මාතර දිස්ත්‍රික් මහ රෝහලේ හෝමෝන රෝග හා 
දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ

වෛද්‍ය ශ්‍යාමින්ද කහඳව

 

දියවැඩියා රෝගයට පසුව ලොව බහුලව රෝගීන් වාර්තා වෙන හෝමෝන රෝගය වන්නේ තයිරොක්සීන් ඌනතාවයයි.   


වැඩිහිටි ජනගහනයෙන් සියයට දෙකක් පමණ මෙම රෝගයට දැනට ගොදුරු වී ඇති අතර පිරිමින්ට සාපේක්ෂව තයිරොක්සීන් හෝමෝන ඌනතාවන් කාන්තාවන්ට ඇති වන බවද හඳුනාගෙන ඇත.   


රෝගය ඇති වන ආකාරය   


අපගේ ගෙලෙහි ඉදිරි පස පිහිටා ඇති සමනළයෙකුගේ හැඩය ගත් තයිරොයිඩ් ග්‍රන්ථියේ මූලික ක්‍රියාකාරීත්වය වනුයේ සිරුරට අවශ්‍ය තයිරොක්සීන් හෝමෝනය නිපදවීමය.   


තයිරොක්සීන් හෝමෝනය සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම, සෑම ශරීර පද්ධතියක්ම සහ සෑම ශරීර ක්‍රියාවලියක්ම නියමිත වේගයකින් පවත්වා ගැනීමට ඉවහල් වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් මෙම හෝමෝනය නිපදවීම ක්‍රමානුකූලව ඇති නොවීම තයිරොක්සින් හෝමෝන ඌනතාවන් ඇති වීමට මූලිකවන හේතු යෙදේ.   


තයිරොක්සීන් හෝමෝනයේ ඌනතාවයන් ඇති වීමට බලපාන හේතූන්   

 

  • ශරීරයේ නිපදවෙන ප්‍රතිදේහ මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම   
  • අයඩින් ඌනතාව   
  • උපතේ දී තයිරෝයිඩ් ග්‍රන්ථිය නිසි පරිදි සකස් වී නොතිබීම.   
  • මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇති වී ශල්‍ය කර්මයකින් ඉවත් කර විකිරණ ප්‍රතිකාර කිරීමෙන් පසුවද එවැනි රෝගීන්ට පසු කාලීනව තයිරොක්සින් හෝමෝන ඌනතාවයන් ඇති විය හැකිය.   

 

රෝග ලක්ෂණ   

 

  • අලස බව   
  • නිදි බර ගතිය   
  • මොළයේ සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු වීම.   
  • අධික ලෙස සීතල දැනීම   
  • බාහිර හේතූන් නොමැතිව හිස කෙස් වැටීම හෝ අධික ලෙස සම වියළී යාම   
  • කෑම අරුචිය සමග ශරීරයේ බර වැඩි වීම.   
  • මල බද්ධය   
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම   
  • කටහඬ ගොරෝසු වීම   


මෙම රෝග ලක්ෂණ වලට අමතරව මද සරු භාවය (දරුවන් පමා වීම), ශරීරයට අහිතකර කො​ෙලස්ටරෝල් වැඩි වීම, මානසික රෝග, ගලගණ්ඩය වැනි රෝග ඇති අවස්ථාවේදී ද තයිරොක්සින් හෝමෝනයේ ඌනතාවයක් නිසා එවැනි තත්ත්වයකට රෝගියා පත් වූයේ ද යන්න සොයා බැලීමට තයිරොක්සින් හෝමෝන පරීක්ෂාවකට ලක් වන ලෙසට ​ෙවෙද්‍යවරු උපදෙස් දෙති.   


රෝගය නිවැරැදිව හඳුනා ගැනීම   


යම් රෝගියෙකු තයිරොක්සීන් හෝමෝන ඌනතාවයකින් පෙළෙන්නේ ද යන්න නිවැරදිව දැන ගැනීමට වෛද්‍ය උපදෙස් මත TSH, Free T4 රුධිර පර්යේෂණ කර ගත හැකිය. මෙම රුධිර පරීක්ෂාව සඳහා නිරාහාරව සිටීමට අවශ්‍ය නොවේ.   


තයිරොක්සින් හෝමෝනය මැන බැලීමට භාවිත කරන රුධිර පරීක්ෂාවන් සැලකිල්ලට ගෙන වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර නියම කෙරේ.   


ප්‍රතිකාර   


තයිරොක්සීන් ඌනතාවයෙන් පෙළෙනා බවට හඳුනා ගත් රෝගීන්ට මුඛයෙන් ලබා ගත හැකි තයිරොක්සීන් හෝමෝන පෙති ලබා දේ.   


​ෙමලෙසින් නියම කරන හෝමෝන පෙති දීර්ඝ කාලයක් ගැනීමට අවශ්‍ය වන අතර නියමිත මාත්‍රාවෙන් නියම වේලාවට ගැනීමද ඕනෑ කමින් කළ යුතුය.   


තයිරොක්සීන් හෝමෝනය නිසි පරිදි උරා ගැනීම සඳහා ආහාර මාර්ගය ආහාර පාන නොමැතිව නිදහස්ව තිබීම ඉතාම වැදගත්ය.   


එම නිසා තයිරොක්සීන් හෝමෝනය ගත යුත්තේ උදෑසන අවදි වූ විගස පිරිසිදු ජල වීදුරුවක් සමගය. ඖෂධය ගෙන ද පැය භාගයක් යන තෙක් කිසිදු ආහාරයක් හෝ පානයක් නොගත යුතු බව වෛද්‍ය නිර්දේශය වේ. තයිරොක්සීන් ඌනතාවයෙන් පෙළෙනා රෝගියෙකුට හෝමෝන ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු මාස 3-6 කට වරක් රුධිර පරීක්ෂාවට භාජනය කර තයිරොක්සීන් හෝමෝනයේ අගය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය. 

 
වැරදි මත   


තයිරොක්සීන් හෝමෝනය බාහිරෙන් ලබා ගන්නා රෝගීන්ට පසු කාලීනව අතුරු ආබාධ තත්ත්වයක් ඇති විය හැකි බවට වැරදි මතයක් තිබේ. මෙහි කිසිදු සත්‍යතාවක් නොමැත. මෙහිදී සිදු වන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ පවතින තයිරොක්සීන් හෝමෝනයේ ප්‍රමාණයට රෝගියාගේ රුධිරයේ තයිරොක්සීන් හෝමෝනයේ ප්‍රතිශතය පෙති මගින් ලබා ගැනීමය.   


ඇතැම් රෝගීන් හිතුමතේ තයිරොක්සීන් හෝමෝනය ගැනීම නතර කිරීමට පෙළෙඹේ. නමුත් ​ෙමම හෝමෝනය බාහිරෙන් ගන්නෙකු වෛද්‍ය උපදේශයකින් තොරව ප්‍රතිකාර ගැනීම නතර නොකළ යුතුය.   


ගෝවා සහ රාබු වැනි එළවළු බහුලව ගැනීම ද තයිරොක්සීන් හෝමෝන ඌනතාවයක් ඇති වීමට බලපාන බවට සමාජයේ මතයක් තිබේ. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දෙන්නේ ව්‍යාංජනයක් ලෙස සකසා ගත් ගෝවා හෝ රාබු සාමාන්‍ය ප්‍රමානයක් ආහාරයට ගැනීමෙන් හොමෝන ඌනතාවයක් ඇති නොවන බවය.

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය