IMG-LOGO

අමෘතය සොයා සයුර කැලඹූ දෙවිවරු

භාරත දේව සභාව

දෙවිවරු, මිනිසුන්ට හපන්ය. මිනිස් ලෝකයේ මෙන්ම දිව්‍ය ලෝකයේද ගැටුම්, යුද ගැටුම්, පැහැර ගැනීම්, බෙලි කැපීම්, බල ලෝබය, ​ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම්, ශාප කිරීම්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම් වැනි දුර්ගුණ බොහෝය. අල්පේශාක්‍යයන්ට හැමවිටම සිදුවෙන්නේ මහේශාක්‍යයන්ගේ අහංකාරකම් බලන්නටය. ලස්සන දෙවඟනන්ට දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම වැටීම පමණක් නොව, ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරන්නටද සිදුවෙයි.   

දේව සභාව කවරක් වුවත් එනම් ග්‍රීසිය, භාරතය, ඊජිප්තුව, රෝමය, සුමේරියාව, ඉන්කාව වැනි කුමන සංස්කෘතියක වුවත් හැම දිව්‍ය ලෝකයකම තිබෙන්නේ එක වගේම කතන්දරය. වෙනස් වන්නේ ඒ ඒ දෙවිවරුන්ගේත් දේවතාවියන්ගේත් නම් ගම් වාසගම් පමණි.  
භාරතයේ එහෙමත් නැත්නම් හින්දු මිත්‍යා කතා සාහිත්‍යයේ සඳහන් වෙන මෙම කතාව ඉන්ද්‍ර දෙවියන්ට ලක්ෂ්මිය සරණපාවා ගන්නට සිදු වූ ආකාරය විස්තර කෙරෙන්නකි. එහි මූලාරම්භය සිදුවෙන්නේ ඉන්ද්‍ර දෙවියන්ට ඉසිවර දුර්වාස ශාප කිරීමෙනි.  

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය

ඒ මොහොතේ ඉන්ද්‍රගේ දෙනෙත කඳුළින් පිරී තිබිණි. ඇසට දරාගන්නට බැරි වූ එකී කදුළක් ගිලිහී බ්‍රහ්මගේ දකුණු පයේ පිටිපතුල මතට වැටුණි.  
බ්‍රහ්ම හිත සංසුන් කරගත්තේය. ඉන්ද්‍ර තමන් කළ වරද ගැන වුවමනාවටත් වඩා කම්පාවෙන බව බ්‍රහ්ම තේරුම් ගත්තේය. ඔහු ඉන්ද්‍රගේ හිස මත දෝතම තැබුවේය.  


“සංසුන් වෙන්න”  


“ඉසිවර දුර්වාස ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි” මා කොතෙක් ඇවිටිලි කර සමාව ඉල්ලුවත් ඔහු සමාව දුන්නේ නෑ. නමුත් ඔහු හා කතාකර මා වෙත එල්ල කළ ශාපය ඉවත්කර ගැනීමට ඔබට පුළුවනි පියාණෙනි” ඉන්ද්‍ර යළි කීවේය.  


එහෙත් බ්‍රහ්ම කල්පනාවට වැටුණා මිස කිසිවක් ප්‍රකාශ කළේ නැත. මේ වනවිට ඉන්ද්‍ර, මුළු ජීවිත කාලයටම ප්‍රමාණවත් වන තරමේ පාඩමක් ඉගෙනගෙන සිටින බව ඔහු තේරුම් ගත්තේය.  
“දුර්වාස කියන්නෙ හිතුවොත් හිතුණු දේම කරන නපුරෙක්. එයා එක්ක කතා කරල ප්‍රශ්න විසඳගන්න අමාරුයි. ශාපය ඉවත් කරගන්න කියලා දුර්වාසට කිව්වට වැඩක් වෙන එකක් නැහැ. ඔහුගේ කේන්තිය ලේසියෙන් ඈත්වෙන්නේ නෑ”  


බ්‍රහ්ම තමන්ටම කියාගත්තේය. තම හිස දෙපසට සැලූ, බ්‍රහ්ම යළිත් කල්පනාවට වැටුණේය.   


“මේ ප්‍රශ්නෙට විසඳුම දුර්වාස එක්ක කතාබහ කිරීම නෙමෙයි. මේකට වෙනින් ක්‍රමයක් තියෙන්න ඕනෑ”  


ඉන්ද්‍රගෙ උද්දච්චකම පිළිබඳව හිතේ උපන් කේන්තිය දැන් බ්‍රහ්මගේ හිතෙන් පලාගොසිනි. ඔහුගේ ක්‍රියාව නිසා විපාක විඳින්නට සිදුව ඇත්තේ සමස්ථ දේව ලෝකයටමය. දෙවිවරුන් යනු ලෝකයේ ස්වභාවය පාලනය කරන්නවුන්ය. අව්ව, වැස්ස, මුහුද, සුළඟ, ගිනිකඳු ආදී වූ සියල්ල පාලනය කරන්නේ දෙවිවරුය. එහෙත් දැන් දෙවිවරුන්ගේ බලය ගිලිහී ගොසිනි. ඒ වෙනුවට දිව්‍ය ලෝකයේ බලය අසුරයන් හිමිකර ගෙන ඇත.  


මේ කටයුතු ඔවුන් අතින් කෙසේ පාලනය වනු ඇද්දැයි බ්‍රහ්මට සිතුණේ බයකි. ඔහු ලෝකය මැවූ බව සැබෑ වූවත්, මැවූ ලෝකය වෙනස් කිරීමේ හැකියාවක් බ්‍රහ්මට තිබුණේ නැත.  


බලයෙන් පහවුණු ඉන්ද්‍ර නැවත වතාවක් දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා බවට පත්කරන්නේ කෙසේදැයි යන ගැටලුවට විසඳුමක් බ්‍රහ්ම සතුව නොතිබිණි.  


අනික් අතට ඒ වෙනුවෙන් වැය කරන්නට තරම් කාලයක්ද බ්‍රහ්මට නොවුණි. එබැවින් මේ ගැටලුව විසඳිය හැකි තැනැත්තා කවුදැයි බ්‍රහ්ම කල්පනා කළේය.  


බ්‍රහ්ම තමන් ඉදිරිපිට පෙළගැසී සිටින දේව සභාව දෙස බලා සිටියේය.  


“අපිට යන්න සිද්ධ වෙනවා දරුවනේ වෛකුණ්ටයට.. මට විශ්වාසයි විෂ්ණු ළඟ මේ ගැටලුවට විසඳුමක් තියෙනවා” ඉන්ද්‍ර්‍ කීවේ මද සිනාවකිනි.  


තද නිල් පැහැති සිරුරක් හිමි විෂ්ණු දේව සභාවේ සිටින විශ්මිත ඥාන ශක්තියකින් හෙබි දෙවියාය. දෙව් ලොව කුමන ප්‍රශ්නයක් මතුවුවද ඒ හැම ගැටලුවකටම කදිම විසඳුමක් දෙන්නට විෂ්ණු සමත් වේ.   


බ්‍රහ්ම ගේ උපදෙස් පරිදි, ඉන්ද්‍ර ඇතුළු පිරිවර විෂ්ණු දෙවියන් බැහැ දකින්නට වෛකුණ්ඨයට ගියෝය.   


විෂ්ණු දෙවියන් හමුවට ගිය ඉන්ද්‍ර දණ බිම ඇණ විෂ්ණු දෙවියන්ට ආචාර කළේය.   


“ඇයි කුමක්ද ගැටලුව?”   


තම අසුන මත හරි බරි ගැහුණු විෂ්ණු විමසුවේය.   


“සිදුව ඇති සියල්ල ඔබ මැනවින් දන්නවා. එබැවින් මාව තවදුරටත් පරීක්ෂාවට ලක්කිරීමෙන්වත් මා ලජ්ජාවට පත්කිරීමෙන්වත් ඵලක් නෑ. කරුණාකර මගේ ගැටලුවට විසඳුමක් දෙන්න උතුමාණෙනි.”   


ඉන්ද්‍ර කීවේ විෂ්ණුගේ දෙපා ස්පර්ශ කරමිනි.   


මොහොතක් ඉන්ද්‍ර දෙස බලා සිටි විෂ්ණු ඔහු සතු තෙවැනි ඥානයකින් බ්‍රහ්ම දෙස බැලුවේය.   


“මා කුමක්ද කළ යුත්තේ?”   


“ඔහුට හොඳින් පාඩම් ඉගෙන ගන්නට ඉඩ දෙන්න.”   


බ්‍රහ්ම පිළිතුරු දුන්නේය.   


“හොඳයි.”   


විෂ්ණු පැවසුවේය.   


යළි ඉන්ද්‍ර දෙසට හැරුණු විෂ්ණු ඔහුගේ තියුණු දෙනෙතින් බලා සිටියේය.   


“මට ඔබට උපකාර කිරීමට පුළුවන් කමක් නෑ... ඔබට පිහිට විය හැක්කේ අසුරයන්ට පමණයි.”   


ඉන්ද්‍රගේ ඇස් උඩ ගියේය. විෂ්ණුගෙන් මෙවැනි පිළිතුරක් ඔහු බලාපොරොත්තු වූයේම නැත. සියලු බලාපොරොත්තු සුන්වූ කලෙක මෙන් ඔහුගේ හිත කඩා වැටුණි. ඉන්ද්‍ර, විෂ්ණු දෙස බලාසිටියේ පුදුමයට පත්වය.   


ඉන්ද්‍රගේ පසුපසට වී සිටි අනෙක් දෙවිවරුන්ද මේ පිළිතුරෙන් පුදුමයට පත්වූහ. එකිනෙකාගේ මුහුණු දෙස විමතියෙන් බැලූ ඔව්හු අවසානයේදී විෂ්ණු ළඟ නෙත් නතර කළහ.   
“උතුමාණනි.”   


අග්නි විශ්මිතව පැවසුවේය.   


විෂ්ණු සිනාවකින් යුතුව අග්නි දෙස බැලුවේය.   


“ඔබ දන්නවා නේද අපේ සාගරය තුළ සැඟව පවතින විශ්මිත දේ.”   


සියලුම දෙවිවරු ඔවුන්ගේ හිස් සෙළවූහ. ඒ කාලයේ පැවතියේ අතිශය ගැඹුරු සාගරයකි. මේ සාගරය කොයිතරම් ගැඹුරුද යත් සාගරයේ රහස් කිසිවක් ගැන කිසිවෙක් දැන සිටියේ නැත. සයුර ගවේෂණය කර ඒ රහස් හෙළිදරව් කරගන්නට සමතෙක් සිටියේද නැත. ඒ නිසා එකදු දෙවියෙක් වත් කටක් ඇර පිළිතුරක් දුන්නේ නැත.   


විෂ්ණුම පිළිතුර දුන්නේය. “මං හිතනවා ඔබේ පැතුම් ඉටුකළ හැක්කේ එයට පමණයි කියා.”  


වායු දෙවියාගේ දෙනෙත් පුළුල්ව ඇරිණි.   


“උතුමාණනි ඔබ පවසන්නේ අමෘතය ගැනද?”   


හැම දෙවියකුගේම ඇස් ඇරී, කටවල් පළල් විය.   


අමෘතය යනු අප්‍රමාණ බලයක් සහිත පානයකි. අමෘතය තොල ගෑ පසු ඒ පුද්ගලයා සදාකාලීකව තරුණව ජීවත්වෙයි. මරණය පරාද වෙයි. එය ඒ තරමටම බලසම්පන්න පානයකි.   
අග්නි වරුණ දෙස බැලුවේය. ඔහු තම විඩාපත් දෑසින් විෂ්ණු දෙස බලා සිටියේය. එහෙත් ඉන්ද්‍ර තුෂ්නිම්භූතව සිටියේ නැත.   


“නමුත් උතුමාණෙනි අමෘතය තිබෙන්නේ සාගරයේ ගැඹුරු පතුලේ. අපි ඒ සඳහා අසුරයන්ගේ උදව් ලබාගත යුත්තේ ඇයි? කරුණාකර පහදාදෙන්න.”   


විෂ්ණු සිය අත් දෙක කුස හරහා බැඳගත්තේය. ඉන්ද්‍රගේ නායකත්වය, සංවිධාන හැකියාව හා තීක්ෂණ බුද්ධිය පිළිබඳව විෂ්ණුට පුදුම සිතිණි.   


“ඉන්ද්‍ර.” විෂ්ණු පැවසුවේය.


“ඔබ දන්නවා අමෘතය තිබෙන තැන. ඒ ගැඹුරු සාගර පතුලෙ. එබැවින් අමෘතය මතුකර ගැනීමට නම් සාගර පතුල කැලඹිය යුතු වෙනවා. එසේ කළ හැක්කේ කුමකින්ද? මන්දර පර්වතයෙන්ම පමණයි. ඒ නිසා ඔබට සිදුවෙනවා මන්දර පව්ව සාගරය වෙත රැගෙන යන්නට. නමුත් මන්දර පව්ව තිබෙන්නේ අසුරයන් ළඟයි.”   


ඉන්ද්‍ර සියල්ල මැනවින් තේරුම් ගත්තේය. මන්දර පව්ව කැඩීමට අසුරයන්ගේ සහයෝගය අත්‍යවශ්‍යය. ඊළඟට ඔහුට මතුවූයේ වෙනත් ගැටලුවකි. ඉන්ද්‍ර විෂ්ණු දෙස බැලුවේය.   


“උතුමාණෙනි මන්දර පව්ව කඩාගන්නටත් ඊට පසුව එය සාගරය වෙත රැගෙන යෑමටත් විසල් කඹයක් අවශ්‍යයි. නමුත් කෝ අපට ශක්තිමත් කඹයක්.”   


“ඔබ නිවැරැදියි.” විෂ්ණු සිනාසුණේය.   


“ඔබට සිදුවෙනවා වාසුකීගේ සහාය ලබාගැනීමට. ඔහු තමයි සර්පයන්ට අධිපති දෙවියා. අමෘතයෙන් කොටසක් ඔහුට දෙන්නට පොරොන්දු වුවහොත් අනිවාර්යයෙන්ම ඔහු ඔබට උදව් කරයි.”   
ඉන්ද්‍ර හිස සැලුවේය.   


එහෙත් තව එකම එක ප්‍රශ්නයක් ඉතිරිව තිබේ. ඒ ප්‍රශ්නයට විසඳුම විෂ්ණු සතුව ඇතැයි සිතූ බැවින් ඉන්ද්‍ර නිහඬව සිටියේය.   


එහෙත් වරුණ එසේ සිතුවේ නැත. ඔහු වහා විෂ්ණුගෙන් මෙසේ ඇසුවේය. 

 
“උතුමාණෙනි අපි අසුරයන්ගේ සහාය ලබාගතහොත් ඔවුන්ටත් අමෘතයෙන් කොටසක් දීමට සිදුවෙනවා නේද? ඔවුන්ට අමෘතය නොදී සිටින්නේ කෙසේද?”   


සියලු දෙවිවරුන්ගේ ඇස් නතරවූයේ විෂ්ණු අසලය.   


විෂ්ණු කළේ දඟකාර සිනාවකින් මුව සරසා ගැනීමය.   


“මම ඒ ගැන බලාගන්නම්” විෂ්ණු කීවේය.   


තවදුරටත් ඒ ගැන තර්ක කිරීමට හෝ වෙහෙසවීමට අවශ්‍ය නොවේ. විෂ්ණු ගැන අල්පමාත්‍ර සැකයක් වත් තබා ගැනීමටද අවශ්‍ය නොවේ. ඔහුගේ තීක්ෂණ බුද්ධිය මගින් ඒ ගැටළුවට පිළිතුරු ලබාදෙනු නියතය. එබැවින් සියලු දෙවිවරු නිහඬව සිටියහ.   


විෂ්ණු සියලු දෙවිවරුන්ගේ අලස කම්මැලි මළානික මුහුණු දෙස බැලුවේය.   


“ඔබ තවදුරටත් අලස මළානික බව ගැන සිතීම අනවශ්‍යයි. ඉතා කඩිසර ලෙස ක්‍රියාකර අමෘතය ගැනීමට වෙහෙස විය යුතුයි. මට දුර්වාස ඉසිවරයාගේ ශාපය බලරහිත කිරීමට පුළුවන්කමක් නැති බව සත්‍යයක්. නමුත් මට පුළුවන් එහි බලය ප්‍රමාද කිරීමට. ඔබ අමෘතය සොයාගන්නා තෙක් එම ශාපය ක්‍රියාත්මක වන්නේ ඉතා හෙමින්.”   


සියලු දෙවිවරුන්ගේ මුහුණු සිනාවලින් ආලෝකමත් විය. ඔවුහු එක හඬින් විෂ්ණුට ස්තුති කළහ.   


“උතුමාණනි ඔබට ස්තුතියි.”   


ඉන්ද්‍ර ඇතුළු සියලු දෙවිවරු තම අසුන් වලින් නැගී සිටියේ පැමිණියාට වඩා කඩිසරවය. ඔවුහු යන්නට සැරසුණහ. 

 
“මතක ඇතිව වාසුකිගෙ වලිගය පමණක් භාවිතා කරන්න. කිසිවිටකත් ඔහුගේ හිස පෙදෙස යොදාගන්න එපා.”   


විෂ්ණු යළිදු කීවේය.   


ඊළඟට කළ යුතු වූයේ අසුරයන්ගේ සහාය ලබා ගැනීමය. ඒ සඳහා අසුර රජු වන බාලි හමුවීම අත්‍යවශ්‍ය වූයෙන් ඉන්ද්‍ර, අග්නි හා වායු අසුර ලෝකයට යන්නට තීරණය කළහ.   
ඔවුන් අසුර ලෝකයට ගියේ ආයුධ රහිතවය.   


බාලි රජුගේ ආරක්ෂාව බාර අමාත්‍යවරයා හමුවූ දේව පිරිස තම අවශ්‍යතාව පැවසූහ.   


ඒ මොහොතේ ඔහුගේ සිතෙහි හටගත් ක්ෂණික සිතිවිල්ල වූයේ දෙවිවරු තිදෙනා මරා දැමිය යුතු බවය. ඔහුට පෙනුණේ මොවුන් තම සතුරන් බවය. විශේෂයෙන්ම දෙව්ලොව බලය තමන් සතුකරගෙන සිටින බැවින් දැන් දෙවිවරු යනු පොදු සතුරන්ය. ඔහු බාලි රජු අමතා තම අදහස පැවසුවේය.   


එහෙත් බාලි රජු ඊට එකඟවූයේ නැත.   


“දෙවිවරුන් මා වෙත එවන්න.”   


බාලි නියෝග කළේය.   


බාලි අබියස පෙනීසිටි ඉන්ද්‍ර අග්නි හා වායු තිදෙනා දෙස බාලි බැලුවේ විමසිල්ලෙනි. මොවුන්ගේ පැමිණීම ඔහුට විමතියට කරුණක් වූ බැවිනි.   


“අපි අදහස් කළා අමෘතය ලබාගැනීමට.. ඒ කටයුත්ත සඳහා ඔබේ සහාය ලබාගැනීමටයි අප පැමිණියේ..... හැබැයි ඔබ ඊට සහාය දීමට අකමැති නම් අප තනියම හෝ එය කරනවා.”   


ඉන්ද්‍ර සෘජු හඬින් පැවසුවේය.   


“අමෘතය?” 

 
බාලි මිමිනුවේය.   


අමෘතය නැමැති බලසම්පන්න පානයක් සාගර පතුලේ තිබෙන බව අසා තිබුණු නමුත් එය ගත හැකි දෙයක් යැයි බාලි දැන සිටියේ නැත. සාගරය කලඹා එය ලබාගන්නට හැකිනම් ඊට දායක වීම සුදුසුයැයි බාලිට සිතිණි. 

 
“නෑ ඊට අපේ උදව් ඔබට ලැබෙන්නේ නෑ.”   


ආරක්ෂක ඇමැතිවරයා සෘජු හඬින් පැවසුවේය.   


එහෙත් බාලි සිතා තිබුණේ මේ සඳහා තම දායකත්වය ලබාදීමටය.   


“නිහඬ​ෙවන්න.”   


ඔහු තම ඇමැතිට පැවසුවේය.   


ඉන්ද්‍ර දෙසට හැරුණු බාලි ඉතාම මෘදු හඬින් කීවේ, තම සහාය ලබාදෙන බවය.   


දෙවිවරු සතුටට පත්වූහ. තම සැලැස්මේ ප්‍රථම පියවර සාර්ථක වී තිබේ.   


“ස්තුතියි අප නැවත පැමිණෙන්නම්.”


ඉන්ද්‍ර, බාලිට පැවසුවේය.   


අසුර භවනෙන් නික්මුණු දෙවිවරු ඊළඟට ගියේ වාසුකි හමුවීමටය. සියලු සර්පයන්ට අධිපති වූ වාසුකි හමුවී මේ බැරෑරුම් කාර්යයට ඔහුගේ සහාය ලබාගැනීම කළ යුතුමය.   


“වාසුකි.”   


ඉන්ද්‍ර තම මිතුරා හමුවේ පැවසුවේය.   


“අපි අමෘතය ගැනීමට අදහස් කර සිටිනවා. ඒ කටයුත්තට ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා.” 

 
”එය බොහෝ බැරෑරුම් කටයුත්තක් නේද?”   


වාසුකි කල්පනාකාරීව විමසුවේය.   


“නිවැරැදියි. නමුත් එය කළ හැක්කක්. අපි අමෘතය ලබාගත් පසුව ඔබේ කොටස ඔබට ලබාදෙනවා.”   


ඉන්ද්‍ර කීවේය.   


“හොඳයි එසේ නම් මගේ උපකාරය ඔබට ලබාදිය හැකියි.”   


වාසුකී ගේ වදන් ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරුන්ගේ සතුටට හේතුවිය. ඔවුන් නික්ම ගියේ නුදුරු දිනෙක තම කටයුත්ත කරන අදහසිනි.   


දින කිහිපයකට පසුව අමෘතය ලබාගන්නා සුන්දර දවස උදාවිය. සුර අසුර දෙපිරිසම මන්දර පව්ව අසලට ගියෝය. වාසුකී ගේ දිගු වලිගයෙන් මන්දර පව්ව ගැට ගැසූ පිරිස උගේ අනෙක් කෙළවරින් අදින්නට පටන්ගත්හ. තවත් පිරිසක් මන්දර පව්ව තල්ලු කරන්නට වූහ.   


එහෙත් මන්දර පව්ව කඩාගැනීම පහසු කටයුත්තක් වූයේ නැත. දෙපිරිස උකටලී වූයේවත් බලාපොරොත්තු සිඳ ගත්තේවත් නැත. නැවත නැවත උත්සාහ කර කෙසේ හෝ මන්දර පව්ව එහි පත්ලෙන් කඩාගත්හ.   


ඉන්ද්‍ර සතුටට පත්ව අත්පුඩි ගැසුවේය.   


වඩාත් අමාරු කටයුත්ත වූයේ මන්දර පව්ව සාගරය වෙත රැගෙන යෑමය. සුර අසුර දෙපිරිසම මන්දර පව්ව ඔසොවා ගත් අතර අඩිය අඩිය ඉදිරියට ගියෝය. එහෙත් එහි බර අසීමිත වූයෙන් මන්දර පව්ව සාගරය කරා ගෙනයෑම මේ විදිහට කිරීම අසීරු වූයේය.   


ඔසවා ගත් මන්දර පව්ව සුළු දුරකදීම බිම වැටුණේ එහි බර සුර අසුර දෙපිරිසට දරාගන්නට බැරිවූ බැවිනි. මන්දර පව්වට සුරයන්ද අසුරයන්ද බොහෝ ගණනක් යටවූහ.   
සිදුවූයේ ව්‍යසනයකි. මේ තත්ත්වය පිළිබඳව වඩාත්ම කණගාටුවට පත්වූයේ ඉන්ද්‍රය.   


“දැන් අපි මොකද කරන්නෙ හුඟාක් දෙවිවරුන් මේ පව්වට යටවෙලා. ඒ අය බේරගන්නනම් මන්දර පව්ව ඉක්මනටම උස්සන්න වෙනවා.”   
අග්නි පැමිණ ඉන්ද්‍රගේ කණට කෙඳිරුවේය.   


“ඉතින් අපි මොකද කරන්නෙ මේ විදිහට මේ පව්ව සාගරයට ගෙනියන්න බැහැ අග්නි.”   


ඉන්ද්‍ර කීවේ කම්පාවෙනි.   


පසෙක වූ තුරුමුලක් මත වාඩිවූ ඉන්ද්‍ර තදින් හුස්මක් ගත්තේය. ඔහු සිටියේ නිසැකවම විඩාපත්වය. සිරුරට දැනෙන වෙහෙසටත් වඩා ඔහුට දැනුණේ මානසික වෙහෙසකි.   


ඔහු අහස දෙස බැලුවේය. 

 
”උතුමාණෙනි මට උදව් කරන්න අප කළ යුත්තේ කුමක්දැයි අපට හිතාගන්නටත් බැහැ. මන්දර පව්ව සාගරය වෙත රැගෙන යෑම සිහිනයක් පමණයි.”   


ඉන්ද්‍ර අහසට දෑත් දිගු කරගෙන ඇස් පියාගෙන කන්නලව් කරන අතරතුර ඔහුට දැනුණේ ඉමිහිරි සුවඳකි. ඒ සුවඳ කොයි තරම් මිහිරි වීද යත් ඉන්ද්‍රට දෙනෙත් පියාගෙන සිටීම පවා දුෂ්කර විය. ඔහු දෙනෙත් ඇර බලනවිට ඔහු ළඟම සිටියේ විෂ්ණුය. විෂ්ණුගේ මුවඟ වූයේ අපූරු සිනාවකි.   


“උතුමාණෙනි.”   


ඉන්ද්‍ර වහා විෂ්ණුගේ දෙපා මුල වැඳ වැටුණේය.   


විෂ්ණු එක් අතකින් මන්දර පව්ව ඔසොවාගත් අතර එය ඔහුගේ නිල ගමන් රථය වූ ගරුඬ පක්ෂියාගේ පිට මත තැබුවේය.   


ඉන්ද්‍ර විෂ්ණුගේ පාමුලින් නැගී සිටි විට ඔහු දුටුවේ අර තරම් බර මන්දර පව්ව ගරුඬ පක්ෂියාගේ පිට මත තබා තිබෙන අයුරුය.   


ඉන්ද්‍ර විශ්මිත දෑසින් විෂ්ණු දෙස බැලුවේය. විෂ්ණු සිනාසුණා මිස කිසිම වචනයක් ප්‍රකාශ කළේ නැත.   


ඉන්ද්‍ර වහා දිවගියේ තම දෙවිවරුන් වෙතය. මන්දර පව්වට යටව සිටි දෙවිවරුන් මිය යන්නට ඇතැයි ඔහු සිටියේ කම්පාවෙනි.   


එහෙත් විෂ්ණු කළේ කිසියම් මන්ත්‍රයක් ජප කිරීමය. ඒ සමගම මන්දර පව්වට යටව සිටි දෙවිවරු යළි ජීවය ලදහ.   


ඉන්ද්‍ර වහා ගොස් වායු වැළඳ ගත්තේය.   


“වායු මගේ මිත්‍රයා ඔබ ජීවතුන් අතර   


ඉන්ද්‍ර විමසුවේය.”   


“කුමක්ද සිදුවුණේ.”   


වායු ඇසුවේ පුදුමයෙනි. 

 
තමන් මන්දර පව්වට යටවූ බව වායු දැන නොසිටියේය.   


“මට මතක මන්දර පව්ව ඔසොවාගෙන ගිය බව පමණයි. ඊට පස්සෙ කුමක්ද සිදුවුණේ?”   


මන්දර පව්වට යටවූ අසුරයන්ද සිටියේ ජීවතුන් අතරය. එබැවින් විෂ්ණු වෙත බාලි රජුගේ ස්තුතියද හිමිවිය.   


ඉන්ද්‍ර වායු හමුවේ දෙවිවරුනට සිදුවූ දේ පැවසුවේය. සියලු දෙවිවරුත් අසුරයනුත් විෂ්ණුගේ පාමුල වැටී ඔහුගේ දෙපා ස්පර්ශ කළහ.   


“ඔබට ස්තුතියි.”   


සියල්ලන්ගේම ස්තුතිය පිළිගත් විෂ්ණු ගරුඬ පක්ෂියාගේ පිට මතට නැගී මන්දර පව්වත් රැගෙන සාගරය වෙත ගියේය.   


ප්‍රීති ප්‍රමෝදයෙන් උදම් වූ සුර අසුර දෙපිරිසම සාගරය කරා යන ගමන ආරම්භ කළහ.   

 


ලබන සතියේ සයුරු පත්ලෙන් මතුවූ ලක්ෂ්මි   

 

 

 

 


ශාන්ත කුමාර විතාන  

 

 



අදහස් (0)

අමෘතය සොයා සයුර කැලඹූ දෙවිවරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 53 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 457 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 900 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site