(බිඟුන් මේනක ගමගේ ඡායාරූප-ඉෂාන් සංජීව)

ජාතික ආර්ථිකයට රුධිරය සපයන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ 16 වැනි සම්මේලනයේදී ඊයේ (6) පැවැසීය.

එහෙත් රජයට අය විය යුතු බදු ලබා නොදී බදු දැලෙන් රිංගා යන විශාල පිරිසක් රට තුළ සිටින්නේ යැයි කී ජනාධිපතිවරයා මේ ගැන ජනතාව අතරේ ගැඹුරු සංවාදයක් හටගෙන ඇතැයි ද සඳහන් කළේය.

නව ආදායම් බදු පනත සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හටගෙන ඇති කැළඹීම ගැන තමා දැනුම්වත් යැයි ද අලූත් අවුරුද්දෙන් පසුව සියලූ පාර්ශ්ව එකතු කරගෙන සාකච්ඡා මාර්ගයෙන් ඊට පිළිතුරු සෙවීමට රජය කටයුතු කරන්නේ යැයි ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීවේය.

ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ 16 වැනි සම්මේලනය කොළඹ, කිංග්ස්බරි හෝටලයේ පැවැති අතර විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ ආදායම් කොමසාරිස් පී.කේ.ජී. සමරතුංග මහතාට ජනාධිපතිවරයා අතින් සම්මාන තිළිණ ප‍්‍රදානයක් ද එහිදී සිදුකෙරිණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද කීය.

අපේ රටේ ජාතික ආර්ථිකයේ හදවතට රුධිරය ලබාදෙන්නේ දේශීය ආදායම් කොමසාරිස්වරුන් විසිනුයි. අපේ ආර්ථිකය ශක්තිමත් වන්නේ දේශීය ආදායම් බදු කොමසාරිස්වරුන්ගේ දැනුම, කැපවීම, ශක්තිය සහ ඊට ඇති වුවමනාව තුළ බව සියලූ දෙනාම අවිවාදයෙන් පිළිගන්නවා. ඒ නිසා එදා මෙදාතුර දීර්ඝ කාලයක් තිස්සේ මේ දෙපාර්තමේන්තුවේ සේවය කළ හා සේවය කරන සියලූ නිලධාරීන් මා සිහිපත් කරනවා. රටේ ආර්ථිකය ගැන ඇති වූ විවිධ ගැටලූ, ප‍්‍රවණතා  හා අර්බුදවලදී මූලික වශයෙන්ම මුහුණ දෙන ආයතනයක් වන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවයි.

විවිධ ක්‍ෂේත‍්‍ර ගැන ඇති විෂය දැනුම මෙන්ම, සමාජ දැනුම හා අත්දැකීම් සමඟ අපේ රටට සේවය කිරීමට අපි සියලූ දෙනාම බැඳී සිටිනවා. ඒ අනුව අද දවසේදීත් මේ දෙපාර්තමේන්තුවෙන් කරන කාර්ය මා අගය කරන අතර එහි නිලධාරීන්ට මගේ ප‍්‍රශංසාව හිමිවෙනවා. අපේ රටේ බදු ක‍්‍රමය ගැන ප‍්‍රසාදය, අප‍්‍රසාදය වගේම විවේචන හා ඇගයීම් යන සියල්ල තිබෙනවා. ඒක අපේ රටට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. ලෝකයේ දියුණු, සංවර්ධිත ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවල පවතින බදු ක‍්‍රම ගැන අධ්‍යයනය කිරීම අවශ්‍යයයි. ඒවායෙන් අත්දැකීම් ලැබීම අත්‍යවශ්‍යයයි. අවශ්‍ය පුහුණුවීම් විදෙස් ශිෂ්‍යත්ව ගැන සභාපතිවරයා තම කතාවේදී සඳහන් කළා. මේ දෙපාර්තමේන්තුවේ සේවය ගුණාත්මක වර්ධනයක් වෙනුවෙන් ඒවා අත්‍යවශ්‍ය බව මාත් පිළිගන්නවා. රජයක් හැටියට මෙන්ම මුදල් අමාත්‍යංශය හැටියටත් ඊට අවශ්‍ය පරිසරය සකසා දීමේ වැදගත්කම මා අවධාරණය කරනවා.

ඒ වගේම පොදුවේ ගත්විට රටේ පවතින බදු ක‍්‍රමයේදී ඒකපුද්ගල ආදායම වැඩිවෙද්දී බදු අයකිරීම හරියට වෙලා නෑ. විශේෂයෙන්ම ඍජු බදු අයකිරීම ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා. රාජ්‍ය බදු ආදායම ගැන කතාකරද්දී පහුගිය කාලයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තිබෙන්නේ ලිපිගොනු මෙච්චර යැයි සමහරු කිව්වා. නමුත් බදු අය නොකරන විශාල පිරිසක් සිටින බවත්, එසේ සිදුවන්නේ කෙසේදැයි කියා ආණ්ඩුව තුළ මෙන්ම පොදු ජනතාව අතරත් සංවාදයට හා සාකච්ඡාවට ලක්වුණා.

වසර දහස් ගණනකට පෙර රාජාණ්ඩු ක‍්‍රමවලදී බදු අයකරගත් ආකාරය ගැන ඓතිහාසික සාධක හා තොරතුරු තිබෙනවා. බොහෝවිට විදෙස් ආක‍්‍රමණිකයන් මේ රට පාලනය කළ අවස්ථාවල අනුගමනය කළ අමානුෂික බදු අයකිරීම් ගැන අප අසා තිබෙනවා. ඇතැම් රජවරුන් බදු අය කරගත් ආකාරය උපහාස කතාවලින් පිරී තිබෙනවා. එමෙන්ම රජයක් ආදායම් ලබාගැනීම ගැන බෞද්ධ දර්ශනයේ පවා සඳහන් වෙනවා. ඇති අයගෙන් ධනය හා සම්පත් පොදු ජනයා අතරට ගෙනයන ආකාරය ගැන එම උගැන්වීම්වල පැහැදිලිව සඳහන් වෙනවා. වැඩවසම් ආදී නොදියුණු සමාජ ක‍්‍රම ගැන අපි කතාකරනවා. එවැනි කාලවල තනි පුද්ගලයන්ගේ බලගතුභාවය අනුව ගම්මානවල ප‍්‍රාදේශීය නායකයන්ගේ බලය අනුව බදු අය කරගත් ඉතිහාසයන් ගැන වාර්තා වෙනවා. බදු අයකරගැනීමේ ඉතිහාසය කෙටියෙන් හෝ මා මෙසේ දැක්වූයේ ඇතැම් අවස්ථාවල දේශපාලන අංශ මෙන්ම ජනමාධ්‍ය පවා බදු සම්බන්ධයෙන් රජය ගන්නා තීන්දු හදිසියේ ගත් ඒවා හැටියට පෙන්වන නිසයි.

මහවැලි අමාත්‍යංශයට මා වසර විසි පහක් පමණ තිස්සේ විටින් විට සම්බන්ධ වී සිටියා. ඊට අදාළ ආයතනවල බදු ප‍්‍රතිපත්තියේ යම් යම් වෙනස්කම් කළත් අලූත් අත්හදාබැලීම් රාශියක් කළත් ඒ අදාළ ආදායම්වලින් බොහෝවිට රජයට ලැබෙන්නේ 10% හා 20% අතරේ ප‍්‍රමාණයකුයි. ඊට විධිමත් ක‍්‍රමයක් නැති බව මා දන්නවා. එහෙම බැලූවාම රාජ්‍ය ආදායමට බොහෝ පෞද්ගලික අංශ ව්‍යාපෘති ආයෝජනවලින් දකින්නේ දුබලතාවක්. එවැනි අංශ ශක්තිමත් කරගෙන කාර්යක්ෂම කිරීම අත්‍යවශ්‍ය යැයි මා විශ්වාස කරනවා.

මේ සමුළුවට අවසන් වරට පැමිණි ජනාධිපතිවරයා කවුදැයි මම මේ සංගමයේ සභාපතිතුමාගෙන් ඇහුවා. රාජ්‍ය නායකයා ආවේ පළමු වරට මෙවර යැයි එතුමා කිව්වා. එහෙම නම් ගෙන්නන්න ඇත්තේ ඇයි කියලා මම කල්පනා කෙරුවා. සභාපතිතුමාගේ කතාවේදි කරුණු රාශියකුත් කිව්වා. ඒ කතාව ඇහුවාම මට එන්න කියන්න ඇත්තේ අලූත් බදු පනත එපාම කියන්න වෙන්න ඇති කියලා මට හිතෙනවා. මට හැඟුණේ දැනුණේ එහෙමයි. පසුගිය කාලයේත් මේ ගැන ප‍්‍රශ්න තිබෙන බව මා දැනගත්තා. 2007 සිට තරුණ ජවය නෑ කියලා කිව්වා. තරුණ ජවය නෑ කියලා කියන්නේ මේ ඉන්න අයට වැඩ බෑ කියන එකද? මම නම් එහෙම හිතන්නේ නෑ. මෙතැන සිටින්නේ බොහෝම ශක්තිමත්, ප‍්‍රබුද්ධ, පරිණත පිරිසක්. මේ දෙපාර්තමේන්තුව දුවන්නේ ඒ අයගේ නායකත්වය තුළයි.

කොහොම වුණත් 2007 සිට සහකාර කොමසාරිස්වරුන් බඳවාගෙන නැත්නම් ඒක ප‍්‍රශ්නයක්. ඇයි එහෙම වුණේ කියලා නම් මම දන්නේ නෑ. දැන් අපි ඇවිල්ලත් අවුරුදු දෙකහමාරකට කිට්ටුයි. එම නිසා මේ දෙපාර්තමේන්තුවේ ශක්තිමත්භාවය හා කාර්යක්ෂමභාවය වෙනුවෙන් බඳවාගැනීම් වහා කළ යුතු යැයි මාත් හිතනවා. බදු පනත හා බඳවාගැනීම් ඇතුළු කරුණු ගැන සිංහල අලූත් අවුරුද්දෙන් පසුව දිනයක් වෙලාවක් නියම කරගෙන සියලූ දෙනා එකතු වී සාකච්ඡා කිරීමට මා අදහස් කරනවා. එමගින් ගැටලූ නිරාකරණය කරගනිමු. ඔබතුමන්ලාගෙන් රටට ලැබිය යුතු සේවය ලබාගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙන බවට මා පොරොන්දු වෙනවා. මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් පොදු ජනතාවට වඩාත් උසස් ජීවන තත්ත්වයක් ලබාදෙන්නත් සමෘද්ධිමත් ආර්ථිකයක් ඇතිකරන්නත් ඔබ මෙතෙක් කර ඇති සේවය අගය කරන අතර එය ඉදිරියේදී වඩාත් උසස් ලෙස ලබාදෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි ප‍්‍රාර්ථනා කරනවා.

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති මහින්ද ගුණවීර මහතා මෙසේ කීය.

අප වෘත්තිය සමිතිය නියෝජනය කරන්නේ දේශීය ආදායම් සේවයේ විශේෂ හා පළමු ශ්‍රේණිවලට අයත් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් හා කොමසාරිස් යන තනතුරු දරන නිලධාරිනුයි. අප සෑමවිටම සාම්ප‍්‍රදායික වෘත්තීය සමිතියකට සීමා නොවී දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකරගැනීමට පෙනී සිටිනවා. එහිදී ජාතික අවශ්‍යතාවලට මුල් තැනදී අපි කටයුතු කරනවා. සාම්ප‍්‍රදායික වෘත්තීය සමිති උළෙලක පිළිගැනීමේ කතාවෙන් වැඩි කොටසක් වෙන්වන්නේ සිය සාමාජිකයන්ට හිමි විය යුතු අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව ප‍්‍රධාන ආරාධිතයාගේ අවධානය යොමුකිරීමයි. එහෙත් අපි මේ අවස්ථාව යොදාගන්නේ අපගේ යුතුකම හා වගකීම වන රජයට ආදායම් රැුස්කරදීමේ ක‍්‍රියාවලියට මතුව ඇති ගැටලූ හා සම්බාධක ජනාධිපතිවරයාගේ කාරුණික අවධානයට යොමුකිරීමටයි. අපගේ වෘත්තිය ගැටලූ ඉදිරිපත් කරන්නේ දෙවැනුවටයි.

අයවැය මගින් යෝජනා කරන බදු ප‍්‍රතිපත්ති සම්බන්ධ අණ පනත් කලට වේලාවට පාර්ලිමේන්තුවෙන් සම්මත වී නීති බවට පත්වීම පමාවීම හේතුවෙන් සිදුවන්නේ බදු ආදායමට අහිතකර බලපෑම් ඇතිවීම, පරිපාලන ගැටලූ ඇතිවීම හා බදු ගෙවන ජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත්වීමයි. මෙවැනි අවස්ථා බොහෝමයක් පසුගිය කාලයේදී අත්දකින්නට ලැබුණු අතර එය රට තුළ බදු නීතිය පිළිබඳව ඇතිවන අවිනිශ්චිතභාවය, ව්‍යාපාරික ප‍්‍රජාවට සිය ව්‍යාපාරික කටයුතු සූදානම් කිරීමට අපහසු වීම බදු ආදායම අඩුවීමට හේතු වෙනවා.

වසර ගණනාවක් බඳවාගැනීම් සිදු නොකිරීම නිසා 2007 දී නිලධාරීන් විශාල පිරිසක් එක්වර බඳවාගැනීමට සිදුවුණා. මෙසේ එකවර විශාල පිරිසක් බඳවාගැනීමේදී අභ්‍යන්තර වශයෙන් පහසුකම් සැලැසීම, පුහුණු කිරීම හා උසස්වීම් ලබාදීම යන කාරණාවලදී පරිපාලනයට මෙන්ම එකී නිලධාරීන්ට ද දැඩි අපහසුතාවට ලක්වීමට සිදුවුණා. එබැවින් වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු පියවීමට අවශ්‍ය කටයුතු යෙදීමෙන් බදු පරිපාලනය මනාව පවත්වාගෙන යෑමට හැකිවන අතර තරුණ ජවය හා නව අදහස් අඛණ්ඩව එක්වීමෙන් සේවයෙහි ගුණාත්මකභාවය පවත්වාගෙන යෑමට හැකියි.

දෙපාර්තමේන්තු පරිපාලනය නවීකරණය අරමුණු කරගනිමින් 2014 දී ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ සිංගප්පූරු රජයේ අනුග‍්‍රහයෙනි. පරිපාලනය කාර්යක්ෂම කිරීමෙන් බදු ආදායම ඉහළ නැංවීම, ජාලගත තොරතුරු පද්ධතියක් ඇතිකිරීමෙන් තාක්ෂණය උපයෝගී කරගෙන බදු ජාලය පුළුල් කිරීම. බදු ගෙවන්නන්ට  ඕනෑම ප‍්‍රාදේශීය කාර්යාලයකින් අවශ්‍ය සේවා ලබාගැනීමට පහසුකම් සැලැසීම. බදු ගෙවන්නන්ට අන්තර්ජාලය තුළින් තමන් කැමැති භාෂාවකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් දවසේ  ඕනෑම වේලාවකදී ලෝකයේ  ඕනෑම තැනක සිට සේවා ඉටුකරගැනීමට පහසුකම් සැලැසීම මෙමගින් ප‍්‍රකාශිත ප‍්‍රධාන අරමුණුයි.

දැනටමත් මෙම කටයුත්ත නිමාවෙමින් පවතින අතර ඉදිරි මාස කීපය තුළ සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක වනු ඇත. මෙහිදී පැන නැගුණු එක් බාධකයක් වූයේ බාහිරව තොරතුරු ලබාගැනීමට සම්බන්ධවීමට යෝජිත වූ ආයතන 23 න් වැදගත් ආයතන කීපයක් ජාලගතවීමට ප‍්‍රමාණවත් සහයෝගයක් නොලැබීමයි. තවදුරටත් බදු දැලට හසුකරගත හැකි පුද්ගලයන් සොයාගැනීමට එම ආයතන ජාලගතකිරීම ඉතාම වැදගත්. උදාහරණයකට ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව සතුව විශාල තොරතුරු සම්භාරයක් තිබෙනවා. එහෙත් ජාලගත කිරීමේ ගැටලූව නිසා එම තොරතුරු අප දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නෑ. මේ හේතුවෙන් රටට අතිරේකව සපයාගත හැකි බදු ආදායම අහිමි වෙමින් පවතිනවා. එවැනි අඩුපාඩු මැද වුවත් නිලධාරින්ගේ කැපවීම හා රුමිස් (බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය) ව්‍යාපෘතියේ ප‍්‍රතිඵල යන කාරණා දෙකෙහි සුසංයෝගයෙන් දෙපාර්තමේන්තුවේ බදු ආදායම පසුගිය වසරේ මුල් කාර්තුව හා මේ වසරේ මුල් කාර්තුව සමඟ සැසඳීමේදී වැඩිව තිබෙනවා.

ඒ අනුව ආර්ථික සේවා ගාස්තුව 633% කින් ද වැට් බදු ආදායම 187% කින් ජාතිය ගොඩනැගීමේ බද්ද 157% කින් පොලිය මත රඳවාගැනීමේ බද්ද 130% කින් උපයන විට ගෙවීමේ බද්ද 117% කින් සහ සමාගම් හා පුද්ගලයන් මත ආදායම් බද්ද 113% කින් වැඩි වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කෙටුම්පත් කළ නව දේශීය ආදායම් පනත පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්ව අතර කතිකාවක් මතුව තිබෙනවා. දෙපාර්තමේන්තු සේවක ප‍්‍රජාව තුළ මේ ගැන ඇත්තේ සැක සහිත ආකල්පයක්. එයට හේතුව හදිසියේම මේ නව පනත ගෙන ඒමෙන් ඇතිවන අහිතකර සහ ගැටලූකාරී තත්ත්වයයි. විශේෂයෙන්ම රුමිස් ව්‍යාපෘතියේ පරිගණක වැඩසටහන්වලින් 83% ක් පමණ භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවන අතර ඒ සඳහා වැය කළ රුපියල් බිලියන ගණනක ආයෝජන මුදල අපතේ යනවා. රුමිස් ව්‍යාපෘතියෙන් ආදායම වැඩිවන මේ අවස්ථාවේ නව පනතක් අනවශ්‍ය බව පොදුවේ සේවක අදහසයි. අප සංගමයේ අදහස වනුයේ දශක ගණනාවක් පුරා ඇති වූ ආර්ථික, සමාජීය හා ව්‍යාපාරික වෙනස්කම්වලට අනුව කාලීනව අවශ්‍ය වෙනස්කම් සිදුවිය යුතු වුවත් අධිකරණ තීන්දුවලට භාජනය වී ඇති වර්තමානයේ පවතින 2006 අංක 10 දරන පනත හදිසියේම වෙනස් කිරීම ගැටලූ සහගතබවයි.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ සම්පූර්ණයෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් පිරි පනතක් සම්මත කිරීමෙන් අනපේක්ෂිත අයපහත් ප‍්‍රතිවිපාක ඇතිවිය හැකියි. එමගින් බදු ගෙවන ජනතාව, බදු උපදේශන සේවා සපයන විගණන ආයතන හා බදු පරිපාලනය කරන දේශීය ආදායම් නිලධාරීන් ද අපහසුතාවට පත්වීම වළක්වන්න බෑ. එහි අවසන් ප‍්‍රතිඵලය බදු පරිපාලනය අවුල් ජාලාවක් බවට පත්වීමයි. රුමිස් ව්‍යාපෘතියේ පල නෙළාගන්නා අවස්ථාවේ බදු නීතිය හාත්පසින්ම වෙනස් කිරීමෙන් එකී ව්‍යාපෘතිය අවලංගු තත්ත්වයට පත්වීම ද වළක්වන්න බෑ. එම නිසා රටේ බදු පදනම පුළුල් කර ආදායම වැඩිකිරීම සඳහා නව පනතක් ගෙනඒමේ අවශ්‍යතාවක් නොමැති අතර කළයුතුවන්නේ පවතින බදු සහන නැවත සමාලෝචනය කර අකාර්යක්ෂම බදු සහන ඉවත්කිරීම සහ පවතින පනතට අවශ්‍ය සංශෝධන කිරීමයි.

දේශීය ආදායම් සේවා ව්‍යවස්ථාවට පරිභාහිරව දෙපාර්තමේන්තු රාජකාරි සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නවක නිලධාරීන් බඳවාගැනීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වී තිබෙනවා. මේ ගැන සේවක ප‍්‍රජාව අතර නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. අපේ සංගමයේ අදහස වන්නේ සියලූ බඳවාගැනීම් සේවා ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බවයි. නවීන වාණිජ ලෝකයේ සිදුවන විවිධ වෙනස්කම්වලට ගැළපෙන අයුරින් දැනුම ස්ථාවර කරගැනීම අපගේ වෘත්තිය සාර්ථකව ඉටුකරගැනීමට ඉමහත් පිටිවහලක්. ඒ අනුව දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන්නැයි කාරුණිකව ඉල්ලා සිටිනවා.

දේශීය ආදායම් දිරිදීමනා යෝජනා ක‍්‍රමය 1985 සිට ක‍්‍රියාත්මක වෙනවා. ඒක හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මැල් මහතාගේ අදහසක්. එහි ප‍්‍රතිලාභ සෑම වසරකම මාර්තු හෝ අපේ‍්‍රල් හා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවල ගෙවුවා. එහෙත් මෑතක සිට එය ලබාගැනීමට කෑම පැයේ විරෝධතා කරන්නත් සිදුවුණා. මෙය සේවකයන් දිරිගැන්වීම පැත්තෙන් ගත්තාම ඉතාම අසතුටුදායක තත්ත්වයක්. ඒ නිසා දිරි දීමනාව සැබෑ දිරිගැන්වීමක් ලෙසින් ගෙවන්න කටයුතු කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මුදල් ඇමැති රවි කරුණානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, නියෝජ්‍ය ලේකම්වරුන් වන එස්.ආර්. ආටිගල, චන්ද්‍රා ඒකනායක, ඒ.ආර්. දේශප‍්‍රිය, තොරතුරු කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර හා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක යන මහත්ම මහත්මීන් ද ඇතුළුව ආදායම් බදු ක්‍ෂේත‍්‍රයේ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.