බස්නාහිර පළාතේ ජනගහණයෙන් 80%කට වැඩි පිරිසකට පානීය ජලය සපයන කැලණි ගඟේ ජලය දැඩි ලෙස දූෂණයට ලක්ව ඇතැයි ද එම නිසා එම ගංගාවේ පවිත්‍රකරණය කිරීමේ වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

කැළිකසළ, රසායන ද්‍රව්‍ය යනාදිය ගංගා ජලයට එකතු වීමෙන් එලෙස ජලය අපවිත්‍ර වී තිබේ. කැලණි ගඟ අවට කර්මාන්තශාලා 10,511ක් තිබෙන අතර අපද්‍රව්‍ය සහ නිවෙස්වලින් බැහැර කරන කුණු කසළ නිසා ජලය දූෂණය වීම වේගයෙන් ඉහළ ගොස් තිබේ. පරිසර විගණනයකින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

සීතාවක අපනයන සැකැසුම් කලාපය වසර අටක් මුළුල්ලේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැති බව ද එම විගණනයෙන් අනාවරණය වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන ලක්ෂ 24කට ජලය සැපැයීම හා මුදාහැරීම සඳහා කැලණි ගංගාවේ ස්ථාන දෙකකින් වේලි බැඳ ඇති අතර අඹතලේ සහ පට්ටිවල පෝම්පාගාර ඉදිකර තිබේ.

කැලණි ගංගාවෙන් පාන වර්ග, ඇඟලුම්, වානේ සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ටයර් සහ පොහොර කර්මාන්ත මෙන්ම තවත් කර්මාන්ත සඳහා ද ජලය සපයයි. කර්මාන්තශාලා පිහිටා ඇත්තේ ද මෝය ආශ්‍රිතවය. කෘෂිකාර්මික කටයුතු සඳහා ද කැලණි ගංගාවේ ජලය භාවිත කරයි.

සීතාවක අපනයන සැකැසුම් කලාපයේ ඇඟලුම්, ආහාර සහ ප්ලාස්ටික් ඇතුළු කර්මාන්ත 37ක් ස්ථාපිත කර තිබේ. එම කලාපයට 2010 වසර දක්වා පරිසර ආරක්ෂණ බලපත්‍ර තිබුණ ද කලාපයට අදාළ අත්‍යවශ්‍ය කොන්දේසි සැපිරීමට නොහැකි වීම නිසා මධ්‍යම පරිසර අධිකාරිය බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව විගණනය අවසන් වූ පසුගිය වසර දක්වාම සීතාවක අපනයන සැකැසුම් කලාපයේ ක්‍රියාකාරකම් සිදුව ඇත්තේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිවය.

අපනයන කලාපයේ තිබෙන කර්මාන්තශාලා 15 අපජලය ස්ථාන දෙකකට යොමු කෙරේ. ඉන් අනතුරුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජලය පවිත්‍රකරණය කර නළයක් මාර්ගයෙන් කැලණි ගඟට ජලය මුදාහරී.

ජලය දෙවැනි වරට පොම්ප කරන මධ්‍යම පවිත්‍රකරණ රැඳවුමේ අපජල ධාරිතාව ඝන මීටර 9,950කි. එහෙත් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේදී එම සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර මසකට ඝන මීටර 14,176ත් 28,102ත් අතර අගයක් ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අපජලය ප්‍රමාණවත් පරිදි පවිත්‍රකරණයට ලක්ව නැත. එමෙන්ම ජල රැඳවුම ද අලුත්වැඩියා කර නැත.
ඇතැම් කර්මාන්තශාලා ඒවා තුළ තිබෙන පවිත්‍රකරණ ජල රැඳවුම්වල ධාරිතාව ද ඉක්මවා යන තරම් අපජල මුදාහරින බව ද කිසිදු කර්මාන්තශාලාවක් ඊට පිළියම් යොදා නැති බව ද තවදුරටත් අනාවරණය වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති අතර විශේෂයෙන්ම වැහි කාලවලදී කිසිදු පවිත්‍රකරණයකට ලක් නොවී ජලය කැලණි ගඟට යන බවට ද පසුගිය ජුනි මාසයේදී එම මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

සීතාවක අපනයන සැකැසුම් කලාපයේ කර්මාන්තශාලා 60ක් තිබෙන අතර එහි අපජලය පොකුණකට ද ඉන් අනතුරුව නළයක් මාර්ගයෙන් කැලණි ගඟට ද මුදාහැරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය බියගම කලාපයේ ජල සාම්පල ගෙන පරීක්ෂා කර තිබෙන අතර ඒවායේ සම්පූර්ණ කොලිෆෝම් අන්තර්ගතය 8,90,000ක් බව එහිදී අනාවරණය වී තිබේ. අනුමත කොලිෆෝම් අන්තර්ගය 10,000කි. කොලිෆෝම් යනු සියලු මනුෂ්‍ය හා සත්ව අපද්‍රව්‍යවල ස්වභාවයෙන්ම තිබෙන බැක්ටීරියාවකි. පිරිසුදු කිරීමට ලක්කළ පොකුණුවල තිබෙන ජලයේ ද කොලිෆෝම් අන්තර්ගතය 1,00,000 ඉක්මවන බව අනාවරණය වී තිබේ.

එම කලාපයෙන් මුදා හැරෙන ජලයේ ඉකෝලි බැක්ටිරීයා අන්තර්ගතය 546,000ක් බවත් පොකුණුවල තිබෙන ජලයේ එම අන්තර්ගතය 106,000ක් බවත් තවදුරටත් අනාවරණය වී තිබේ. ඉකෝලි බැක්ටීරියාවේ සීමාව 4,000කි. ඉකෝලි යනු පරිසරයේ, ආහාරවල සහ මිනිසුන්ගේ හා සතුන්ගේ බඩවැල්වල තිබෙන බැක්ටීරියාවකි.

මේ ආකාරයෙන් කැලණි ගංගාවේ ස්ථාන රැසක ජලය දරුණු ලෙස අපවිත්‍ර වී තිබෙන අතර අඹතලේ ජලාශයේ ජලය පවිත්‍ර කිරීමට 2015 දී රුපියල් මිලියන 879ක් වියදම් කර තිබේ. 2017 වසරේදී එය රුපියල් මිලියන 929ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජලය පවිත්‍ර කිරීම සඳහා පට්ටිවිල යොදන රසායන ද්‍රව්‍ය වන ඇලම් රසායන ද්‍රව්‍යවල ප්‍රමාණ සියයට 17කින් ද ලයිම් (හුණු) සියයට 37කින් ද ක්ලෝරීන් සියයට 74කින් ද ඉහළ ගොස් තිබේ. ජලයේ අපවිත්‍ර බව ඉහළ යද්දි ඒ සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍යවල ප්‍රමාණය ද ඉහළ යන අතර ඒ සඳහා දැරීමට සිදුවන පිරිවැය ද ඉහළ යයි. එහි බර දැරීමට සිදුවන්නේ පාරිභෝගිකයන්ටය.

(සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)
 
055