වසර 320කට අධික කාලයක් මුළුල්ලේ ඉන්දියානු භූමියෙන් විශාල ප‍්‍රමාණයක පාලනය ගෙන ගිය දිල්ලි සුල්තාන් රාජ්‍යය මම්ලූක්, කහල්ජි, තුග්ලක්, සෙයියිඩ් සහ ලොඩි යන රජ පෙළපත් පහක පාලනයට යටත්ව පැවතියේය. ක්‍රි.ව. 1206 ඇරඹි දිල්ලි සුල්තාන් රාජ්‍යය ක‍්‍රමයෙන් ව්‍යාප්ත වී ක්‍රි.ව. 1310 පමණ වන විට අලා උද්දින් බල්ජි යටතේ ඉතා බලවත් රාජ්‍යයක් බවට පත් විය. ක්‍රි.ව. 1335 දී පමණ කැරැලි කෝලාහල හා මොංගෝලියානු ආක‍්‍රමණ හමුවේ එම රාජ්‍යය බිඳ වැටෙන්නට වූ අතර 15 වැනි සියවස වන විට එහි බලය විශාල වශයෙන් පිරිහී තිබිණි. ක්‍රි.ව. 1517දී එහි බලයට පත් ඉබ‍්‍රාහිම් ලෝදි පරාජය කළ සහීර් උද්දීන් මුහම්මද් බාබුර් ඉන්දියාවේ පාලනය අත්පත් කර ගත් අතර දිල්ලි සුල්තාන් රාජ්‍යය එතැනින් අවසන් වී මූගල් අධිරාජ්‍යයේ ආරම්භය සනිටුහන් කෙරිණි. මෙම ලිපි පෙළ මූගල් අධිරාජ්‍යයේ පාලනය පිළිබඳව කතාවයි. 

ක්‍රි.ව. 1505 ජනවාරි මාසයේ එක්තරා දිනයක ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයෙන් අශ්වාරෝහක හමුදාවක් නැගෙනහිර ප‍්‍රදේශයට ගමන් කරන්නට වූහ. ඔවුහු හිමෙන් වැසී ගිය හින්දුකුෂ් කඳුවැටිය ඔස්සේ දින ගණනක් ගමන්කොට උතුරු ඉන්දියානු තැනිතලාවේ මායිමේ පිහිටි නින්ග්හාර් දිස්ත්‍රික්කය වෙත ළඟා වූහ. එම අශ්වාරෝහක කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ 21 හැවිරිදි බාබුර් නමැති තරුණයෙකි. ජීවිතයේ කිසිදු දිනයක මායිම් රාජ්‍යයකට ඇතුළු වී නොතිබුණු ඔහු උණුසුම් දේශගුණයෙන් යුතු ඉන්දියානු දේශ සීමාවට ඇතුළු වූ පළමු අවස්ථාව එය විය. 


නින්ග්හාර් ප‍්‍රදේශය දුටු ඔහු මෙසේ ලියා තැබීය. ‘‘මා අලුත් ලොවකට පැමිණියෙමි. ගහ කොළ, සතුන්, පක්ෂීන්, තණබිම් මෙන්ම මිනිස් ආචාරධර්ම හා චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදියේ පැහැදිලි වෙනස්කමක් දුටුවෙමි. අප විස්මයට පත්වීමු. එහෙත් සත්‍යය වනුයේ අප විස්මයට පත් කළ හැකි තවත් බොහෝ දේ එහි පවතින බවයි.’’ 


මධ්‍යම ආසියාවේ නිසරු කඳුකරයේ සිට වයඹ දිග දුර්ගය ඔස්සේ බාබුර් ගමන් ගත් මාර්ගය ඔස්සේ ඉන් ඉහත ද බොහෝ ආක‍්‍රමණිකයෝ පැමිණියහ. ඒ සියල්ලෝම උතුරුදිග ඉන්දියාවේදී බාබුර් අත් විඳි සශ්‍රීකත්වය හා විස්මය අත්වින්දාහ. බාබුර්ට පෙර පැමිණි ආක‍්‍රමණිකයෝ එම ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේ අරමුණින් එහි පැමිණියද මෙවර පැමිණි පිරිස එසේ නොවූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ කොල්ලකෑමටය. ඉන්දු නදී තීරයේ තුන් මසකට ආසන්න කාලයක් කඳවුරු බැඳ සිටි බාබුර්ගේ ආක‍්‍රමණිකයෝ අසුන්, බැටළුවන් සහ ගව සම්පත කොල්ලකන්නට වූහ. බාබුර්ගේ කොල්ල කණ්ඩායමට තර්ජනයක් වූයේ අධික උණුසුමය. දැඩි උණුසුමින් ඔවුන්ගේ සමෙහි බිබිලි මතුවන්නට විය. තවදුරටත් දැඩි රශ්මියට මුහුණ දිය නොහැකි වූ ආක‍්‍රමණිකයෝ තමන් කොල්ල කන ලද ද්‍රව්‍යද රැගෙන යළි කාබුල් නුවර බලා පිටත්ව ගියහ. 


යළි කාබුල් නුවරට පැමිණියද ඉන්දියානු තැනි ප‍්‍රදේශයේ තමන් දුටු නව ලෝකය පිළිබඳ මතකය බාබුර්ගේ සිතෙන් මැකී ගියේ නැත. කෙසේ හෝ එම සශ්‍රීක භූමිය තමන් සතු කර ගැනීමට ඔහු සිහින මැවීය. ඉන් දසක දෙකකට පසු ඔහුට තම සිහිනය සැබෑ කර ගැනීමට මඟ පෑදිණි. විශාල හමුදාවක් රැගෙන හින්දුස්තානය ලෙසින් ප‍්‍රකට උතුරු ඉන්දියාව ආක‍්‍රමණය කළ බාබුර් දිල්ලි සුල්තාන් රාජ්‍යය තමන් සතු කර ගත්තේය. ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යය ආරම්භ වූයේ එතැන් සිටය. 


බාබුර් මූගල් අධිරාජ්‍යයේ නිර්මාතෘ හා ප‍්‍රථම පාලකයා විය. ක්‍රි.ව. 1483 පෙබරවාරි 14 දින උපත ලද ඔහුගේ නම සහීර් උද්දීන් මුහමඩ් බාබුර් විය. බාබුර් යන නාමය පර්සියානු බසින් ව්‍යුත්පන්න වූවක් වන අතර එහි අරුත ‘කොටියා’ යන්නයි. බාබුර්ගේ පියා චීන තුර්කිස්තානයට අයත් ෆර්ඝානාවේ (වත්මන් උස්බෙකිස්තානය). ආණ්ඩුකාරයා වූ උමාර් ෂෙයික් මීර්සා වූ අතර ඔහු පර්සියාවේ සහ මධ්‍යම ආසියාවේ ටිමුරිඩ් අධිරාජ්‍යය ගොඩ නැඟූ තුර්කෝ මොංගෝල් අධිරාජ්‍යයකු වූ අමීර් ටිමූර්ගේ මුනුපුරකු විය. ඔහුගේ මව චිංගිස් ඛාන්ගේ මිනිබිරියක වූ කුත්ලූබ් නිගර් බානුම්ය. 

 

 

ෆර්ඝානාවේ පාලකයා වූ බාබුර්ගේ පියා මියගියේ ඔහු එකොළොස් හැවිරිදි දරුවකු ව සිටියදීය. පියාගේ අභාවයෙන් පසු එහි පාලනය ඔහු සතු විය. එහෙත් ළාබාලයකු වීම හා එවක මධ්‍යම ආසියාවේ පැවැති දේශපාලන අස්ථාවරත්වය මත ඔහුට රාජ්‍ය පාලනය පහසු කාර්යයක් නොවීය. 


ක්‍රි.ව. 1405දී ටිමූර්ගේ මරණය සිදු වූ අතර ඔහු විසින් ගොඩ නඟන ලද අධිරාජ්‍යය ක‍්‍රමයෙන් කැබලිවලට බිඳෙන්නට විය. ක්‍රි.ව. 1500 පමණ වන විට මධ්‍යම හා බටහිර ආසියාවේ මොංගෝල් පාලනයට යටත්ව තිබූ ප‍්‍රදේශ කුඩා රාජ්‍ය ලෙසින් බිඳී ගොස් තිබිණි. එවැනි කුඩා රාජ්‍යයන්ගේ පාලනය ටිමූර්ගේ පෙළපතට අයත් මීර්සාවරුන් යටතට පත්ව තිබූ අතර ඥාතීන් වුවද එම රාජ්‍ය පාලකයෝ එකිනෙකා සමඟ නිරතුරුවම සටන් වැදී සිටියහ. 
ජක්සාතස් නදී තීරයේ පිහිටා තිබූ ෆර්ඝානාවට ද මෙම බලපෑම්වලින් මිදීමට නොහැකි විය. ෆර්ඝානාවේ අගනුවර වූයේ අක්ෂිකන්ටයයි. බාබුර් එහි සිට තම පාලනය ගෙන ගියේය. එහෙත් බලලෝභීත්වයෙන් පිරි ඔහුගේ ඥාතීහු කුඩා බාබුර්ගේ ෆර්ඝානාවට අත පෙවූහ. ෆර්ඝානාව මුලින්ම ආක‍්‍රමණය කරන ලද්දේ බාබුර්ගේ පියාගේ වැඩිමහලු සහෝදරයා වූ සමර්කන්ද් රාජ්‍යයේ පාලකයා වූ අහමද් මිර්සාය. 


ක්‍රි.ව. 1495දී අහමද් මිර්සා මියගිය හෙයින් ඔහුගේ ෆර්ඝානාව අත්පත් කර ගැනීමේ සිහිනය බොඳ වී ගියේය. එහි ප‍්‍රතිඵලය වූයේ බාබුර්ට සමර්කන්ද් අත්පත් කර ගැනීමට හැකිවීමය. සමර්කන්ද්හිදී ඔහු දැඩි ලෙස රෝගාතුර වූ අතර ෆර්ඝානාවේ රදලයෝ බාබුර්ගේ සොහොයුරු ජහාන්ගීර් එහි නායකත්වයට පත් කර ගත්හ. සමර්කන්ද් ජය ගත්තද බාබුර්හට ෆර්ඝානාව අහිමි විය. යළි ෆර්ඝානාව අත්පත් කර ගැනීම සඳහා බාබුර් සූදානම් වූ අතර සමර්කන්ද්හි සිට ෆර්ඝානාව බලා යන අතරතුර ඔහුගේ සතුරෝ ඔහු පරාජය කළහ. බාබුර්ගේ ඥාති සොහොයුරු අලී සමර්කන්ද්හි පාලනය සියතට ගත්තේය. වසරක පමණ කාලයක් බලා සිටි බාබුර් ක්‍රි. ව. 1499දී ෆර්ඝානාව යළි අත්පත් කරගත් අතර තවත් වසරකට පසු සමර්කන්ද් රාජ්‍යයද අත්පත් කර ගත්තේය. 


බාබුර්ට තර්ජනයක් වූයේ උස්බෙක්වරුන්ගෙනි. සමර්කන්ද් පාලකයන්ගේ සහයට පැමිණ සිටි උස්බෙක්වරුන්ගේ නායකයා වූයේ සයිබානි ඛාන්ය. බාබුර් හා සයිබානි ඛාන් අතර සාර් ඉ පුල් සහ අක්සි යන ස්ථානයන්හි සටන් ඇති විය. එකී සටන්වලින් පරාජය වූ ඔහුට සමර්කන්ද් රාජ්‍යයද, ෆර්ඝානාවද අහිමි වූ අතර තැනින් තැන රහසිගත ජීවිතයක් ගෙවන්නට සිදු විය. පසු කාලයේ සිය ජීවිත කතාව රචනා කරමින් ‘මේ කාලයේ දාම් පෙතෙක ඉත්තකු කොටුවෙන් කොටුවට අදින්නාක් මෙන් මා හටද තැනින් තැන යන්නට සිදු වූයේ යැ’ යි සඳහන් කර තිබේ. 


සයිබානි ඛාන්ගේ බලය ක‍්‍රමයෙන් වර්ධනය වන්නට විය. ක්‍රි.ව. 1504දී ට‍්‍රාන්ස්ඔක්සියානා ප‍්‍රදේශය සයිබානි ඛාන් යටතට පත්වීම හේතුවෙන් එහි පාලකයා වූ කුෂ්රාව් හා ඔහුගේ භට පිරිස බාබුර් හා එක්වූහ. එහෙත් සයිබානි ඛාන් හා සටන් කොට ජය ගත නොහැකි බැව් බාබුර්ට වැටහිණි. තම සොහොයුරියක සයිබානි ඛාන්ට විවාහ කර දුන් බාබුර් කාබුල් රාජ්‍යය අත්පත් කර ගැනීමට පියවර ගත්තේය. එවක කාබුල් රාජ්‍යයේ පාලනය අත්පත් කරගෙන සිටියේ මුකින් බෙග් ය. එහෙත් එහි සැබෑ හිමිකාරයා වූයේ බාබුර්ගේ ඥාති සොහොයුරු අබ්දුල් රසාක්ය. මුකින් බෙග් අබ්දුල් රසාක් පලවා හැර රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටියේය. ක්‍රි.ව. 1504 දී බාබුර් කාබුල් රාජ්‍යය ආක‍්‍රමණය කළේය. මුකින් බෙග් පරාජය කළ ඔහු එහි බලය අත්පත් කර ගත් අතර ක්‍රි.ව. 1526 දක්වා එය පාලනය කළේය. 


කාබුල්හි පාලකයා වුවද බාබුර්ගේ අරමුණ වූයේ ඉන්දියාව අත්පත් කර ගැනීමය. ‘‘ඉන්දියාව අත්පත් කර ගැනීමේ ආසාව මගේ සිතෙන් කිසි දිනෙක බැහැර වූයේ නැත. ෂබාන් මාසයේ සූර්යයා කුම්භ රාශියට පැමිණි දිනයේ මම කයිබර් දුර්ගය ඔස්සේ කාබුල්හි සිට හින්දුස්ථානය බලා ගමන් ඇරඹීමි’’ යනුවෙන් ඔහු තම ජීවිත කතාවේ සඳහන් කරයි. තම අරමුණ ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් බාබුර් කයිබර් දුර්ගය ඔස්සේ මුල්තානය බලා ගියේය. එහෙත් ඉන්දු නදිය වෙත ගිය ඔහු යළි හැරී ආවේය. මෙලෙස දෙවරක්ම ඉන්දියානු සීමාවට ගිය ඔහු යළි හැරී ආවේ වෙනත් අරමුණක් සහිතවය. 


තම ඥාතියකු වූ සුල්තාන් හුසේන් මිස්රා බේගරාහ්ගේ හෙරාත් රාජ්‍යය ඒ වන විට බාබුර්ගේ සතුරා වූ සයිබානි ඛාන් විසින් අත්පත් කරගෙන සිටියේය. හෙරාතය පුරාතන නැගෙනහිර මුස්ලිම් ලෝකයේ අගනගරය විය. බාබුර්, හුසේන් මිස්රා සමග මිතුදම් ගොඩනඟා ගත්තද ක්‍රි.ව. 1506 දී මිස්රා අභාවප‍්‍රාප්ත වීම හේතුවෙන් එම සමගි සන්ධානය බිඳ වැටුණි. එහෙත් බාබුර් හෙරාත්හී රැඳී සිටියේය. හුසෙන් මිස්රාගේ පුතුන් දෙදෙනාට අවශ්‍ය වූයේ සයිබානි ඛාන් සමඟ යුද වැදීමටය. 

 

 

චිංගිස් ඛාන් හා ටිමුර් සේම සයිබානි ඛාන්ද දිග්විජය කිරීමේ ආසාවෙන් පෙළුණු අයෙකු විය. ඔහු කන්දහාරය අත්පත් කර ගැනීමට උත්සාහ කළ හෙයින් හෙරාතය නිදහස් කර ගැනීමට වඩා කන්දහාරය අත්පත් කර ගැනීම වැදගත් යැයි බාබුර්ට හැඟිණි. එහෙත් සයිබානි ඛාන් සමඟ සටන් කිරීමට තරම් හමුදා ශක්තියක් බාබුර්ට නොවීය. 


එකල පර්සියාවේ සෆාර්විඩ් අධිරාජයා වූයේ ෂා ඉස්මයිල් සෆාවි රජුය. සයිබානි ඛාන් තමාට තර්ජනයක් බැව් ඔහුට වැටහිණි. සයිබානි ඛාන් කන්දහාරයට ප‍්‍රහාරයක් එල්ල කළද එය අත්පත් කර ගැනීමට උත්සාහ කළේ නැත. 


ක්‍රි.ව. 1510 දෙසැම්බර් 2 දින සයිබානි ඛාන් ඉස්මයිල් සෆාවිගේ පාලනය යටතේ පැවැති කොරාසානය වැටලීය. එහෙත් ඔහුට ඉස්මයිල් ෂාගේ හමුදා පරාජය කළ නොහැකි විය. සටන අවසානයේ සයිබානි ඛාන් මරණයට පත් විය. සයිබානි ඛාන් මරණයට පත් කිරීමේ පුවත ඇසූ බාබුර්, ෂා ඉස්මයිල්හට තුටුපඬුරු යැවීය. ෂා ඉස්මයිල් පර්සියාවේ ෂියා නිකායේ නායකයාද විය. ඔහු බාබුර්හට සමර්කන්ද් හා බුඛාරා යන ප‍්‍රදේශයන්හි පාලනය භාර දීමට එකඟ වි සිටියේය. සයිබානි ඛාන්ගේ මරණයෙන් පසු උස්බෙක්වරුන්ගේ බලය පිරිහී ගියද ඔවුහු බාබුර්ට එරෙහිව නැඟී සිටින්නට වූහ. 


ක්‍රි.ව. 1511දී බාබුර් මධ්‍යම ආසියාව බලා පිටත් විය. ඉස්මයිල් ෂාගේ සහ තම ඥාති සොහොයුරන්ගේ සහය ඇතිව සමර්කන්ද්, තාෂ්කන්ද්, කුන්දුස්, බොඛාරා, ෆර්ඝානා හා කාබුල් යන රාජ්‍ය තම අණසකට යටත් කර ගැනීමට බාබුර්ට හැකි විය. එහෙත් වැඩි කලක් එම ප‍්‍රදේශවල පාලනය ගෙන යැමට ඔහුට නොහැකි වූයේ උස්බෙක්වරුන්ගේ තර්ජන මතුව ආ බැවිනි. සමර්කන්ද්, හිසාර් හා ඝස්දවන්හි දෙපිරිස අතර ඇති වූ සටන්වලින් බාබුර් දරුණු ලෙස පරාජයට පත් විය. මධ්‍යම ආසියාවේ බලය ඔහුට අහිමි වන්නට විය. ඔහු කාබුල් නගරයට පසු බැස්සේය. ඉන්දියාව අත්පත් කර ගැනීමේ සිහිනය යළි පැන නැඟිණි. 


ඉන්දියාව අත්පත් කර ගැනීමේ සිහිනය පිළිබඳව ඔහු මෙලෙස සඳහන් කර තිබේ. ‘‘කාබුල් අත්පත් කරගැනීමෙන් පසු මගේ අරමුණ වූයේ හින්දුස්ථානය යටත් කර ගැනීමය. වරක් මගේ අමීර්වරුන්ගේ අත්වැරදීම් නිසාද, තවත් වරක් ඥාති සොහොයුරන්ගේ විරෝධතාව නිසාද එම සිහිනය වැළකී ගියේය. එකී බාධක ඉවත් කරගත් මම සේනා රැස්කර බජාවුර් හා ස්වොත් පසුකර ජේලම් නදියට බටහිරින් පිහිටි හේරා වෙත පැමිණියෙමි.’’ 

 

 


මතු සම්බන්ධයි 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා