IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අල්ලස් අරන් කූඩුවට ගිය විශේෂඥ දොස්තර

කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් රසායනාගාරයක අයිතිකරුවකුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමට කොටු වී මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය.


රසායනාගාර තාක්ෂණ ශිල්පියෙක් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කොටු වී විශේෂඥ වෛද්‍යවරයා සමගම රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නේය.   


විශේෂඥ වෛද්‍යවරයෙක් අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි. කුලියාපිටිය ප්‍රදේශයේ අයෙක් වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන්නේ 2012 වසරේ සිටය. ​ෙමය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර නීත්‍යානුකූලව පවත්වාගෙන යන රසායනාගාරයකි.   


අදාළ පෞද්ගලික රසායනාගාරයේදී පරීක්ෂාවලට භාජනය වන රෝගීන්ට නිකුත් කරන වාර්තා ප්‍රතික්ෂේප නොකර පිළිගැනීම සඳහා කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් මසකට රුපියල් 25,000 බැගින් අල්ලස් ලබා ගන්නා බවට රසායනාගාර හිමියා කර තිබූ පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදු කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.   


රසායනාගාර හිමිකරු පසුගිය ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා මසකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක් විශේෂඥ වෛද්‍යවරයාට අල්ලස් වශයෙන් ලබා දී තිබෙන බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ව තිබූ බව කී චන්ද්‍රසිරි මහතා අප්‍රේල් මස සිට ජුනි මාසය දක්වා වු හිඟ මුදල වන රුපියල් 75,000ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේ රසායනාගාර හිමිකරු මේ පිළිබඳව කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි යැයි ද කීය.   


වැටලීමට නායකත්වය දුන් කොමිසමේ විමර්ශන නිලධාරියකු පැවසූ ආකාරයට සිද්ධිය මෙසේ පෙළගස්වන්නෙමු. කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රසායනාගාරයකින් වාර්තා වැඩිපුර තමා වෙත නිතිපතාම පාහේ ලැබෙන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට පෙනී ගොස් ඇත.


ඒ රසායනාගාර මගින් නිකුත් කරන වාර්තාවල සඳහන් දුරකථන අංකයට එහි අයිතිකරුට විශේෂඥ වෛද්‍යවරයා කතා කර “ඔයාගේ රසායනාගාරයෙන් මට දවසකට රිපෝට් 10-15ක් ලැබෙනවා. එ් හින්දා මට මාසෙකට ගාණක් ඕනෑ. මට මාසෙකට ගාස්තුවක් දුන්නේ නැත්නම් රෝගීන්ට නිකුත් කරන වාර්තා පිළිගන්න බැහැ...” කියා ප්‍රතික්ෂේප කරනවා යැයි පවසා තිබෙන බව කියති.   


විශේෂඥ වෛද්‍යවරයා ඔහුගේ බැංකු ගිණුම් අංකය එස්.එම්.එස්. පණිවිඩයක් මගින් රසායනාගාරයේ අයිතිකරුගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ එම ගිණුමට මුදල් එවන ලෙස පවසමිනි.  මසකට ලබා දිය යුතු නිශ්චිත මුදලක් විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටියේ නොමැති නිසා රසායනාගාර හිමිකරු මසකට රුපියල් 13,000 සහ 14,000 අතර මුදල් බැංකු ගිණුමට බැර කර ඇත.   


“ඔයා කොච්චර හම්බ කරනවාද? මගේ ළඟට එන ලෙඩ්ඩු හුඟ දෙනෙක් ඔයාගේ රිපෝට් අරගෙන එන්නේ. මට ලැබෙන සල්ලි හොඳමට මදි. තේරුණා ද?” කියා විශේෂඥ වෛද්‍යවරයා රසායනාගාර හිමිකරුට පවසා ඇතැයි කියන්නේ නොරුස්සන ගතියකිනි.   
එහෙම කියා ඇති වි​ශේෂඥ වෛද්‍යවරයා නිකම් සිටියේ නැත. රෝගීන් එකී රසායනාගාරයෙන් රැගෙන එන වාර්තා පිළිගැනීමට නොහැකි බව කියා ඒවා ප්‍රතික්ෂේප කිරීමට පටන් ගෙන තිබේ. දිගින් දිගටම මෙසේ තම රසායනාගාරයෙන් රෝගීන්ගේ ලේ, මළ සහ මුත්‍රා පරීක්ෂාකර බලා නිකුත් කරන වාර්තා දිගටම ප්‍රතික්ෂේප වීම සිදුවුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රසායනාගාරය බ්ලැක් ලිස්ට් කරන බව වටහා ගත් හිමිකරු විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලන ගාණක් ලබා දීමට තීරණය කර ඇත්තේ ඒ නිසාය.   


ඉල්ලන ගාණක් දී ෂේප් නොවුණොත් රසායනාගාරය වසා දැමීමට සිදු වන බව ඔහු හොඳින් තේරුම් ගෙන සිටියේය.   


අඩුවෙන් මුදල් ලබා දීම නිසා විශේෂඥ වෛද්‍යවරයා ඒ වනවිටත් ඔහුගේ රසායනාගාරයෙන් ලබාගෙන ගිය රෝගීන් ගණනාවකගේ වාර්තා ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ නිසා රෝගීන් එ්වා ආපසු රැගෙන ඒම නිසා ලබා ගත් මුදල් ද ආපසු රෝගීන්ට ගෙවීමට රසායනාගාරය හිමිකරුට සිදු වී ඇත.   


විශේෂඥ වෛද්‍යවරයාට මාස්පතා රුපියල් 25,000ක් ගෙවන ලෙස නියම කිරීම නිසා රසායනාගාර හිමියා නියමිත වේලාවට ඉල්ලා සිටි සල්ලි දුන්නේ එහෙම නොකළොත් වැඩේ වරදින බව හොඳාකාරවම දන්නා නිසාය. සල්ලි දෙන්න පටන් ගත් පසු ඔහුගේ රසායනාගාරයෙන් නිකුත් කරන වාර්තා ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවුණි.


එහෙත් මේ වැඩේ දිගටම කරගෙන යාමට නොහැකි නිසාත් වෛද්‍යවරයා අනුකම්පා විරහිතව මුදල් ලබා ගැනීම නිසාත් රසායනාගාර හිමිකරු තමාට මෙයින් කවදාවත් ගැලවිල්ලක් නොමැති බව දැනගෙන මේ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් පැමිණිලි කර ඇත. ඒ වනවිටත් රසායනාගාර අයිතිකරු මාස තුනක හිඟ මුදලක් වෛද්‍යවරයාට ලබා දිය යුතුව තිබිණි. එම මුදල ඉල්ලා එවා ඇති එස්.එම්. එස්. පණිවිඩ සංඛ්‍යාව බොහෝය. වෛද්‍යවරයා ඒ මුදල වහාම ලබා දෙන ලෙසත් නොදුන්නොත් වැඩේ වරදින බවත් රසායනාගාර හිමිකරුට පවසා තිබිණි යැයි කියති.   


වැටලීම සිදු කරනු ලැබුවේ එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.   


කොමිසමේ විමර්ශන නිලධාරී කණ්ඩයාමක් කුලියාපිටිය බලා පිටත්ව යන්නේ අල්ලස් ලබා ගන්නා බව පැවසෙන මේ විශේෂඥ වෛද්‍යවරයා නීතියේ රැහැනට කොටුකර ගැනීමටය.   


රසායනාගාරයේ හිමිකරු සමග ගොස් ඇත්තේ රුපියල් 75,000ක පමණ මුදලක් රැගෙන එය වෛද්‍යවරයා වෙත ලබා දීමටය. ඒ සමගම කොමිසමේ නිලධාරියෙක් ද වෙස් වලාගෙන ගියේ වි​ෙශ්ෂඥ වෛද්‍යවරයා අල්ලස් මුදල් ලබා ගනිද්දී අල්ලා ගැනීමේ අදහසිනි.  
 “තවත් කෙනෙක් එක්ක ආපු නිසා මට ඔය මුදල දැන් ගන්න බැහැ. ඔය ඇවිත් ඉන්නේ බ්‍රයිබරි එකේ කෙනෙක් ද එහෙමත් නැත්නම් සී.අයි.ඩී. එකේ කෙනෙක් ද කියන්න දන්නේ නැතැයි” කියා වෛද්‍යවරයා මුදල් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ නිසා එදා විශේෂඥ වෛද්‍යවරයා අල්ලස් දැලට කොටු කර ගැනීමට නොහැකි විණි.   


වෛද්‍යවරයා පසුව රසායනාගාර හිමිකරුට කතා කර පෞද්ගලික රෝහලක රසායනාගාර තාක්ෂණ ශිල්පියෙකුගේ නමක් කියා ඔහුට රුපියල් 75,000 මුදල ලබා දෙන ලෙස දුරකථනයෙන් කතා කර පවසා ඇත. රසායනාගාර තාක්ෂණ ශිල්පියා හමුවීමට ගොස් අදාළ මුදල ලබා දී ඇති අතර ඔහු එම මුදල ලබා ගනිද්දීම අත්අඩංගුවට ගෙන පසුව රෝහලට ගොස් විශේෂඥ වෛද්‍යවරයා ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයා කීය. 


වෛද්‍ය වෘත්තිය උතුම්කොට සලකා මනුෂ්‍යත්වයේ නාමයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් ද බහුතරයක් සිටින බව අප කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.  


වෙන්නප්පුවේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ගැනීමට ආ රෝගියෙකු හදිසියේ බලවත් ලෙස රෝගාතුර වූ පසු විශේෂඥ වෛද්‍යවරයා අනෙකුත් රෝගීන් බැලීම පසෙකලා රෝගියා ඒ මොහොතේම මාරවිල රෝහලට රැගෙන ගොස් තිබුණේ විශේෂඥ වෛද්‍යවරයාට අයත් කාර් රථයේය.   


ගිලන් රථය නොමැති වූ විට ගැබිනි මව්වරුන් තමන්ගේම කාර් රථයෙන් පහසුකම් ඇති වෙනත් රෝහල්වලට රැගෙන ගොස් මවගේත් දරුවාගේත් ජීවිත බේරා ගත් උතුම් වෛද්‍යවරුන් ගැන ද අපට පසුගිය කාලයේ අසන්නට ලැබිණි.   


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (10) දිනය දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණි. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වලගේ සහ රසායනාගාර තාක්ෂණ නිලධාරියෙකු වූ ජෝන් පියදාසන් නිරෝෂන් යන අයයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

අල්ලස් අරන් කූඩුවට ගිය විශේෂඥ දොස්තර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21946 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18110 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10841 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 535 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 164 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 824 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site