මින් දෙවසරකට පෙර හරියටම අලුත් අවුරුදු දින රටම ශෝකාන්තයක් බවට පත් කරමින් මීතොටමුල්ල මහ කුණුකන්ද පොලවට පතිත වූයේ ජීවිත රැසක් බිලිගනිමිනි. බ්ලුමැන්ඩල්හි සිට මීතොටමුල්ලට මාරුවූ කොළඹ කුණු පරිසරයට මෙන්ම ජන ජීවිතයටත් අභියෝගයක් බව පරිසරවේදීන්, සමාජ විද්‍යාඥයන් මෙන්ම වෙනත් සමාජ ක්‍රියාකාරීන්ද කොතෙක් අනතුරු ඇඟවුවද දේශපාලන ක්ෂේත්‍රයෙන් ඊට ගතයුතු පියවර හරිහැටි ගනු නොලැබිණි.   


මීගොටමුල්ල කුණුකන්ද ජන සංහාරයක් බවට පත්වූයේ ඒ අනුවය. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කුණු ප්‍රශ්නයට විසඳුම ලෙස පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනය මේ වනවිට මහජන ප්‍රයෝජනයට සඳහා යෙදීමට සූදානම්ව ඇත.   


ඒ පිළිබඳව අප සමග අදහස් දැක්වූ අගනගර ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ සමාජ විශේෂඥ නිමල් ​ප්‍රේමතිලක මහතා දැක්වූ තොරතුරු මෙසේය.   
අරුවක්කාරු සනීපාරක්ෂක රඳවන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අක්කර දෙසීය පනහක ඉඩමක් තෝරාගෙන තිබෙනවා. මේ වනවිට එයින් අක්කර අසූපහක වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.   


කොළඹ කුණු අතරින් උතුරු කොළඹ ප්‍රදේශයට අයත් කුණු මේ වනවිට අරුවක්කාරුවට භාර ගැනීමට සූදානමින් සිටිනවා. දකුණු කොළඹට අයත් දෙහිවල, ගල්කිස්ස, මොරටුව, මහරගම, හෝමාගම ආදී ප්‍රදේශවල එකතු වන කුණු මේ වනවිට කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බැහැර කිරීම සිදුවෙනවා. උතුරු කොළඹ බල ප්‍ර​දේශයේ එකතු වන කුණු සහ පුත්තලම දිස්ත්‍රික්කයේ එකතුවන කුණු අරුවක්කාරුව වෙත භාර ගැනෙනවා. කැලණිය මානෙල්ගම හුවමාරු මධ්‍යස්ථානය ඔස්සේ පුත්තලම දක්වා දුම්රිය මාර්ගයෙන් ගෙන ඒමට සැලසුම් වී තිබෙනවා.

   
එකතු වන සියලු කසළ අරුවක්කාරුව වෙත ගෙන ඒමට මුලින්ම සැලසුම්කොට තිබුණත් මීතොටමුල්ල නායයෑම සමග කසළ කළමනාකරණයේ අවශ්‍යතාව බොහෝ දෙනකුට අවබෝධ වුණා. කසළ වෙන් කිරීමේ නීති සම්පාදනය අවශ්‍ය වූයේ ඒ අනුවයි. කසළ වෙන් කිරීමේදී දිරන කසළ (ඉඳුල්) ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ හා බිම් ගොඩ කිරීම සඳහා යෙදිය හැකි සනීපාරක්ෂක කසළ වශයෙන් එම කොටස් තුන හැඳින්විය හැකිය. කොළඹ ආසනයේ අප දැනට පවත්වාගෙන යන කාබනික පොහොර නිෂ්පාදනාරයක් පවත්වාගෙන යෑම හේතුවෙන් දිරාපත් වන කසළ අරුවක්කාරුව වෙත රැගෙන ඒම අවශ්‍ය වන්නේ නැහැ.   


කෙරවලපිටිය කාබනික පොහොර අංගණය මේ වනවිට මේ රටේ කුණු ප්‍රශ්නය විසඳීමේ ප්‍රමුඛ සාධකය අතරට පත්ව තිබෙනවා. ඉඩම් ගොඩ කිරීම් හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය යටතේ මේ වනවිට රටට කෙරවලපිටිය නිෂ්පාදනාගාරයෙන් දිනකට මෙට්‍රික් ටොන් තුන්සියයක් හාරසියයක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවා. එහි නිෂ්පාදනය කෙරෙන කාබනික පොහොර පෝට් සිටි (වරාය නගර) ව්‍යාපෘතියේ උද්‍යාන සැකසීම සඳහා භාවිතයට ගැනෙනවා.   


ඊට අමතරව පෞද්ගලික ආයතනයකට මේ වනවිට තම ​ෙත් වගා කිරීමේ කර්මාන්තය සඳහා කොරවලපිටිය නිෂ්පාදනාගාරයෙන් කාබනික පොහොර මිලදී ගැනීමට අනුමැතිය දී තිබෙනවා.   


නොදිරන කසළ යටතේ අරුවක්කාරුවට ගෙන්වන කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා මේ වනවිට යම් වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙනවා. මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙන්ම බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය යන ආයතන එක්ව දැනට කුඩා ප්‍රමාණයේ කොම්පෝස්ට් අංගණ කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.   


ඊට අමතරව අප අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක සම්පත් පියස මධ්‍යස්ථානය වෙත කසළ ලබාදී මුදල් ලබාගත හැකි ක්‍රමවේදයක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. දැනට අපේ රටේ ප්‍රධාන ජාතික පාසල් ආශ්‍රිත මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා. එ් අනුව දරුවන්ට තම නිවසේ එකතුවන කුණු පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, කඩදාසි, ලෝහ වර්ග, පොල්කටු වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසළ භාරදිය හැකි සම්පත් කේන්ද්‍ර නම් මධ්‍යස්ථාන ඉදිකොට ඒවාට ලබාදෙන කසළ සඳහා මිලක් නියම කිරීම මේ අනුව සිදුවෙනවා.   


මේ සඳහා පරිසරය පිළිබඳ යහපත් ආකල්පයකින් රට ගැන සිතා වැඩ කිරීමත් අවශ්‍ය වෙනවා. විශාකා විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, අශෝක විද්‍යාලය, කැලණිය ධර්මාලෝක විද්‍යාලය මේ වනවිට සම්පත් කේන්ද්‍ර ආරම්භ වී තිබෙනවා.   


එමෙන්ම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා. පළාත් පාලන ආයතන මට්ටමෙන් හඳුනා​ගත් මාලාබේ, පුත්තලම වැනි ප්‍ර​ෙද්ශවල ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කුණු ලබා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ වී තිබෙනවා. පනාගොඩ යුද හමුදා මධ්‍යස්ථානය, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය වැනි ආයතන ආශ්‍රිතවද සම්පත් කේන්ද්‍ර මේ වනවිට ආරම්භ කර තිබෙනවා.   


අඩු ආදායම්ලාභි පවුල් පදිංචි කර තිබෙන ලක්සඳ සෙවණ වැනි නිවාස සංකීර්ණ මෙන්ම වැඩි ආදායම්ලාභීන් වෙසෙන රෝයල් පාර්ක් වැනි ස්ථානවලද කසළ වෙන්කොට භාර ගන්නා සම්පත් කේන්ද්‍ර මධ්‍යස්ථාන ස්ථාපනය කොට තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ඔස්සේ කසළ කළමනාකරණය පිළිබඳව විනයක්, ආකල්පයක්, සමාජය තුළ ස්ථාපනය කිරීමටත් මුදල් ඉපයීම් මාර්ගයක් වශයෙන් ඊට ආර්ථිකමය වටිනාකමක් ලබාදීමත් ඔස්සේ කුණු කසළ ගැටලුව විසඳීමට පියවර ගැනීම මෙහිදී අපගේ අරමුණ බවට පත්වෙනවා.   
එමෙන්ම අපට ලැබෙන මිශ්‍ර කසළ අරුවක්කාරුව වෙත රැගෙන ඒමට දැනට සිදුවන අතර එසේ කිරීම සඳහා කැලණිය මානෙල්ගම හුවමාරු මධ්‍යස්ථානය ඔස්සේ කුණුවල එකතුවන ජලය ඉවත්කොට සීල් තැබූ කන්ටේනර් මාර්ගයෙන් රාත්‍රී කාලයේදී දුම්රිය ඔස්සේ අරුවක්කාරුවට ගෙන ඒමට සැලසුම් කොට තිබෙනවා.   


නමුත් ඒ සඳහා වැයවන මුදල් ප්‍රමාණය ඉතා වැඩි අගයක් ගැනෙනවා. එසේ කුණු ගෙන ඒමේදී දිවා කාලයේ දුම්රිය මාර්ගය භාවිත කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.   
අරුවක්කාරුව සනීපාරක්ෂක කසළ රඳවන ව්‍යාපෘතියේ මීළඟ අදියර ලෙස දශක කිහිපයක සිට අරුවක්කාරු ප්‍රදේශයේ සිදුවූ හිරිගල් කැනීමේ ව්‍යාපෘති හේතුවෙන් භූමියේ ඇතිවූ වළවල් සම්පූර්ණ විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ කසළ රඳවනයන් වශයෙන් භාවිත කිරීමට අප සැලසුම් කොට තිබෙනවා.   


එහි මූලික අරමුණ වන්නේ භූගත ජලය දුෂණයවීම වැළකෙන පරිදි තට්ටු කිහිපයක් යටතේ කසළ රඳවන ඉදි කිරීමයි. ඒ සඳහා අප පර්‌යේෂණ කිහිපයක්ම කර තිබෙනවා. භූගත ජලයේ සාම්පල් පිළිබඳව පරීක්ෂාකොට මුහුදු මට්ටමට සාපේක්ෂව නොවන පරිදි මීටර් තුනක් උසින් තට්ටුවක් ඉදිකොට එහි පස අතුරා තද කොට බැහැර කරන කුණු රැඳවිය හැකි වන පරිදි ශක්තිමත්ව එම පාදම ඉදිකිරීම සිදුවෙනවා. භුගත ජලයේ යම් වෙනස්කමක් ඇති වූ ජලය ඉහළට පැමිණියහොත් එම වතුර බැහැරට ගැනීම සඳහා නළ මාර්ගයක්ද සැලසුම් කොට තිබෙනවා.   


මෙම කසළ බැහැර කිරීමේදී එම නළ මාර්ග ආශ්‍රිත කළු ගල් අතුරා ආරක්ෂිත බව තහවුරු කිරීමත් රසායනික ද්‍රව්‍ය ​ෙයාදා භූගත ජලය දූෂණය වීම ආරක්ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අරුවක්කාරු කසළ අංගණය පුරා මිලිමීටර් එකයි දශම පහක ඝනකමින් යුතු ඝන ප්ලාස්ටික් තට්ටුවක් අතුරා කුණු කසළ භූගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර සකස් කර තිබෙන අතරම ඉවත යාහැකි ජලය පිරිපහදු කිරීමටත් සැලසුම් කර තිබීම නිසා පරිසර හානිය සිදු නොවන පරිදි සම්පූර්ණ ව්‍යාපෘතියම අප සැලසුම්කොට තිබෙනවා.   

 

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් වේල්ස් කුමාර විද්‍යාලයේ ක්‍රියාත්මක සම්පත් කේන්ද්‍රය කසළ එකතු කිරීම් ඒකකය.

 

 


අරුවක්කාරු සනීපාරක්ෂක කසළ අංගනය සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන එකසිය එකක් වන දේශීය මුදල් ප්‍රමාණයක් මේ සඳහා වෙන්කර තිබෙනවා. මේ සඳහා විදේශ ආධාර හෝ වෙනත් යම් ආධාර සැපයීමත් සිදුවෙන්නේ නැහැ. මෙම ව්‍යාපෘතිය යටතේ ඍජු රැකියා තුන්සියයකට වැඩි ප්‍රමාණයක් උත්පාදනය වී තිබෙනවා.   


කොම්පෝස්ට් පෝර නිෂ්පාදනය සහ ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම ඔස්සේ කසළ ගැටලුව යම් ප්‍රමාණයකින් විසඳා ගත හැකි වුවහොත් අරුවක්කාරුව වෙත යැවෙන කුණු ප්‍රමාණය සීමා වෙනවා. නිසි කළමනාකරණයකින් කසළ බැහැර කිරීම් සිදුවුවහොත් අරුවක්කාරු සනීපාරක්ෂක කසළ අංගණය මගින් අවුරුදු අසූවක් දක්වා කොළඹ කුණු ගැටලුව විසඳා දීමේ හැකියාව තිබෙනවා.   


කසළ කළමනාකරණයකින් තොරව මුදාහැරීම් සිදු වුවහොත් එම කාල සීමාව වසර හතළිහ දක්වා අඩකින් අඩුවීමේ තත්ත්වයක් උදා වේවි. ඒ හේතු මත කසළ බැහැර කිරීම් ක්‍රමවේදය නියමිත පරිදි සිදු කරන ලෙසත් පරිසර සුරක්ෂිතාතාවය පිළිබඳ සලකා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමටත් අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.   
නිමල් ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.   


කසළ කළමනාකරණය පිළිබඳ ජාතික මට්ටමේ අවධානයක් නොමැති මොහොතක ගත් මෙම පියවර වෙනුවෙන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ස්තුතිය පුදකළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, පහත් බිම් ගොඩකිරීමේ හා ඉඩම් ගොඩකිරීම් සංස්ථාව, ජනාධිපති ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය හා ජනාධිපති ලේකම් කාර්යාලය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන මීට සිය සහයෝගය දක්වා තිබේ. තාක්ෂණික දැනුම සම්පාදනයේදී දායක වූ මොරටුව විශ්වවිද්‍යාලය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව උපදේශන කාර්යාංශය හා දෝහා ඉංජිනේරු සමාගම (කොරියානු රාජ්‍යය) වැනි ආයතන සහය දක්වා තිබේ.   


විද්‍යානුකූල හා විධිමත් ක්‍රියාපිළිවෙතක් යටතේ කසළ බැහැර කිරීම සඳහා අරුවක්කාරු සනීපාරක්ෂක කසළ අංගනය උපයෝගී කර ගතහැකි බව ප්‍රේමතිලක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.  

 

 

සටහන : සමන්තිකා මාධවී