කොළඹ, පේරාදෙණිය, ජයවර්ධනපුර වශයෙන් කියැවෙන ප්‍රධාන ධාරාවේ විශ්වවිද්‍යාල පහළොව ඇතුළුව මණ්ඩප, උසස් අධ්‍යාපන ආයතන ලෙස ගැනෙන රාජ්‍ය මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අපේ රටේ උසස් අධ්‍යාපන ආයතන තිස් හයක අධ්‍යයන කටයුතු මේ වනවිට අඩාළ වී ඇත. ඒවායේ කාර්යයේ නිරත දහසය දහසකට ආසන්න පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක නිරතවීම එයට හේතුවයි.   


තුන් ලක්ෂයකට ආසන්න ශිෂ්‍ය ප්‍රජාවක් හා විසිපන්දහසක් පමණ වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉගෙනීම් උගැන්වීම් කාර්යයේ නිරත මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට මෑත කාලසීමාව ඉතාම ව්‍යාකූල හා කටුක එකක්වන බැව් කිව යුතුය. වසරකටත් අධික කාලසීමාවක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම අරබයා වෛද්‍ය සිසුහු පන්ති වර්ජනයේ නිරත වූහ. වෛද්‍ය සිසුන්ට පමණක් සීමා නොවී සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම සයිටම් අහෝසි කිරීම පොදු අරමුණක් කර ගැනීම නිසා ඒ සමයේ බොහෝමයක් ශිෂ්‍ය අධ්‍යයන කටයුතු අසාර්ථක විය. සයිටම් ගැටලුව යම් ප්‍රමාණයකින් සමථයට පත්වෙද්දී අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය අරඹා ඇත. 


වර්ජනය හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුන්ගේ නිබන්ධන භාර දී හමාර කළ යුතු විශ්වවිද්‍යාල උපාධි කටයුතු අතරමඟ ඇනහිට ඇත. පළමු අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට කුලුඳුලේ ප්‍රවේශ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යයන වර්ෂ ආරම්භක දිනයේම ආපසු හැරී ගෙදර යෑමට සිදුවී ඇත. රුහුණ, ජයවර්ධනපුර, සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලවල විභාග කටයුතු අඩාළවී ඇත. රුහුණ සහ රජරට විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ද මේ වනවිට වසා දමා ඇත. 


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු-වෛද්‍ය විද්‍යා පීඨය හා කෘෂි පීඨවලට අයත් සත්ත්ව ගොවිපළ වැඩකටයුතු මේ නිසා අඩාළවී ඇත. යම් දෝෂයක් හේතුවෙන් ජල සැපයුම හෝ විදුලි සැපයුම අඩාළ වුවහොත් එම ගොවිපළ දෙකේම සතුන්ගේ ජීවිත අනතුරට ලක්වේ. එමෙන්ම විශ්වවිද්‍යාලය සතු සත්ත්ව රෝහලේ ද වැඩකටයුතු සිදුනොවේ. 


අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් වැඩි වශයෙන්ම බලපෑම් එල්ල වී ඇත්තේ ජාතික විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ටය. වසරක් ඇනහිට තිබූ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර තැබූ සැණින් නැවතත් ඒ පියවර අඩියක් ආපස්සට තැබීමට සිදුවී තිබේ. 


විශ්වවිද්‍යාල වසා දැමීමෙන් හුදෙක්ම ඒ අවට විවිධ වෙළෙඳාම් හා සේවා සැපයුම් ඔස්සේ වක්‍රාකාරව ආදායම් උපයා ගන්නා පිරිසට ද මේ තත්ත්වය බලපෑමක්වී ඇත. විශ්වවිද්‍යාල රසායනාගාර සතු ඖෂධ වර්ග, පර්යේෂණ සඳහා යොදා ගන්නා මෘත ශරීර ආදිය ද නිසි නඩත්තුවක් නොවීම හේතුවෙන් විනාශයට පත්ව යාමේ ඉඩකඩ පවතින බව ද අප කළ විමසුමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
ජාතික විශ්වවිද්‍යාලවල දේශන ශාලා, නේවාසිකාගාර, අධ්‍යයන අංශ, පීඨ කාර්යාල, පුස්තකාල, නඩත්තු අංශ, වෛද්‍ය සේවා සැපයුම් අංශ ඇතුළුව සමස්ත කටයුතු සඳහා අනධ්‍යයන කාර්යමණ්ඩලවලින් සැපයෙන සේවාව ලබා නොදීමට ඔවුන් තීරණය කිරීමට හේතුව කුමක්ද? ඒ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප අපි විමසුමක නිරත වූයෙමු. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය. 


ඉකුත් දෙදහස් දහසය වසරේදී එළඹුණු එකඟතාවට අනුව වාර්ෂික දීමනා වැඩි නොවීම. වසර විසිතුනක් ක්‍රියාත්මක වූ භාෂා ප්‍රවණතා දීමනාව ගෙවීම පැහැර හැරීම, දේපළ ණය සීමාව ලක්ෂ දහය සිට ලක්ෂ විස්ස දක්වා වූ සීමාව ලක්ෂ විස්සක උපරිමයක් යටතේ සියලු අනධ්‍යයන කාර්යමණ්ඩල සඳහා සමානව ලබා නොදීම මෙන්ම දෙදහස් අට වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය රක්ෂණ ක්‍රමය තවමත් ස්ථාපිත නොකිරීම, පිළිබඳව අපි දිගින් දිගටම විරෝධතාවය ප්‍රකාශ කළා. 


විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා දැනට ලැබෙන්නේ ඔවුන් විසින්ම එක්ව සකස් කරගත් දායකත්ව විශ්‍රාම වැටුපක් පමණයි. ඒ වෙනුවට කිසියම් මට්ටමකින් සංවර්ධනය කළ විශ්‍රාම වැටුප් ගෙවීමක් අප ඉල්ලා සිටියා. නමුත් ඔවුන් අපගේ ඉල්ලීම් ඉටු කළේ නැහැ. විශ්‍වවිද්‍යාල සඳහා සහකාර ලේඛකාධිකාරිවරුන්, මූල්‍යාධිකාරී සහකාර අභ්‍යන්තර විගණකාධිකාරී වැනි තනතුරු සඳහා බඳවා ගැනීමට අභ්‍යන්තර සේවකයන් ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන්ට ද ඉදිරිපත්වීමේ අවස්ථාව සීමාකොට තිබෙනවා. 


එම තනතුරු බඳවා ගැනෙන විභාගවලින් සමත් වූවන් ඇතැම් අවස්ථාවල බඳවා ගැනීම් සිදුකරන්නේ නැහැ. බඳවා ගැනීම් පටිපාටිය සකස් කරන ලෙස යෝජනා කළත් මේ දක්වා එය ක්‍රියාත්මක වූයේ නැහැ. තනතුරු පුරප්පාඩු තිබුණත් ඒවා පුරවා නැහැ. වැඩ බලන තනතුරු විදිහට තමන්ට කැමති පුද්ගලයන් තනතුරුවල රඳවාගෙන නීතියට අනුකූල නොවන ලෙස ඉහළ පරිපාලනය කටයුතු කිරීම සිදුකරනවා. ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම විමසීම් කළත් නිසි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. 


එවැනි වාතාවරණයක් මත අඛණ්ඩ වැඩ වර්ජනයකට ප්‍රවේශ වීමට අපට සිදුවුණා. මේ වෙද්දී විශ්වවිද්‍යාල පරිපාලනය ලබා දෙන පිළිතුර වී තිබෙන්නේ අදාළ ගෙවීම් සිදුකිරීමට ප්‍රමාණවත් මුදල් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු නොවන බවයි. ඔවුන් අප දිගින් දිගටම නොසලකා හැරීමක් සිදුකරනවා. වැටුප් ප්‍රතිපත්ති සැකසීමේ දී ද අප නොසලකා හැර තිබෙනවා. 


පවතින තත්ත්වය නිසා සිසුන්ට ආචාර්යවරුන්ට සිය කටයුතු සඳහා බාධාවී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරය සතු සජීවි ශෛල සාම්පල් කිහිපයක් තිබෙනවා. මෙවැනි ඉතා වටිනා දේවල් රැසක් අප ආරක්ෂා කරමින් දැඩි අසීරුතා මැද වුවද කටයුතු කළා නමුත් ඔවුන් දිගින් දිගටම අප නොසලකා හැරීම නිසා මෙවැනි තීරණයකට එළැඹීමට අපට සිදුවුණා. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය ලෙස විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ජීවිත අනාගත සාර්ථකත්වයට සුවිශාල බලපෑමක්වී තිබෙනවා. 


වරාය, තැපෑල අඩාළ වුණාම පාඩුව ගණනය කරන්න පුළුවන්. රටේ අනාගතයේ දැනුමට සිදුවන පාඩුව අංකවලින් ගණනය කරන්න බැහැ. නමුත් අපට බලපා ඇති ගැටලු විසඳා නොගෙන ඉදිරි කටයුතු කරගෙන යැමේ හැකියාවක් ද නැහැ. 


සියලුම පක්ෂවලට අයත් වෘත්තීය සමිති නියෝජිතයෝ බොහෝමයක් මේ වනවිට අපට සහයෝගය දක්වා තිබෙනවා. අප ඉල්ලා සිටින මෙම අත්‍යවශ්‍ය ඉල්ලීම් ලබා දෙනතුරු මෙම වැඩ වර්ජනය අත්හැර යෑමට සූදානම් නැති බව ද රටේ ජනතාවට අප ප්‍රකාශ කරනවා. එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය. 


පවතින ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුමක් ලබාදීමට නම් සේවයට වාර්තාකොට විශ්වවිද්‍යාල කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ප්‍රකාශ කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා ඉල්ලා සිටි නමුත් අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ කමිටුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 


අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු සඳහා මේ දක්වා වූ මැදිහත්වීම් සිදුකළ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සමඟ පසුගිය දා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණි. 


උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, විශ්‍වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ඉකුත් (22) දා පැවැත් වූ සාකච්ඡාවද එකඟතාවකින් තොරව නිමා වූ බව අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 


ගෙවීම් සිදුකිරීම සම්බන්ධ ඒකාබද්ධ කමිටුවේ යෝජනාව එලෙසින්ම ඉටු කිරීමේ හැකියාව නැතත් යම් ප්‍රමාණයකින් එය ඉටුකිරීම පිළිබඳ සලකා බැලීමක් සිදුවෙතැයි අපේක්ෂා කරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයා අප සමඟ සඳහන් කළේය. 

 

 

 

 

සටහන - සමන්තිකා මාධවී