ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ඉන්දියානු ආක්‍රමණය-9
පුද්ගලයකු මිය ගිය විට සිරුර මී පැණියෙහි හෝ ඉටි පිරවූ බඳුනක බහාලීම එකළ බැබිලෝනියාවේ පැවැති චාරිත‍්‍රයක් විය. ඒ අනුව ඇලෙක්සැන්ඩර්ගේ සිරුර ද මී පැණි බඳුනක ගිල්වා තැබුණු අතර එම බඳුන ගෙත්තම් කළ සිල්ක් සළුවකින් ඔතා තිබිණි.
ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු සිදු කළ යුත්තේ කවුරුන් විසින්දැයි යන්න පිළිබඳව තරගයක් පැවැතියේය. එය බේරුම් කරගැනීමට නොහැකිව පර්ඩිකාන්ස්, ටොලමි, සෝටර්, සෙලිකුස් සහ නිකේටර් වැනි ඇලෙක්සැන්ඩර්ගේ ජනරාල්වරුන් දෙවසරකට ආසන්න කාලයක් අරගල කර ගත් බැව් ඉතිහාසඥයෝ සඳහන් කරති.
ඇතැමෙකුට අවශ්‍ය වූයේ ඇලෙක්සැන්ඩර්ගේ සිරුර මෙසිඩෝනියාවට රැගෙන යෑමටය. එහෙත් ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම ජනරාල්වරයා වූ ටොලමිට අවශ්‍ය වූයේ පාරාවෝ රජුන්ගේ සිරුරු මිහිදන් කර ඇති ඊජිප්තුවේ ඔහු මිහිදන් කිරීමටය. සිරුර රැගෙන යෑමට රනින් නිම කෙරුණු විශාල අශ්ව රථයක් සූදානම් කෙරිණි. ඇලෙක්සැන්ඩර් මරණයට පත් ව දෙවසරකට පසු එය මිහිදන් කිරීම සඳහා හමුදා නිලධාරීන් හා යුද භටයන් දහස් ගණනක් පිරිවරාගත් රථය බැබිලෝනියාවේ සිට මෙසිඩෝනියාව බලා යෑමට පිටත් විය. එහෙත් ඔවුනට එය මෙසිඩෝනියාවට රැගෙන යෑමට ඉඩ ලැබුණේ නැත. ඉතිහාසඥ දියදුරුස් සිකලස්ට අනුව සිරියානු සහ ඊජිප්තු දේශ සීමාවේදී ජනරාල් ටොලමි විසින් සිරුර පැහැර ගෙන ඇලෙක්සැන්ඩ්‍රියාවට රැගෙන ගොස් තිබේ.
සෙන්පති ටොලමි ඇලෙක්සැන්ඩර්ගේ අවසන් ඉල්ලීම ප‍්‍රකාර ඔහුගේ දේහය සර්වබලධාරි ඊජිප්තු දෙවියකු වූ ‘අමුන් රා‘ උදෙසා සිවා ක්ෂේම භූමියේ ඉදිකෙරුණු දෙවොලේ මිහිදන් කළ බවට වන උපකල්පනය ග්‍රීක පුරාවිද්‍යාඥවරියක හා මහා ඇලෙක්සැන්ඩර්ගේ ඉතිහාසය පිළිබඳ විශේෂඥවරියක වන ලියානා සුවල්ට්සි විසින්ද සනාථ කර තිබේ. තමා සියුස් (අමුන් රාගේ) පුත‍්‍රයා යැයි ඇලෙක්සැන්ඩර් විශ්වාස කළේය. ඔහුට ඒ බැව් පවසා තිබුණේ අමුන්හි අනාගත වක්තෘවරයෙකි. රෝගීව සිටි ඇලෙක්සැන්ඩර් තමා මිය ගිය දිනෙක සිරුර සිවා ක්ෂේමභූමියේ පිහිටි සියුස් අම්මොන් (අමුන් රා) දෙවොලේ මිහිදන් කරන ලෙසට ඉල්ලා සිටි බවට ඉතිහාසඥයන් වූ කර්ටියස් රූෆස් හා ජස්ටින් ද සඳහන් කරති. ඉතිහාසඥ දියදුරුස්ට අනුව ඇලෙක්සැන්ඩර්ගේ සිරුර තැන්පත් කර ඇත්තේ ඔහුගේ සිරුරේ හැඩයට සකසන ලද රන් මංජුසාවකය.
ඇලෙක්සැන්ඩර් මිහිදන් කළ ස්ථානය සියවස් ගණනක් පුරා අබිරහසක් ලෙස පැවතිනි. ජූලියස් සීසර්, ඔගස්ටස් සීසර්, ක්ලියෝපැට්රා, ඔක්ටේවියන්, හද්‍රියාන්, සෙවරස්, කැරකලා වැනි රාජකීයයන් ඇලෙක්සැන්ඩර්ගේ සොහොන වෙත ගොස් ගෞරවය පුද කළ බවට ඉතිහාසගත වාර්තා පවතී. ඔක්ටේවියන් ඇලෙක්සැන්ඩර්ගේ හිස අසලින් රන් ඔටුන්නක් හා පාද අසල මල් කලබක් තබන ලදැයි සඳහන්ය. කලිගුලා ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි ඇලෙක්සැන්ඩර්ගේ සොහොන කොල්ල කෑ අතර ඔහුගේ රනින් නිමැවුණු උර පලඳනාව පැහැර ගත් බව ද කියැවේ. කැරකලාද ඔහුගේ චෝලය, මුදුව, බඳපටිය සහ මිනී පෙට්ටියේ තැන්පත් කර තිබූ වටිනා ද්‍රව්‍ය පැහැර ගත් බැව් පැවසේ.
ක්‍රි. පූ. 199දී සොහොන ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් රෝම අධිරාජයකු වූ සෙප්ටිමස් සෙවරුස් විසින් සොහොන වසා දැමීමට පියවර ගෙන තිබේ. කෙසේ වුවද ක්‍රි.ව. 803දී ඉබන්අබ්ඩ් අල් හකාම්, ක්‍රි. ව. 896 දී අල් මසූඩි, ක්‍රි. ව. 1494දී අප්‍රිකානු ලියෝ යන ලේඛකයන් ඊජිප්තුවේ පිහිටි ඇලෙක්සැන්ඩර්ගේ සොහොන වෙත පිවිස ඇති බවට ඔවුන් විසින් ලියා ඇති තොරතුරුවලින් අනාවරණ වී තිබේ. අප්‍රිකානු ලියෝ ඇලෙක්සැන්ඩර්ගේ සොහොන පිළිබඳව මෙලෙස සඳහන් කරයි.
‘‘ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඇති නටබුන් අතර එක් කුඩා මන්දිරයක් දැකිය හැකිය. කුඩා දෙවොලක් ලෙස හැඟී යන එම මන්දිරය මහමදිකයන්ගේ ඉමහත් ගෞරවයට පාත‍්‍ර වූවකි. එතුළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සිරුර තැන්පත්ව ඇතැයි පැවසේ. බොහෝ ඈත ප‍්‍රදේශයන්හි සිට එහි පැමිණෙන වන්දනාකරුවෝ එම සොහොනට වන්දනාමාන කරති.’’ යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
ක්‍රි. ව. 1880 දී පමණ පුරා විද්‍යාඥ මොහොමඞ් එල්. ෆලාකි විසින් පුරාණ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිතියමක් සකසන ලද අතර ඔහුගේ මතය වූයේ ඇලෙක්සැන්ඩර්ගේ සොහොන ඇලෙක්සැන්ඩ්‍රියා නගර මධ්‍යයේ පිහිටා ඇති බවටය. ඊජිප්තු පුරාවස්තු පිළිබඳ සුප්‍රිම් කවුන්සිලය ඇලෙක්සැන්ඩර්ගේ සොහොන සොයා ගැනීම සඳහා අවස්ථා 140කදී කැණීම් කටයුතු සිදුකර තිබේ.
ක්‍රි. ව. 1984 දී ඊජිප්තුවේ සිවා ක්ෂේම භූමියේ (ලිබියානු දේශ සීමාවේ සිට කිලෝමීටර් 50 පමණ නැගෙනහිර දෙසට හා කයිරෝ නගරයේ සිට කිලෝමීටර 560ක් පමණ දුරින් මෙම ප‍්‍රදේශය පිහිටා තිබේ.) සිදු කෙරුණු පුරාවිද්‍යාත්මක ගවේෂණයක දී වර්ග මීටර් 525ක් පමණ විශාලැති හෙලනිස්තික රාජකීය සොහොනක් සොයා ගැනීමට හැකි විය. එය ඇලෙක්සැන්ඩර්ගේ සොහොන බවට හඳුනාගෙන තිබේ. ග්‍රීක ශෛලියට අයත් විශාල සිංහ රූප දෙකක් එයට ආරක්ෂාව සලසන ආකාරයෙන් ඒ අසල සවි කොට තිබිණි. ග්‍රීක අක්ෂර සහිත පුවරුවක් ද ඒ ආසන්නයේ තිබූ අතර එහි අමුන් රාගේ සංකේතය සටහන් වී තිබිණි. එම පුවරුව ටොලමි විසින් ස්ථාපනය කරන ලද්දක් විය හැකි යැයි ලියානා සුවල්ට්සිගේ මතය වී තිබේ.
ඇලෙක්සැන්ඩර් කිසිදු සටනකින් පරාජයට පත් නොවීය. ඔහුට ‘මහා ඇලෙක්සැන්ඩර්’ යන විරුදාවලිය හිමි වූයේ හමුදා නායකයකු වශයෙන් ඔහු සතු වූ අසමසම සාර්ථකත්වය හේතුවෙනි. ඉතිහාසගත ඇතැම් කරුණුවලට අනුව ඇලෙක්සැන්ඩර් මරණ මංචකයේදී තම බිසව වූ රොක්සානාගේ සුරත ගෙන ජනරාල්වරයකු වූ පෙරඩිකාස්ගේ අත මත තබා ඇය ඔහුගේ භාරකාරත්වයට පත් කළ බැව් පැවසේ. එහෙත් ඒ වන විට රොක්සානා ගැබ් ගෙන සිටි හෙයින් පෙරිඩිකාස් ඇය හා විවාහ වූයේ නැත. එසේ වූවා නම් ඉපදෙන්නට සිටි ඇලෙක්සැන්ඩර්ගේ පුත‍්‍රයාට රාජකීයත්වය අහිමි වන්නට ඉඩ තිබිණි.
ඇලෙක්සැන්ඩර්ගේ සොහොයුරා වූයේ තුන් වැනි පිලිප්ය. ඔහු ඇලෙක්සැන්ඩර්ගේ පියා වූ දෙවැනි පිලිප්ගේ අනියම් බිරියකගේ පුත‍්‍රයෙකි. අපස්මාර රෝගියකු වූ ඔහු බුද්ධි හීනයකු විය. මෙසිඩෝනියානුවන්ගෙන් වැඩි පිරිසකගේ අපේක්ෂාව වූයේ ඔහුට රජකම හිමිවනු දැකීමටය. මෙසිඩෝනියානුවන් පර්සියානුවන් හැඳින්වූයේ ම්ලේච්ඡයන් ලෙසිනි. එහෙයින් පර්සියානු රජ කුමරියක වූ රොක්සානාගේ පුත‍්‍රයාට රජකම හිමිවීම ඔවුහු නොරිස්සූහ.
රොක්සානාගේ දරුවා පුත‍්‍රයකු වූ හෙයින් රජකම හිමි විය යුත්තේ කවුරුන් හටදැයි බේරා ගැනීමට මෙසිඩෝනියානුවන් අතර ගැටුමක් නිර්මාණය විය. අවසානයේ තීරණය වූයේ තුන් වැනි පිලිප් හා ඇලෙක්සැන්ඩර්ගේ පුත‍්‍රයා වන සිව් වැනි ඇලෙක්සැන්ඩර් යන දෙදෙනා හමුදා ජනරාල්වරුන්ගේ අධීක්ෂණය යටතේ එක්ව රාජ්‍ය පාලනය කළ යුතු බවටය. එහෙත් එම ගිවිසුම ක්‍රියාත්මක නොවූ අතර දෙපිරිස අතර යළි අර්බුද පැන නැංගේය.
මෙකල ග්‍රීසියේ පාලකයා වූයේ කැසැන්ඩර්ය. කැසැන්ඩර්ගේ පාලනය යටතේ ඇලෙක්සැන්ඩර්ගේ පුත‍්‍රයා සුරක්ෂිත නොවන බැව් ඇලෙක්සැන්ඩර්ගේ මව වූ ඔලිම්පියාස් බිසවට වැටහී තිබිණි. මෙසිඩෝනියාවේ වාසය කළ ඇයට යම් පමණක රාජ්‍ය බලයක්ද තිබිණි. ඇය තම හමුදාව ලවා තුන් වැනි පිලිප් හා ඔහුගේ බිසවද කැසැන්ඩර්ගේ හිතවතුන් සිය ගණනක්ද ඝාතනය කළාය. මෙය දැනගත් කැසැන්ඩර් ක්‍රි. පූ. 316දී හමුදාවක් රැගෙන ග්‍රීසියේ සිට මෙසෙිඩෝනියාවට පැමිණ ඔලිම්පියාස් බිසවගේ හමුදා පරාජය කළේය. ඔලිම්පියාස් බිසව ඝාතනය කළ කැසැන්ඩර් ඇලෙක්සැන්ඩර්ගේ බිසව වූ රොක්සානා හා ඇගේ පුත් සිව් වැනි ඇලෙක්සැන්ඩර් කුමරු සිරගත කළේය. කෙටි කලක් සිරභාරයේ සිටි ඔවුන් දෙදෙනා පසුව ඝාතනය කෙරිණි.
ඉන්පසු මෙසිඩෝනියාව හා ග්‍රීසිය කැසැන්ඩර්ගේ පාලනයට නතු විය. බැබිලෝනියාව පාලනය කළ පෙරිඩිකාස් ඝාතනය කළ සෙලූකස් බැබිලෝනිවේ පාලනය තමන් සතු කර ගන්නා ලද අතර පර්සියාවේ නැගෙනහිර ප‍්‍රදේශය තෙක් තම රාජ්‍යය ව්‍යාප්ත කළේය. ක්‍රි. පූ. 305 සිට ක්‍රි. පූ. 303 දක්වා ඔහු ඉන්දියාවේ මෞර්යයන් සමඟද සටන් කළේය. පසුව ඔවුන් සමඟ සමාදාන වූ අතර එදා සටන් පැවැති ප‍්‍රදේශය වර්තමාන ඇෆ්ගනිස්තානයයි.
ඇලෙක්සැන්ඩර්ගෙන් පසු බිහිවූ පාලකයෝ මෙසිඩෝනියානු පාලන ක‍්‍රමය අනුව රාජ්‍ය පාලනය ගෙන ගියහ. ඇලෙක්සැන්ඩර් අනුගමනය කරමින් ඔහු මෙන් ශීර්ෂ පලඳනාවක් පැලඳුහ. තම ලබ්ධිය කෙරෙහි වැඩි ගෞරවයක් දැක් වූ ඔවුහු, යුද්ධය දෙවියන්ගේ කැමැත්ත පරිදි සිදුවන්නක් බැව් විශ්වාස කළහ. ඊජිප්තුවේ පාලකයා වූයේ ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම සෙන්පතියකු වූ ටොලමිය. තමන් හෙරික්ලීස් සහ දියොනිසුස් යන විරුවන්ගේ පරම්පරාවෙන් පැවැත එන්නෙකු යැයි ඔහු ප‍්‍රකාශ කළේය. ඔහු තම කාර්ය මණ්ඩලය හා පාලක මණ්ඩලයට ඊජිප්තුවන් නොව ග්‍රීකයන් බඳවා ගැනීමට කටයුතු කළේය. තමන් ඊජිප්තුවේ නව පාරාවෝ යැයි ප‍්‍රචාරය කළේය. පුරාණ ඊජිප්තුවේ පැවැති ශ්‍රී විභූතිය යළි ඇති කිරීමට ඔහු සමත් විය.
ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුගේ නමින් නගර 70කට වැඩි සංඛ්‍යවක් අලුතින් නිර්මාණය කළේය.
ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව, ඉරානයේ ඇලෙක්සැන්ඩ්‍රියා ආසියානාව, ඇෆ්ගනිස්ථානයේ ඇලෙක්සැන්ඩ්‍රියා අරියානාව, ඇලෙක්සැන්ඩ්‍රියා කොකේසය, ඇලෙක්සැන්ඩ්‍රියා ඔක්සසය, ඇලෙක්සැන්ඩ‍්‍රාපොලිස් (කන්දහාරය) සහ ඇලෙක්සැන්ඩ්‍රියා ආරචොස්සියාන්ස්, පාකිස්තානයේ ඇලෙක්සැන්ඩ්‍රියා බුකෙපෙලාස්, තජිකිස්තානයේ ඇලෙක්සැන්ඩ්‍රියා එස්චේට්, තුර්කියේ ඇලෙක්සැන්ටාඩ්‍රෙටා, ඒ අතර ප‍්‍රධානය.
සමාප්තයි.
ප්‍රියන්ජන් සුරේෂ්ද සිල්වා
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කටයුතු පිළිබඳ මතභේදයක්