කිසියම් ශාකයක් ස්වභාවිකව පැතිර පවත්නා බල ප්‍රදේශයෙන් බැහැරව වෙනත් රටකට හෝ ප්‍රදේශයක සංක්‍රමණය වී වේගයෙන්, පැතිර යා හැක. ඒ නිසාම එම ප්‍රදේශයේ ජෛව විවිධත්වයට දැඩි හානියක් පැමිණීමට ද හැක. ඒ නිසාම ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කිරීමට ද හැක. එවැනි ශාක ආක්‍රමණික ශාක ලෙස හැඳින්වෙයි. මෙලෙස ආක්‍රමණික ශාක බවට බොහෝ විට පත්වෙන්නේ විදෙස්වලින් පැමිණෙන ශාකය.   


වෙනත් ප්‍රදේශයක සිට අලුත් ශාකයක් පැමිණීම මිනිසා මගින් සහ මිනිසා නොදැනුම්වත්වම ද සිදු විය හැක.   


1905 දී ජපන් ජබර (Eichhornia rassipes) මෙරටට ගෙන්වන ලද්දේ ජල තටාක අලංකාරණ ශාකයක් වශයෙනි. 1939 දී සැල්විනියා (Saluin Molesta) මෙරටට ගෙන්වන ලද්දේ විද්‍යාත්මක පර් යේෂණයන් සඳහාය. ඒ මිනිසා දැනුම්වත්ව මෙරටට ගෙන්වා දැනට ආක්‍රමණික ශාක බවට පත් වූ ශාකයන්ට උදාහරණය.   


ඉන්දියානු සාමසාධක හමුදාව උතුරට පැමිණීමේදී ඔවුන් ගෙනා ආ එළුවන්​ෙග් මලපහවල තිබූ ශාක බීජවලින් ව්‍යාප්ත වූ පාතේනියම් ශාකය (Parthenium hysterophorus) මිනිසා නොදැනුම්වත්ව මෙරටට පැමිණ ආක්‍රමණික තත්ත්වයට පත් වූ ශාකයකට උදාහරණය.   


ආක්‍රමණික ශාකවලට ඉක්මනින් තම වර්ගයා බෝ කිරීමේ හැකියාව මෙන්ම අහිතකර පරිසර තත්ත්වවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති නිසා ඒවායෙහි ව්‍යාප්තිය පාලනය කිරීම අපහසුය.   


අාක්‍රමනික ශාක රටක ​ජෛව විවිධත්වයට දැඩි හානිදායක අන්දමින් බලපායි. ලෝකයේ ජෛව විවිධත්වය අඩු වීමට බලපාන ප්‍රධාන සාධකය ලෙස සලකන්නේ ආක්‍රමණික ශාකය.   


අාක්‍රමණික ශාක ලංකාවේ ජල පරිසර පද්ධතියට ඇති කර තිබෙන සහ ඇති වෙන්නට ඇති තර්ජනය විශාලය. මේ නිසා පරිසර අමාත්‍යාංශයේ මූල්‍ය ආධාර මත වයඹ විශ්වවිද්‍යාලයේ උද්‍යාන විද්‍යා අංශ​ෙය් ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය කපිල යකන්දාවල මහතා විසින් දේශීය ජල තටාකවල ඇති ආක්‍රමණික තත්ත්වයට පත්විය හැකි ශාක පිළිබඳව ගවේෂණයක් කරන ලදී. මෙම ගවේෂණයේදී එම විශ්වවිද්‍යාලයේ උද්‍යාන විද්‍යා අංශයේ දිනුෂ දෙබරවත්ත ඔහුට සහාය වී ඇත.   


ආචාර්ය අමිල යකන්දාවල පවසන ලෙස ආක්‍රමණික ජලජ ශාක ව්‍යාප්ත වීම නිසා වාරිමාර්ග, වැව් අමුණු අවහිර වීම නිසා කෘෂි කර්මාන්තයට තර්ජනයක් වෙයි. එසේම ආක්‍රමණික ජලජ ශාක ව්‍යාප්ත වීම නිසා ජලාශවල ජලය බීමට, නෑමට, බෝට්ටු පැදීම වැනි විනෝද කටයුතු සඳහා ජලාශවල ජලය ප්‍රයෝජනයට ගත නොහැකි වීම සිදු වෙයි.   
හෙතෙම පවසන්නේ ආක්‍රමණික ජලජ ශාක මුලින්ම හඳුනා ගත​ෙහාත් ඒවායේ ව්‍යාප්තිය පාලනය කිරීම පහසු බවය. අවුරුදු ගණනාවක් ගියහොත්, ඒවා විශාල ප්‍රදේශයක පැතිර යෑම නිසා ඒවා වඳ කිරීම අපහසු වෙයි. එසේම ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට ද සිදු වෙයි. සමහර විටක එවැනි ආක්‍රමණික ජලජ ශාක බොහෝ සේ පැතිර ගියහොත් ඒවා පානය කිරීම ද අසීරු වෙයි.   

 

 


සැල්වීනියා සහ ජපන් ජබර යන ආක්‍රමණික ජලජ ශාක පත්ව ඇත්තේ දැන් එවැනි තත්ත්වයකටය. ඒ නිසා ප්‍රතිඵලාදායී කටයුත්ත වන්නේ ආක්‍රමණශීලී වීමට විභවයක් ඇති ජලජ ශාක හඳුනාගෙන ඒවා පාලනය කිරීමය.   


අද වන විට ශ්‍රී ලාංකිකයන් අතර භූමි අලංකරණය සහ විසිතුරු මසුන් ඇති කිරීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇත. මේ නිසා සමහර ව්‍යාපාරිකයෝ විදේශීය ශාක ශ්‍රී ලංකාවට ගෙනැවිත් විවෘත වෙළෙඳ පොළේ අලෙවි කරති. තවත් සමහර ශාකවලට විදේශ වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් ඇති නිසා ඒවා ප්‍රචාරණය කර නැවත පිටරට යවනු ලැබේ. මෙරටට ගෙන්වන එවැනි ශාක පාලනය කරන ස්ථානවලින් නිදහස් වී බාහිර පරිසරයට එකතු වී ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. වසර ගණනාවකදී මේවා ආක්‍රමණශීලී තත්ත්වයට පත් විය හැක.   


නමුත් විදේශයකින් පැමිණි හැම ශාකයක්ම ආක්‍රමණශීලී වන්නේ නැත. දැනට අපේ රටේ ඇති තේ, රබර්, එමෙන්ම කැරට්, ගෝවා වැනි එළවළු, උද්‍යාන අලංකරණයේදී භාවිත වන මැයි, මාර, සීනියාස් විදේශයකින් මෙරටට පැමිණියත් ආක්‍රමණශීලී තත්ත්වයට පත්ව නැත.   


ශ්‍රී ලංකාවේ ජල තටාකවලට විදේශීය ජලජ ශාක හඳුන්වා දීමේ ප්‍රධාන කාර්ය ඉටු කරන්නේ විසිතුරු ජලජ පැළෑටි කර්මාන්තය විසිනි. ආචාර්ය යකන්දාවල මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ ජල තටාකවල හාර සියයකට ආසන්න දේශීය ජලජ ප්‍රජාවක් ඇති බවය. ඕලු (Nymphaea Pubescens) නෙළුම් (Nelumbo Nucifray) නිල් මානෙල් (Nulumbo Nucifra) කොක් මොට (Eriocaulonsp) කෙකටිය (Aponogeton) කෙටල (Lagenan Drasp) ආදි වශයෙන් අපේ දේශීය ජලජ ශාක බොහොමයකි.   


අපගේ දේශීය ජලජ ශාකවල විශේෂත්වය වන්නේ ඒවාහි වසර පුරාම මල් විකසිතව පැවතීමය. එවැනි අති සුවිශේෂ ජලජ ශාක ප්‍රජාවක් අපට හිමි වුවද, විදේශ ජලජ ශාක ද අපේ රටේ පැළපදියම් වී ඇත. විදේශීය වෙළෙඳ පොළේ ඉල්ලුම ඇත්තේ විදේශීය ජලජ ශාක ප්‍රජාවන්ට නිසා එම විදේශීය ජලජ ශාක මෙහි ගෙනැවිත් ඒවා වර්ධනය සහ ව්‍යාප්ත කර අපනයනය කිරීම එයට එක් හේතුවක් වෙයි.   


ජාතික ජල ජීවි සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන අනුව වර්ග 180 ක් විසිතුරු ජල ජීවී ශාක ලෙස වර්ග කර ඇත. එලෙස විසිතුරු ජල ජීවී ශාක ලෙස වර්ග කර ඇති 180 න් 123 ක්ම විදේශීය ජල ජීවී ශාකය.   


මෙලෙස මෙරටට ගෙන්වන ලද ජලජ ශාක, පාලනය කරන ස්ථාන වලින් නිදහස් වී බාහිර පරිසරයට එකතු වී ශීඝ්‍රයෙන් බෝවෙයි. වසර කීපයක් යන විට මේවා ආක්‍රමණශීලී තත්ත්වයට පත් විය හැක.   

 

 


අාක්‍රමණශීලී වීමට විභවයක් ඇති ජලජ ශාක කලින් හඳුනා ගැනීම වැදගත්ය. ආචාර්ය කපිල යකන්දාවල මහතා ආක්‍රමණික වීමට විභවයක් ඇති ජලජ ශාක පිළිබඳව සිදු කරන ලද ගවේෂණයකදී හඳුනා ගත් ප්‍රධාන ජලජ ශාකය හයිඩ්‍රිල්ලාය. විදේශ වලින් මෙරටට ගෙනැවිත් බෝකර නැවත පිටරට යැවීම සඳහා ගෙන් වූ හයිඩ්‍රිල්ලා, දේශීය වෙළෙඳ පොළෙහි විසිතුරු මසුන් ඇති කරන ස්ථානයන්හිද අලෙවි කිරීම සිදු විය. මෙම හයිඩ්‍රිල්ලා ගම්පහ දිස්ත්‍රික්කයේ ජල පරිසර පද්ධතීන්හි ව්‍යාප්ත වෙමින් යාබද දිස්ත්‍රික් කරා ව්‍යාප්ත වෙයි. මෙම හයිඩ්‍රිල්ලා ශාකය, සෙන්ටි මීටර් දෙකේ කෑලි වශයෙනි. අලුත් ශාක බිහි වීම මෙහි ව්‍යාප්තියෙහි තර්ජනය පෙන්නුම් කරයි. මේ නිසා හයිඩ්‍රිල්ලා මර්දනය කිරීම සඳහා යාන්ත්‍රික ක්‍රම උපයෝගී කර ගැනීම ප්‍රායෝගික නැත. රසායන ද්‍රව්‍ය හෝ ජෛව විද්‍යාත්මක ක්‍රම උප​යෝගී කර ගැනීම හයිඩ්‍රිල්ලා පාලනයෙහි හොඳම ක්‍රම වෙයි.   


දකුණු ඇමෙරිකාවේ නිජ බිම කර ගත් Star Plant භූමි අලංකරණ ජලජ ශාකයක් ලෙස ලංකාවට පැමිණි එකකි. ​පොළොවෙහි තැනූ කුඩා පොකුණුවල මෙන්ම කුඩා භාජනවල තැනූ පොකුණු වැනි ආකෘති තුළින් මෙම ජලජ ශාකය වගා කෙරේ. මෙම Star Plant ශාක​ෙයහි, ශාක පත්‍ර​ෙයහි යටි පැත්ත රක්ත වර්ණයෙන් යුක්ත වන අතර, පත්‍ර​ෙයහි උඩ පැත්ත දීප්තිමත් හරිත වර්ණයක් ගනී.   


ශාක පත්‍ර ජලය මතු පිට පාවෙන අතර, කහ පැහැති වර්ණවත් මල් ජල මතුට පිට පුරා විකසිතව පවතී. Star Plant ආක්‍රමණශීලී වීමට විභයක් ඇති ජලජ ශාකයකි.   
Echinodorus විදේශයකින් මෙරටට ආනයනය කර ආක්‍රමණශීලී වීමේ විභගයක් ඇති ජලජ ශාකය ලෙස ආචාර්ය කපිල යකන්දාවල හඳුනාගෙන ඇත. මෙහි පත්‍ර මෙන්ම මල් ද ඉතාමත් අලංකාර වන අතර මුල් වලින් මෙන්ම දඬු කැබැලිවලින්ද ශාකය ව්‍යාප්ත වෙයි.   

 

 

පීටර් කැනියුට් පෙරේරා