිස්සු කිසිම දවසක කඩෙන් පලතුරු සල්ලිවලට ගත්තේ නැහැ අපි පුංචි කාලේ අපේ වැඩිහිටියෝ අරළු බුළු නෙල්ලි මිශ්‍ර කසායක් මාස 3 කට වරක් දෙනවා බඩ සුද්ධ වෙන්න කියලා. ඉහෙන් බහින රෝගයක් අපිට තිබුණේ නැහැ. ඉඳහිට කලාතුරකින් ලෙඩක් හැදුණොත් වැඩිහිටියෝ අපිව රාජගිරියේ ආයුර්වේදයට එක්කගෙන යනවා. අද වගේ වෛද්‍ය චැනල් සේවා වැහි වැහැලා ඒ කාලේ තිබුණේ නැහැ. අද වගේ විශේෂයෙන් බෝ නොවන රෝග වලට මිනිස්සු ගොදුරුවෙලා හිටියෙත් නැහැ.  


ඒකාලේ හේවුඩ් එකේ සංගීතය ඉගෙන ගන්න කොණ්ඩේ වවාපු මහත්තයෙක් හෙරළි මාටින් අයියලාගේ නිවසේ නේවාසිකව හිටියා. ඔහු වික්ටර් රත්නායක මහතා කියලා පසුව අපි දැනගත්තා. මා සමග රාජගිරිය සිරිපැරකුම් විදුහලේ ඉගෙනගත් හින්දි ගීත පිළිබඳ ඇල්මක් දක්වන ගුවන් විදුලි නිවේදක රංජිත් එදිරිසිංහ අතීතය අමතක ​ෙනාකළ මගේ පාසල් මිතුරෙක්.  


ඒකාලේ අපේ ගමේ ප්‍රධාන ක්‍රීඩාව වුණේ පාපන්දු හා ක්‍රිකට් තමයි. වැලිකඩ ක්‍රීඩාංගණයේ ගොඩාක් අය පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණා. කොටා ක්‍රීඩාංගණයෙත් ඇසළ ක්‍රීඩාංගණයෙත් දිනපතා පුහුණුවීම් කටයුතු කරනවා. මේ තුළින් නිරෝගිමත් විනයගරුක තරුණ පරපුරක් ඒ කාලේ හිටියා.  


අපේ ගමට තිබුණ එකම සිනමා ශාලාව වුණේ රාජගිරියේ නන්දන සිනමා ශාලාවයි. ඉස්සර ගැලරියේ ශත 50 යි අයකරන්නේ. ඒ දවස්වල අලුත් චිත්‍රපටියක් ගැන ප්‍රචාරක කටයුතු කළේ ගොන් කරත්තවලින්. චිත්‍රපටියේ රූපරාමු ඇතුළත් බෝඩ් කරත්තෙ දෙපැත්තේ එල්ලලා තියෙනවා. බෙරකරුවෙක් බෙරයක් ගහගෙන කරත්තෙ නැගලා එනවා. බෙරහඬ සමග ගමේ කොල්ලෝ කරත්තේ පස්සෙන් දුවගෙන එනවා. චිත්‍රපටියේ විස්තර ඇතුළත් පත්‍රිකාවක් ඒ අයට බෙද‌ාදෙනවා. ඒකාලේ බෙරය හොඳ සන්නිවේදන ක්‍රමයක් තමයි අපේ ගම්වල තිබුණු.   


ඒ දවස්වල ගමට විදුලිය තිබුණේ නැහැ. කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු තිබුණා භූමිතෙල්වලට ද හොඳ ඉල්ලුමක් තිබුණා. මළගෙදර, මඟුල් ගෙදර, බණ ගෙදර, පිරිත් ගෙදර ආදී ජනයා ගැවසෙන ස්ථානවල පැට්‍රල්මැක්ස් කියන ලාම්පු තමයි දැල්වෙන්නේ. මෙවැනි සුන්දර වටාපිටාවකට උරුමකම් කියූ එදා ජන ජීවිතය ඉතාම සුන්දර බව ප්‍රේමසිරි මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.  


රාජගිරිය ඔබේසේකර වලව්වේ අතීතය ගැන තොරතුරු සෙවීමේදී රාජගිරියේ පදිංචි ඩබ්ලිව්.කුමාර මහතාද අපට අතීත තොරතුරු පැවසුවේය.   


‘‘ඔබේසේකර වලව්වේ මුල් හිමිකරුවා වුණේ ඩොනල්ඩ් ඔබේසේකර මහ මුදලිතුමා. ඔහු කලක් කෝට්ටේ නගරාධිපති ධුරයද දරා තිබෙනවා. ඒ මුදලිතුමාට පුතුන් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඇලික් ඔබේසේකර හා ප්‍රෙඩ්රික් ඔබේසේකර. ඇලික් ඔබේසේකර මහා වලව්වේ හිමිකරුවා වූ අතර ප්‍රෙඩ්රික් ඔබේසේකරටද එ් හා සමාන වලව්වක් ඒ අසලින්ම හදලා දීලා තියෙනවා. මේ දෙන්නට ඒ කාලේ හිටපු ගැමියො කිව්වේ හාමු කියලා තමයි. උඩ වලව්ව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ වලව්වක්. එංගලන්තයේ මහ රැජින පවා භෝජන සංග්‍රහයකට සහභාගි වූ ස්ථානයක්. හාමුලා දෙන්නටම තුවක්කු දෙකක් තිබුණා. බල්ලෝ රංචුවක්ම ආරක්ෂාවට හිටියා. ඉස්සර මේ වලව්වට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම්. අඩුම වශයෙන් වලව්ව ළඟ බෙරයක්වත් ගහන්න තහනම්. බෙර ගහනවා නම් වලව්වෙන් අවසර ගන්න ඕනැ. එතකොට කොළඹ නගරයටම කිරි දුන්නේ ඇලික් ඔබේසේකර හාමුට අයත්ව තිබූ විශාල ගව පට්ටියකින්. ​ගෝන්නු, මුවෝ, මොනරු, වලිකුකුල්ලු වලව්වේ ඇති කළා.  


ඇලික් ඔබේසේකර හාමු අවිවාහක හුදකලා ජීවිතයක් තමයි ගතකළේ. දෙවැනි හාමු ප්‍රෙඩ්රික් ඔබේසේකර. ඔහු පළමුවෙන්ම ආදරය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතික සුදු තරුණියකට. ඇය ඕස්ට්‍රේලියාවේදී විවාහක කාන්තාවක් වුවත් පස්සේ දරුවන් සමග ඇවිත් මේ වලව්වේ ​ෙප්‍රඩ්රික් හාමු මියයනතුරුම ජීවත් වුණා. ප්‍රධාන වලව්වේ ජීවත් වූ ඇලික් හාමුට වීල්ස් වර්ගයේ ජිප් රථයක් තිබුණා ප්‍රෙඩ්රික් හාමුට ස්කෝඩා කියන මෝටර් රථයක් තිබුණා.  


ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා අධ්‍යක්ෂණය කළ ‘‘නිධානය’’ චිත්‍රපටියේ රූගත කිරීම් කරලා තියෙන්නේ ඇලික් ඔබේසේකර හාමු ජීවත් වූ මහා වලව්වේ තමයි. ඒ කාලේ මේ වලව් දෙක අවට ජන ශුන්‍ය ප්‍රදේශයක් බව ඩබ්ලිව්.කුමාර මහතා ප්‍රකාශ කළේය.  


එදා රාජගිරියේ කලාකරුවන් කිහිප දෙනකුද ජීවත් වූ බව අපට පැවැසුවේ ගුවන් විදුලියේ හිටපු ප්‍රවීණ නිවේදනයකු වූ බර්ටි ගලහිටියාව මහතා ය.   


මම රාජගිරියට පදිංචියට ආ කෙනෙක් වුණත් මාත් එහි ඈත අතීතය ගැන තරමක් සොයා බලා තිබෙනවා. ඒ කාලේ මගේ වැටුප රුපියල් 180 යි. රාජගිරියේ ඉඳලා බොරැල්ලට බස්ගාස්තුව ශත 5 යි. ඒ කාලේ මම කථා කරලා දාගත්ත බස් රථයක් තිබුණා. 179 රාජගිරියෙන් බුලර්ස් රෝඩ් එක හරහා බම්බලපිටියට යන්න. ඒ කාලේ ගුවන් විදුලිය ළඟටම අයකරන්නේ ශත 10 යි. ඒ දවස්වල කෑම එකක් ශත 45 යි. කෑම එක ගේන මිනිහාට ශත 5 කුත් දෙනවා.  මා ඒ දවස්වල බෝඩිමක හිටියේ. ඒකට රුපියල් 35 යි. 60 දශකයේ රාජගිරියේ මැතිවරණ කාර්යාලය ආදී කාර්යාල තිබෙන ප්‍රදේශය වගුරු බිමක්. ඒ කාලේ බාල්දි වැසිකිළි තමයි රාජගිරිය පැත්තේ නිවාසවලට තිබුණේ. 


බොරැල්ලේ ඉඳලා එනකොට ආයුර්වේදය තියෙන ස්ථානයෙන් ගලායන ඇළෙන් මෙහා පැත්ත රාජගිරිය ප්‍රදේශය වශයෙන් හැඳින්වුණා.

  
එතැන කරත්ත රේන්ද පොළක් තිබුණා. කොළඹට ඇතුළුවන වගේම ​කොළඹින් එන කරත්ත මුදල් අය කිරීම මේ රේන්ද පොළෙන් කෙරුණා. හෙළ ගී අඹරේ පෑයූ සුපුන් කරුවක් වූ සුනිල් ශාන්ත කලක් රාජගිරියේ ජීවත් වූ කලාකරුවෙක්. ජයවර්ධනපුර නගර සභාව අසල රාජගිරිය උද්‍යානයේ ඔහු ජීවත් වුණා. මහගම සේකර කියන කලාකරුවා රාජගිරිය හේවාවිතාරණ විදුහලේ දරුවන්ට ඉගැන්නුවා. තේවිස් ගුරුගේ මහත්මයත් කලක් හේවාවිතාරණ විදුහලේ ඉගැන්නුවා. ගායන ශිල්පී ටී.එම්. ජයරත්න මෑතක් වනතුරුම හේවාවිතාරණ විදුහලේ ඉගැන්නුවා.  


තවත් දක්ෂ කලාකරුවන් රැසක් රාජගිරිය ඒ අවට ගම්වල ජීවත්වුණා. ඒ අය අතර නැටුම් ශිල්පී හා චිත්‍රපට නළු ශේෂා පලිහක්කාර, පණිභාරත, සිනමාවේදී තිස්ස අබේසේකරත් මාදින්නාගොඩ ජීවත්වුණා. තවත් මට මතක තියෙන සිද්ධියක් තමයි ඩබ්ලිව්.ඩී. අමරදේවත් ශේෂා පලිහක්කාරත් මාත් රාජගිරියේදී බැඩ්මින්ටන් ක්‍රීඩා කළා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ඩී.ඩී. ඩැනී, ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා, ගායිකා ප්‍රසිලා ඕපාත, සබිතා පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් රැසක් මේ රාජගිරිය ආශ්‍රිතව එද‌ා ජීවත් වුණා යැයි බර්ටි ගලහිටියාව මහතා ප්‍රකාශ කළේය.  


‘නංගීලා මල්ලිලා ඉන්නවාදෝ බලා’ ‘පැලේ වසන රන්මලී’ ආදී ගීත ගායනා කළ සිඩ්නි ආටිගල නම් කලාකරුවාත් රාජගිරියේ ආටිගල වලව්වේ ජීවත් වූ කලාකරුවෙක්. ඔහු ගැන තොරතුරු සොයා යද්දී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මහතා සිඩ්නි ආටිගල ගැන රසවත් තොරතුරු රැසක් අප සමග පැවැසුවා.  


‘සිඩ්නි ආටිගලයි මමයි උපාලි අත්තනායකයි මරද‌ානේ ශාන්ත ජෝසප් විදුහලේ එකම පංතියේ තමයි ඉගෙන ගත්තේ. 


අපි තුන් දෙනා ත්‍රිමූර්තියක් කිව්වොත් එය නිවැරදියි. අපි තුන්දෙනාම එකට තමයි පංතියෙන් හිටියේ. සිඩ්නියි මායි බක්කි කරත්තෙන් තමයි ඉස්කෝලේ ගියේ ඉස්කෝලේදී අපි සිංදු කියනවා. හරිම සතුටින් තමයි හිටියේ.  
‘‘නංගිලා මල්ලිලා’’ යන ගීතය සිඩ්නිට ගායනා කරන්න රචනා කරලා දුන්නේත් උපාලි. ඒ කාලේ අපේ පංතියේ සතියකට වරක් අන්තිම පීරියඩ් එක තියෙන්නේ පිහිනුම් පුහුණුව සඳහායි. කොහොම හරි අපි තුන්දෙනා මේ පීරියඩ් එක කට්කරනවා. කට් කරලා ඉස්කෝලේ පස්ස පැත්තෙන් බේරේ වැව අයිනෙන් හිමිහිට ඇවිදගෙන එනවා. එක තැනක පොඩි මරුකපොල්ලක් තියෙනවා. ඒකත් ඉතාම ප්‍රවේශමෙන් පැන ගන්නවා. පොඩ්ඩක් වැරදුණොත් බේරේවැවේ තමයි. අපි මතුවෙන්නේ මරද‌ානේ ගාමිණී හෝල් එක ළඟින් තමයි. ගාමිණී හෝල් එකට ගිහින් චිත්‍රපටියක් බැලීමට තමා අපි එහෙම එන්නේ. ඒ කාලේ ටිකට් එකක් ශත 50 යි. පාසල් නිල ඇඳුම නිසා අපිට ඒ කාලේ ටිකට් දෙන්නේ නැහැ.  

 
අපි කාන්තාවෝ ඉන්න පෝලිම් ළඟට ගිහිල්ලා කාන්තාවකට කියලා සල්ලි දීලා ටිකට් තුනක් අරගෙන හෝල් එකට ඇතුළුවෙනවා. සිරිසේන විමලවීර මහත්තයාගේ අහංකාර ස්ත්‍රිය වැනි චිත්‍රපටි බැලුවා. ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ඕන වුණාම අපි තුන්දෙනා නිව් ඔලිම්පියා එකට යනවා. අපි තුන් දෙනාගේ මේ හොර වැඩේ විදුහල්පති පියතුමාට ආරංචිවෙලා අපි පැනලා යන තැනට ගේට්ටුවක් දැම්මා. ඊට පස්සේ අපේ අහිංසක සතුට අහිමිවුණා   
සිඩ්නිගේ පියා කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්. සිඩ්නි එංගලන්තෙට ගිහින් බැරිස්ටර් විභාගය පාස්වෙලා බැරිස්ටර් කෙනෙක් ලෙස වැඩ කළ බව පසුව මට අාරංචි වුණා.  


මම සහාය අධ්‍යක්ෂකවරයා වූ ‘‘සංදේශය’’ චිත්‍රපටියේ ‘පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’ යන ගීතය ජෝතිපාල එක්ක සිඩ්නි ගායනා කළා. මේ ගීතයේ පටිගත කිරීම් තිබුණේ ඉන්දියාවේ නිසා මට ඒකට යන්න වුණේ නැහැ. මම ඒකට ගියානම් මගේ කළණ මිතුරා සිඩ්නි ආටිගලව ඉන්දියාවේදි හමුවෙන්න තිබුණා. කොහොම නමුත් ඒකත් වැළකී ගියා.  


50 දශකයේ රාජගිරියේ මාදින්නාගොඩ තමයි ශේෂා පලිහක්කාර උන්නැහේ පදිංචි වෙලා හිටියේ. මම අධ්‍යක්ෂණය කළ ‘‘සාරවිට’’ චිත්‍රපටියේ රූගතකිරීම් සිදුවුණේ ශේෂාගේ නිවසේ තමයි. මාදින්නාගොඩ පාලම අසලදී සාරවිට කාරයා මැර ප්‍රහාරයකට ලක්වෙනවා. ඒක රූගත කළා. ඊළඟට රන්මුතු දුව චිත්‍රපටියේ ‘‘ගලන ගලකි ජීවිතේ’’ කියන ගීතයේ කොටසක් මදින්නාගොඩ පාලම අසල දී රූගත කළා මට මතකයි.   

චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය

 

එම්.ඒ. ප්‍රේමසිරි මුණසිංහ

ඉස්සර රාජගිරිය ආසන්නයේ සංගීත සංදර්ශනයක් බලන්න මම ගියා. එහිදී සුනිල් ශාන්ත මහතා ‘ඕලු පිපීලා’ යන ගීතය ගායනා කළ අයුරු මා මතකයේ තියෙනවා යැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මහතා කීවේය.   
රාජගිරිය, මාදින්නාගොඩ, කලපළුවාව වැනි ගම්වල වගුරු බිම් ගොඩ වී මහ නගර මහල් නිවාස ඉදිවෙද්දී තවදුරටත් අතීතයේ තිබූ ගැමි සුවඳ රාජගිරියේ ශේෂවී තිබීම සතුටට කරුණකි.  


සටහන සහ ඡායාරූප   
මහින්ද ආරියවංශ