මළවුන්ගේ 
    අනාවරණ

කැස්සට බෙහෙත් බීපු දස හැවිරිදි දසුන් දින දෙකක් ඇතුළත අසාධ්‍ය වී රෝහල් ගත කිරීමටත් පෙර මියගියේය. දසුන් මරණයට පත්වන විට දින තුනක් තිස්සේ ඔහුගේ මව සිටියේ රෝහල්ගතවය. ඒ දසුන්ගේ මල්ලී අසනීපවීම නිසා ඔහුට ප්‍රතිකාර ගැනීමටය. දසුන් සිටියේ සුලු පියා සමගය. දසුන්ට අවුරුදු තුනක් පමණ වයසේදී පියා රෝගාතුරව මියගියේය. ඒ මරණයෙන් වසර පහකට පමණ පසු දසුන්ගේ මව වෙනත් විවාහයක් කරගත් අතර දැන් දසුන්ලා රැකබලා ගන්නේ ඒ සුලු පියා විසිනි. දසුන්ගේ මවට දෙවැනි විවාහයෙන් තවත් දරුවෙක් සිටී. මව රෝහල්ගතව සිටියේ ඒ දරුවාගේ අසනීප තත්ත්වයක් හේතුවෙනි. 

දසුන්ගේ මරණයට නිශ්චිත හේතුවක් කීමට වෛද්‍යවරුන්ට අපහසු විය. මන්ද කැස්ස හෝ සෙම වැඩිවීම කිසිවෙක් මියයන්නට තරම් ප්‍රබල හේතු නොවේ. එය මරණයට බල පෑ හැකි අවස්ථා තිබිය හැකිය. එය මතුපිටින් පෙන්නුම් නොකෙරේ. මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදුකරන්නට මරණ පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබිණ. මරණයට හේතුවක් වෛද්‍යවරු නිශ්චිතව නොකියන නිසාත්, කුඩා දරුවෙකු වීම නිසාත් පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතු බවට හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේය. ඒ අනුව පේරාදෙණිය අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතා වෙත සිරුර භාරදෙනු ලැබිණ. 


 අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා සිරුර මතුපිටින් පරීක්ෂා කර බැලුවේය. උරහිස් හා දණහිස් ආශ්‍රිතව සුවවෙමින් පවතින තුවාල කැළැල් දක්නට ලැබුණත් ඒවා වැටීමකින් සිදුවිය හැකි තුවාල නිසා බරපතළ ලෙස ඒ ගැන සිතිය යුතු නොවිණ. එහෙත් ඒ සියල්ල වෛද්‍යවරයා සටහන් කර ගත්තේ යම් කිසි ආකාරයකින් මේ තොරතුරු පසුවට වැදගත් වනු ඇති හෙයිනි. දසුන්ගේ සම ‘තද කළු’ පැහැතිය. ඒ නිසා එක් වරම සම මතුපිටින් තැළුමක් වැනි දෙයක් තිබේදැයි සෙවිය නොහැකිය. ඒ නිසා තීක්ෂණ ලෙස සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ අවධානය වෙනම පැත්තකට යොමු කරන සුවිශේෂී යමක් නෙත ගැටිණ. ඒ සම මතුපිට සමහර ස්ථානවල තිබූ සුවවෙමින් පවතින ලාක්ෂණික රටාවක සීරුම් තුවාල කීපයකි. 


එකිනෙකට සමාන්තරව පිහිටි මෙවැනි තුවාල කීපයක් දෑත් දෙපා හා පිටකොන්ද ආශ්‍රිතව දැකිය හැකි විය. ඒවායේ ඒකාකාරී රටාව අනුව එකම ආකාරයකට ඇති වූ තුවාල බවට සිතිය හැකි විය. මේ තුවාල නිසා වෛ​ද්‍යවරයා තුළ සැකයේ බීජ හටගත්තේය. හේ අත් කාචයකින් තුවාල පරීක්ෂා කර බැලුවේය. තමන් පියවි ඇසින් දුටු දේ එලෙසින්ම බව එයින් තවදුරටත් තහවුරු විය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයේ සැලසුම වෙනස් කිරීමට වෛද්‍යවරයා තීරණය කළේය. සාමාන්‍ය පිළිවෙළ අනුව පළමුව සිදුකරන්නේ උදරය හා පපු කුහරය විවෘත කිරීමය. එහෙත් මෙහිදී එය පසුවට කල් තබා වෛද්‍යවරයා සම මාංශ පේශීවලින් විච්ඡේදනය කිරීම ආරම්භ කළේය. 


මෙහිදී සමට යටින් මාංශ පේශි මත සටහන් වූ තැළුම් තුවාල රැසක් දැකිය හැකි විය. මේවා අත්, පාද සහ පපු ප්‍රදේශ මත විසිරී තිබිණ. මේ අනුව දසුන්ට මොට ආයුධයකින් පහර දී ඇති බව තහවුරු විය. එහෙත් ඒවා දසුන්ට මරණය කැඳවන්නට තරම් බරපතළ ඒවා නොවිණ. වෛද්‍යවරයා මේ සියල්ල ඡායාරූප ගත කිරීමට නියෝග කළේ ඒවා සාක්ෂි ලෙස අවශ්‍ය වනු ඇති හෙයිනි. 


ඉන්පසු ශරීර අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීම ඇරඹුවේය. පෙනහලුවල හැර අනෙකුත් අවයවවල විශේෂ ගැටලු කිසිවක් හමුවූයේ නැත. පෙනහලුවල නිව්මෝනියා රෝග තත්ත්වයක් හඳුනාගත හැකි විය. එහෙත් නිව්මෝනියා රෝග තත්ත්වය පමණක් මරණයට හේතු වන්නට ඇති බව කිව නොහැකිය. මන්ද එය එතරම් උග්‍ර තත්ත්වයකට පැමිණ නොතිබීම නිසාය. එතැනින් පරීක්ෂණ අවසන් නොකළ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා දසුන්ගේ රුධිරය, මුත්‍රා හා අක්ෂි තරලය මෙන්ම මෘදු පටක කොටසක් කීපයක්ද ආරක්ෂිතව ශීතකරණයේ තැන්පත් කොට මරණයට හේතුව නිශ්චය කිරීම පසෙකට තබා දේහය නිදහස් කළේය. ඒ අවසන් කටයුතු අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවක් නොවූ බැවිනි. 


මේ අතර දසුන්ගේ සිරුරේ දක්නට ලැබෙන තැළුම් තුවාල ඇති වූයේ කෙසේදැයි ඔහුගේ දෙමාපියන්ගෙන් විමසා බලන ලෙස වෛද්‍යවරයා පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව ඔහුගේ මවගෙන් ප්‍රශ්න කිරීමක් කළත් ඇය දින තුනක් තිස්සේ රෝහල්ගතව සිටි නිසා මේ කිසිවක් දන්නේ නැත. දසුන්ගේ සුළු පියාද කියා සිටියේ පහරදීමක් ගැන තමන් කිසි දෙයක් නොදන්නා බවය. දසුන්ට දින කීපයකට පෙර සිට කැස්සක් හටගත් බවත් එයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අතර හිටි ගමන්ම ඔහුට සිහි නැති වූ බවත් සුළු පියාගේ ප්‍රකාශයෙන් කියැවින. එයින් එහාට දෙයක් ඔහුගෙන් ලබාගත නොහැකි විය. 

 

දසුන්ගේ අක්ෂි තරලයේ මේ ප්‍රමාණයටත් වඩා ජලය අඩංගු වූයේ නම් එය සිදුවිය හැක්කේ කෙසේද? අධික ලෙස ශරීරයට ජලය එකතු විය හැකි ක්‍රම දෙකකි. අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නේ නම් ඇතැම් විට ඔහු කිසිම හේතුවක් නැතිව ජලය පානය කරයි. එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් ජලය පෙවිය යුතුය. ජලය අධික ලෙස ශරීර ගතවීම සිරුරට විෂ විය හැකිය. බාහිර තුවාල කිසිවක් නොකර වධ හිංසා පැමිණවීමේ ක්‍රමයක් ලෙස ජලය පෙවීම ප්‍රසිද්ධය. 


මේ අනුව වෛද්‍යවරයා නැවතත් පොලිසිය අමතා උපදෙස් දෙමින් දසුන් මේ තරම් වතුර බිව්වේ ඇයිද යන්න ගැන සොයා බලන්නැයි නියෝග කළේය. ඒ සම්බන්ධයෙන් දසුන්ගේ සුළු පියා පවසා තිබුණේ පිළිගත හැකි කරුණකි. එනම් දසුන්ට කැස්සට දුන් බෙහෙත් ඔහු අප්‍රිය කළ නිසා ඔහුට බලෙන් පෙවීමට සිදුවූ බවත් තිත්ත යන්න පුළුවන් තරම් වතුර බොන්නැයි තමන් බලකර සිටි බවත්ය. 
මී ළගට වෛද්‍යවරයා දසුන්ගෙන් ලබාගත් මෘදු පටක කොටස් අන්වීක්ෂීය පරීක්ෂාවට ලක්කළේය. එහිදී එම පටක ආශ්‍රිතව හිමෝසිඩෙරින් නම් සංඝටකය පවතින බව හඳුනාගත හැකි විය. හිමෝසිඩෙරින් නිපදවෙන්නේ රුධිර නාළවලින් රුධිරය පිටතට වහනය වීමෙන් එහි ඇති හිමෝග්ලොබින් බිඳීයාම නිසාය. එසේම එය සිදුවීමට රුධිරය වහනය වී දින තුනක කාලයක් ගත විය යුතුය. දසුන් මියයන විට ඔහුට පහරදීම සිදුකර දින තුනකට වැඩි කාලයක් ගතව ඇති බව මෙයින් පැහැදිලි විය. 


වෛද්‍යවරයා දසුන්ගේ අක්ෂි තරලය පරීක්ෂා කළේය. අක්ෂි තරලය හැම විටම රුධිරය සමග රසායනික වශයෙන් සමතුලිත වේ. ඒ නිසා රුධිරයේ පවතින යම් යම් සංඝටක අක්ෂි තරලයෙන්ද දක්නට හැකිය. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මියගිය පසු රුධිරයේ සෛල බිඳ වැටීම සිදුවිය හැකි අතර ඇතැම් විට ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන් රුධිරයට එකතුවීමට ද හැකිය. මේ නිසා රුධිර සාම්පල මගින් කරන පරීක්ෂාවන් ඇතැම් තත්ත්වයන් හඳුනාගැනීමට එතරම් විශ්වාසදායි නොවේ. එහෙත් අක්ෂිගෝලය තුළ පිහිටීම නිසා අක්ෂි තරලය වෙනස්කම්වලට ලක්වන්නේ ඉතා සෙමිනි. ඒ නිසා පුද්ගලයෙක් මිය ගොස් දින කීපයකට පසුව වුවද අක්ෂි තරලය පරීක්ෂා කිරීමෙන් වැදගත් රහස් රැසක් හෙළිදරව් කරගත හැකිය. 


අක්ෂි තරලයේ සෝඩියම් පොටෑසියම් සහ ක්ලෝරයිඩ් අයන ක්‍රියැටනීන් හා ග්ලූකෝස් සහ කීටෝන වැනි සංඝටක මෙසේ අඩංගු වේ. දසුන්ගේ අක්ෂි තරලයේ සෝඩියම් හා පොටෑසියම් අයන අඩංගු වූයේ ඉතාමත් අඩු මට්ටමකිනි. මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ අධික ලෙස ජලය ශරීර ගතවීමෙනි. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර් හයක්වත් පානය කරන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. එහෙත් ඒ ප්‍රමාණය පානය කරන්නේද කලාතුරකින් පුද්ගලයෙකි. සෛලවල ජීවය පවත්වාගෙන යාමට, පෝෂ්‍ය කොටස් රුධිරයට අවශෝෂණය කිරීමට, රසායනික පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි ලෙස පවත්වාගෙන යාමට ජලය අත්‍යවශ්‍ය සංඝටකයකි. සාමාන්‍ය මිනිස් සිරුරේ බරෙන් සියයට හැටක් පමණ ජලය පවතී. ඒ අනුව සෛලවල තුනෙන් දෙකක් පමණ පවතින්නේ ජලයයි. 


දසුන්ගේ අක්ෂි තරලයේ මේ ප්‍රමාණයටත් වඩා ජලය අඩංගු වූයේ නම් එය සිදුවිය හැක්කේ කෙසේද? අධික ලෙස ශරීරයට ජලය එකතු විය හැකි ක්‍රම දෙකකි. අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නේ නම් ඇතැම් විට ඔහු කිසිම හේතුවක් නැතිව ජලය පානය කරයි. එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් ජලය පෙවිය යුතුය. ජලය අධික ලෙස ශරීර ගතවීම සිරුරට විෂ විය හැකිය. බාහිර තුවාල කිසිවක් නොකර වධ හිංසා පැමිණවීමේ ක්‍රමයක් ලෙස ජලය පෙවීම ප්‍රසිද්ධය. 


මේ අනුව වෛද්‍යවරයා නැවතත් පොලිසිය අමතා උපදෙස් දෙමින් දසුන් මේ තරම් වතුර බිව්වේ ඇයිද යන්න ගැන සොයා බලන්නැයි නියෝග කළේය. ඒ සම්බන්ධයෙන් දසුන්ගේ සුළු පියා පවසා තිබුණේ පිළිගත හැකි කරුණකි. එනම් දසුන්ට කැස්සට දීපු බෙහෙත් ඔහු අප්‍රිය කළ නිසා ඔහුට බලෙන් පෙවීමට සිදුවූ බවත් තිත්ත යන්න පුළුවන් තරම් වතුර බොන්නැයි තමන් බලකර සිටි බවත්ය. 


මී ළඟට වෛද්‍යවරයා දසුන්ගෙන් ලබාගත් මෘදු පටක කොටස් අන්වීක්ෂීය පරික්ෂාවට ලක්කළේය. එහිදී එම පටක ආශ්‍රිතව හිමෝසිඩෙරින් නම් සංඝටකය පවතින බව හඳුනාගත හැකි විය. හිමෝසිඩෙරින් නිපදවෙන්නේ රුධිර නාළවලින් රුධිරය පිටතට වහනය වීමෙන් එහි ඇති හිමෝග්ලොබින් බිඳි යාම නිසාය. එසේම එය සිදුවීමට රුධිරය වහනය වී දින තුනක කාලයක් ගත විය යුතුය. දසුන් මියයන විට ඔහුට පහරදීම සිදුකර දින තුනකට වැඩි කාලයක් ගතව ඇති බව මෙයින් පැහැදිලි විය.

 
එසේ නම් ඔහුගේ නිව්මෝනියා තත්ත්වය ඇති වූයේ කෙසේද? සුළු පියා කිසියම් හේතුවක් නිසා දසුන්ට අධික ලෙස මොට ආයුධයකින් පහර දී තිබේ. මෙයින් දසුන් දැඩි මානසික ආතතියකට පත්වන්නට ඇත. එයින් ඔහුගේ සිරුරේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය වෙනස්වීමකට ලක්වනු ඇත. ඒ තත්ත්වය නිසා ඔහුට නිව්මෝනියාව වැලඳිය හැකිය. එය කැස්සක් ලෙස පිටතට පෙන්නුම් කළ පසු ඔහුට බෙහෙත් ලබාදෙන්නටද ඇත. බෙහෙත් බොන්න බැහැයි බල කරමින් ඔහුට පහර දෙන්නට ඇත. එසේම බෙහෙත් ලබා දී අධික ලෙස ජලය පානය කරන්නට සලස්වන්නටද ඇත. එය සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලිය බිඳ වැටුණ අයෙකුගේ සිරුරට විෂ වීම පහසුය. ඒ අනුව තවදුරටත් දසුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය බිඳ වැටී සිරුර අකර්මන්‍ය කෙරේ. ඔහු සිහිසුන් වන්නේ මේ තත්ත්වය දරාගැනිීමට නොහැකිවය. එහෙත් මේ සියල්ලේ සාමුහික ක්‍රියාවලියක් ලෙස දසුන්ට මරණය ළඟා විය. 


මේ අනුව මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීම, නිව්මෝනියාව සහ ජලය අධික ලෙස ශරිරගත වීම ලෙස අධිකරණ වෛද්‍යවරයා තීරණය කළ අතර ඒ තත්ත්වය අධිකරණය හමුවේ පැහැදිලි කිරීමෙන් පසු දසුන්ගේ සුළු පියා දසුන්ට කෲර ලෙස සැලකීම සහ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබිණ. දීර්ඝ නඩු විභාගයකින් පසු දසුන්ගේ සුළු පියා සියලු චෝදනාවලට වරදකරු විය. 

 

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න) 

 


මුදිතා දයානන්ද