“කොළඹ මහ රෝහල ඉදිරිපිට වෙළඳාමේ නියුතු වෙළෙන්දන් ඉවත් කිරීමට ගොස් පසුගියදා ඇතිවූයේ මහත් කලබැගෑනියකි. එය අපේ ජනසන්නිවේදන මාධ්‍යවලට කදිම ප්‍රවෘත්තියක්ද විය. එහෙත් මේ සාකච්ඡාවෙන් කියැවෙන්නේ මේ අගතියට පත් එදාවේල පිරිමසා ගන්නා පිරිසගේ ඛේදාන්තය නොවේද?”
ප්‍ර- මුලින්ම අපිට නම දැනගන්න පුළුවන්ද?
උ- මගේ නම යූ.එම්. මාලනී. යූ.එම්. කියන්නේ උන්ග බණ්ඩාර, මම උපන්නේ 1956 ජනවාරි 6 වැනිදා.
ප්‍ර- මේ කොළඹ මහ රෝහල ඉදිරිපිට වෙළඳාම් කිරීමේ ඉතිහාසය ගැන ඔබට තිබෙන්නේ කෙබඳු මතකයක්ද?
උ- මගේ තාත්තා යූ.එම්. පියදාස මේ වෙළඳාම පටන් ගත්තේ මීට අවුරුදු 46 කට ඉස්සර 1971 දී. එතකොට පොඩි තේ කඩයක් දැම්මේ. අම්මා ඇස් රෝහල ඉස්සරහා කුප්පි වික්කා.
ප්‍ර- ගම් පළාත එහෙම කොහෙද?
උ- මේ අපේ උපන් ගම. අපේ ගේ තිබ්බේ අද සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන තැන පාර අයිනේ. අපේ පවුලේ ඔක්කොම 16 දෙනයි.
ප්‍ර- මොනවා? පවුලේ 16 දෙනෙක්? ඒ අයගේ නම් එහෙම මතකද?
උ- ඔන්න ලියාගන්න මහත්තයෝ. ඔය ඉස්සරහා අලවල තියෙන මරණ දැන්වීමේ ඉන්නේ මගේ අක්කා. එයා උපන්නේ 1956 ඔක්තෝබර් 10 වැනිදා. මළේ 2015 අගෝස්තු 01 වැනිදා. එයාගේ නම යූ.එම්. ඉන්ද්‍රානි. අනික් ඔක්කොම ජීවතුන් අතර ඉන්නවා.
ප්‍ර- ඒ අයගේ නම් මතකද?
උ- මොකද නැත්තේ. අපි එක බඩවැල කඩාගෙන ආපු එක අම්මගේ තනෙන් කිරි බීපු දාසය දෙනෙක්. අපි හිටියේ පුදුම සමගියෙන්. අක්කගේ මරණෙට ඔක්කොම ආවා. අක්කට පස්සේ අයිරාංගනී අක්කා, ඊට පස්සේ මම මාලනි, මට පස්සේ සුනිල්, සරත්, චන්ද්‍රිකා, සුනීතා, රංජනී, අනුලා, අනුර, සුනිල්, රංජිත්, චන්ද්‍රිකා, රංජිත්, අන්තිමයා නන්දනී.
ප්‍ර- එතකොට එකම පවුලේ එක නම් තියෙන චන්ද්‍රිකාල දෙන්නෙකුත් රංජිත්ලා දෙන්නකුත් ඉඳලා තියෙනවා නේද?
උ- ඔව්. ඒත් මුහුණුවරින් වෙනස් හින්දා ප්‍රශ්නයක් වුණේ නෑ.
ප්‍ර- මෙච්චර දරු මල්ලන් පිරිසක් තාත්ත නඩත්තු කළේ මේ ඉස්පිරිතාලේ ඉස්සරහ පුංචි තේ කඩෙන් කියලා හිතන්නත් අමාරුයි නේද?
උ- ඒ කලේ මහත්තයෝ වියදම් අඩුයි. මේ වගේ කොළඹ රථවාහන තදබදයක්වත් මිනිස්සුවත් හිටියේ නෑ. අපි පොඩි කාලේ මාදං, පේර, වෙරළු, මැංගුස් කාපු ලඳු කැලෑ අද හොයා ගන්නවත් නෑ. හැමතැනම බිල්ඩින්, බිල්ඩින්. ඒ කාලේ මේ පැත්තට තිබ්බ ලොකුම බිල්ඩිම මහ රෝහලයි, සොයිසා වාට්ටුවයි.
ප්‍ර- ඔබේ පියා 1971 අරඹපු මේ බිස්නස් එකට වෙනත් පිරිස් එක්වුණේ කොහොමද?
උ- ඔය ලිප්ටන් වටරවුම පැත්තේ යුනියන් ප්ලේස් පැත්තේ අය එකා දෙන්නා ඇවිත් මෙතන කඩ දාන්න පටන් ගත්තා. ඒ වුණාට ඒ අය තාත්තාගේ තේ කඬේට අත තියන්න ගියේ නැහැ. මම නම් පොඩි කාලේ ඉඳලා වික්කේ පලතුරු, තැඹිලි වගේ දේවල්. මේ මාකට් එකට ඇපල් ගෙනාවේ මම. අලුතින් ආපු අය ගොඩක් වික්කේ තුවා ඇඳුම් වගේ ලෙඞ්ඩුන්ට ඕන දේවල්. තව අය දත්බේත්, සබන්, මූණේ ගාන පුයර බෙලෙක්කත් වික්කා. ඒ කාලේ ජනප්‍රිය පවුඩර් ජාතියක් තමයි “කියුටි කියුරා”.
අ ප්‍ර- ඔබේ පවුලේ 16 දෙනා විවාහපත් වුණාට පස්සේ අම්මා තාත්තා එක්ක වෙන වෙනම බිස්නස් කළේ කවුද?
උ- මගේ තාත්තා පියදාස, අම්මා සෝමාවතී ඒ දෙන්නා හිටියා. අක්කා අයිරාංගනී බැන්දේ ඉස්පිරිතාලෙම ඇටෙන්ඩන් කෙනෙක් ගුණරත්න අයියා. ඒ ගොල්ලනුත් තේ කඩයක් කළා. මගේ මහත්තයා බන්දුල දහනායක. අපි කළේ පලතුරු බිස්නස්. රංජිනී නංගී බැන්දේ ධර්මපාලව. ඒ දෙන්නත් තේ කඩයක් කළා. පවුලේ අනික් අය මේ ව්‍යාපාරෙට සම්බන්ධ වුණේ නැහැ. ඒ ගොල්ලන් එක එක පැතිවල රස්සාවලට ගියා. එක මල්ලී කෙනෙක් රට ගියා.
ප්‍ර- ඔය කියන මීට අවුරුදු 46 කට පෙර 1971 යුගය ගැන මතකද?
උ- ඔය කියන කාලේ ප්ලේන්ටිය වික්කේ සත 3 යි. ටී එක සත 12 යි. නෝනා මාක් ටිංකිරි ටින් එක සත 35 යි. ඒක බාගෙත් තිබුණා. පළාතෙම තිබුණේ මයිනර් ටැක්සි.
ප්‍ර- එතකොට රික්ෂෝ එහෙම තිබුණේ නැද්ද?
උ- ඇයි නැත්තේ? රික්සෝ අසූව වගේ වෙනකම් තිබුණා. මරියකඬේ ආනන්දේ පහුකරලා මරදානේ ඉස්ටේසමේ ඉඳන් මහ ඉස්පිරිතාලේ ළඟට එන්න රික්සෝ කාරයෙක් සත 25 ක් ගන්නවා. ඇවිල්ල හිටන් තාත්තගෙන් සත 3 කට ප්ලේන්ටියක් බීලා කළු සුරුට්ටුවක් පත්තු කරගන්නවා. ඒ සුරුට්ටුවක් බොන්න අලියා ගිනිපෙට්ටියක් විතර යනවා. ටික වේලාවක් යනකොට ඉස්ටේසමට යන්න හයර් එකක් ලැබුණාම රික්සෝ කාරයා කුරුල්ලා වගේ ඉගිල්ලෙන්නේ ඉස්ටේසම දිහාට. ඒ කාලේ සමාජේ ගහ මරාගත්තත් සුන්දර කාලයක්.
ප්‍ර- ඉතින් ඔය කියන කාලෙම නේද සුන්දරව මිනී මරාගන්න 1971 කැරැල්ල ඇතිවුණේ?
උ- ඒ කාලේ නම් මතක් වෙනකොටත් බයයි. හවස හයට කර්ෆිව් (ඇඳිරි) නීතිය දානවා. කන්න බොන්න එකතු කරගෙන ඒ වෙලාවට ගෙට වෙනවා.
ප්‍ර- ඒ කාලේ මැතිනියගේ හවුල් ආණ්ඩුවෙන් දීපු හාල්පොත් කීයක් ගෙදරට ලැබුණාද?
උ- අපේ ගෙදරට ළමයින්ට හාල්පොත් 16 කුත් මුද්දර 16 කුත් ලැබුණා.
ප්‍ර- එතකොට අම්මට තාත්තට ලැබුණේ නැත්ද?
උ- අම්මට තාත්තටත් එක්ක හාල්පොත් 18 කුත් මුද්දර 18 කුත් ලැබුණා.
ප්‍ර- එක ගෙදරකට විතරක් සමුපකාරෙන් හාල් සේරු 18 ක් කිරලා දෙන කොට කොහොමට තියෙයිද?
උ- අපි ඔක්කොම පෝලිමේ හිටියා. අපි 18 දෙනා විතරක් හිටියත් එතන ලොකු පෝලිමක්. අපි එනව දැක්කොත් බාගෙදා මැනේජර් අපේ ටික වෙන්කරලා තියෙනවා.
ප්‍ර- පවුලේ 18 දෙනාටම කන්න ගෙදර ඉව්වාද, නැත්නම් කඩෙන් කෑවාද?
උ- ඒ කාලේ දැන් වගේ කඩවලින් කන පුරුද්දක් තිබුණේ නෑ. මං කලින් කිව්වේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන තැන අපේ ගේ තිබුණේ. ලොකු අක්කා, රතු අල සුද්ද කරනවා. පොඩි අක්කා පොල් ගානවා. අම්මා තඩි බත් හැළියක් ළිප තියනවා. ඒ කාලේ ඔය ගෑස් ලිප් මුකුත් නැහැ. දරෙන්ම තමයි ඉව්වේ. දහඅට දෙනෙක් හිටියට ඒ හැටි කෑමට වියදමක් නැහැ. අරුමෝසම් කෑම නැහැ.
ප්‍ර- දේශපාලන වශයෙන් ඔබේ පවුලේ ඡන්ද 18 ක්. ඡන්දය මොන පැත්තටද බර?
උ- අපි උපන්ගෙයි ශ්‍රීලංකා කාරයෝ. හැබැයි අපේ ව්‍යාපාරවලට ගහන තරමක් ගැහුවෙත් ශ්‍රීලංකා ආණ්ඩු තියෙන කාලේ. මුලින්ම මේ කඩ අයින් කළේ ඇලෝසියස් මුදලාලි, එතකොට ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැති. පීටර් කේනමන් ගෙවල් ඇමැති. අපිව 82 දී ඊ.ඩබ්ලිව්. පෙරේරා මාවතේ තැනකට යැව්වා. 2010 දී මේ තැනට ආයිමත් එව්වා. මේක අපි අවුරුදු 46 කට ඉස්සර බිස්නස් පටන් ගත්ත තැනම තමයි. මේක අපිටත් අලුත් තැනක් නෙවෙයි.
ප්‍ර- ඔබේ මාපියන් දැන් මොකද කරන්නේ?
උ- තාත්තා 2001 දී නැති වුණා. ඊට කලින් 1998 දී අම්මා අන්ත්‍රා වුණා. දෙදහස් පහළවේදී ලොකු අක්කා ඉන්ද්‍රානි නැතිවුණා.
ප්‍ර- ඔබ මේ බිස්නස් කරන මහ රෝහල ඉදිරිපිට ස්ථානයට නගර සභාවෙන් අයකිරීමක් කරනවාද?
උ- මුලින් 375,00 ක ඩිපොසිට් එකක් තිබ්බා. මාසිකව රු. 3000 බැගින් හැමෝම ගෙව්වා. දැන් නගර සභාවට රු 600,000 ක (හය ලක්ෂයක) හිඟ මුදලක් ගෙවන්න තියෙනවා. අමාරුකම් නිසා අපට කොටස් වශයෙන් ගෙවන්න දෙන්නේ නැහැ ගෙඩිය පිටින් ගෙවන්න කියනවා.
ප්‍ර- නගර සභාවෙන් මෙතැනට දීලා තියෙන පහසුකම් මොනවාද?
උ- මෙතැන ලයිට්වත් නැහැ. වැස්සට වැටිච්ච වතුර එනවා. අපි වටේට රෙදි දාගෙන ඉන්නේ. රෑට හොරු කඩනවා. වැස්සට යටවෙනවා. බොන්න වතුර බිඳක් නැහැ. අපි හිටියේ නැත්නම් ඉස්පිරිතාලෙට එන මිනිස්සුන්ට බඩුවක් ගන්න, බේතක් බොන්න, පත්තරයක් ගන්න පුංචි බොරැල්ල හන්දියට නැත්නම් ටවුන්හෝල් එකට ගිනිකාස්ටකේ අව්වේ යන්න වෙනවා.
ප්‍ර- මේ අර්බුදය පටන් ගත්තේ කොහොමද?
උ- මුසම්මිල් නගරාධිපතිතුමා අවුරුදු ගාණකට ඉස්සෙල්ල ඇවිල්ල අපට තියෙන පහසුකම් ගැන ඇහුවා. මුකුත් පහසුකම් අපට නැහැ කියලා දැනගෙන සත පහක් නගර සභාවට ගෙවන්න එපා කිව්වා. එතුමත් එක්ක නාගරික කොමසාරිත් ඇවිත් හිටියා.
ප්‍ර- ඔබ කියන පරිදිම ඔබ ඇතුළු පිරිස උපන්ගෙයි ශ්‍රීලංකා කාරයෝ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ශ්‍රීලනිපයේ නිසා ඔබේඅ ඉදිරිපත් කළේ නැත්ද?
උ- අපිව අයින්කරන්න ගිය එක ටීවී එකෙන් පුවත්පත්වල ජනාධිපතිතුමා දැක්කා කියලා අපිට ලේකම්වරයෙක් කිව්වා. අපි ඉල්ලන්නේ අපේ හිඟ මුදල කොටස් වශයෙන් ගෙවන්න ඉඩදෙන්න. මේ අවුරුදු කටේ අපිට අසාධාරණයක් කරන්න එපා කියලා.
ප්‍ර- ඔබ යම් රෝගී තත්ත්වයකද සිටින්නේ?
උ- මගේ වකුගඩු දෙකම නරක් වෙලා තියෙන්නේ. ලබන සුමානේ මගේ දකුණු අතට මැෂිමක් හයිකරනවා කිව්වා. වකුගඩු බද්ධ කරන්න ලක්ෂ පහළවක් විතර එකතු කරගන්න වෙලා තියෙනවා.
ප්‍ර- අවසන් වශයෙන් ඔබ රජයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
උ- පෞද්ගලිකව මගේ සෞඛ්‍ය තත්ත්වයත් මෙතැන බිස්නස් කරන හැටහැත්තෑවගෙන් යැපෙන දහස් ගාණක් ඉන්නවා. අපි ගැන සා!නුකම්පිතව බලල අපිට සහනයක් දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා. අපේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරනවා.
සටහන- ඩී.ජී. ලියනගේ
න්‍යායික තලයේදි මාධ්‍ය සමග ගනුදෙනුව ගැන ආණ්ඩුවට හොඳ දැනුමක් තිබුණත් ප්‍රායෝගික තලයෙදි යම් ආගන්තුකභාවයක් පෙන්නුම් කරනවා.
මොනරාගල මාගන්දනමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මොලේ
කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය, විද්‍යා ලේඛක තිලක් වීරසිංහ ගේ තෙමස් පූර්ණ සමරුව මේ සති අන්තයට යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සැබෑ නම ‘ප්‍රියා සූරියසේන’ වුවද බොහෝ දෙනා ඔහු ඇමතුවේ ‘ප්‍රියා’ යන ආදරණීය නාමයෙනි. ඒ ඔහු ගැයූ ගීත සහ ආදරණීය හඬට දැක්වූ ආදරය නිසාවෙනි. ප්‍රේමය - විරහ වේදන
මෙතෙක් කල් පිටරටින් පමණක් අසන්නට ලැබුණු, මුළු ශරීරයම තද නිල් පැහැ ගැන්වුණු දරු උපතක් පිළිබඳව ඉකුත්දා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා විය.
ශ්රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ට හිමිවන ස්ථානය හා සම ස්ථානයක් මෙරට දමිළ නාට්‍ය විෂයෙහි මහාචාර්ය එස්. මෞනගුරු ට
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හතළිස් හය වසක් ගෙන්දගම් පොළොව මත හැපුණු මාලිනී