(ආනන්ද ඉ ජයකොඩි)

අධික ලෙස මත්පැන් පානය කොට  ග්‍රාම සේවා කාර්යාලයක් පවත්වා ගෙන යන නිවසකට පැමිණ එහි සිටි  එක් දරු මවකට පහර දී ග්‍රාම නිලධාරිනියකගේ ජංගම දුරකථනයක්ද පොලොවේ ගසා කුඩු කර අවසානයේ අත්තනගල්ල පොලීසියට කඩා වැදී එහි ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී  ඔහු මාරු කර යවන බවට  තර්ජනය  කළ බව කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු  ඊයේ (25) පස්වරුවේ  අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය පවසයි.

ඌරාපොල ප්‍රදේශයේ පදිංචි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු එසේ අත් අඩංගුවට ගෙන ඇත.

මොහුගේ නිවසට පසුගිය 09 වනදා රාත්‍රී කිසියම් පිරිසක් ගල් ගසා අලාභහානි කළ කර ඇති බවට දින කිහිපයකට පසුව කරන ලද පැමිණිල්ලකට අනුව අත්තනගල්ල පොලීසිය විසින් තරුණ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඊයේ (25) පස්වරුවේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරිනු ලැබීය.

එම සැකකරුවන් ඇප මත මුදා හැරීමෙන් පසුව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා අධික ලෙස මත්පැන් පානය කොට තරුණ සැකකරුවන් හට ඇප දීමට උසාවියට ගිය පුද්ගලයෙකු ගේ නිවසට ගොස් ඇති බවත් එම නිවසේ කාමරයක 366 ඌරාපොල ග්‍රාම නිලධාරී කාර්යාලය පවත්වා ගෙන යන බවත් ඒ අවස්ථාවේ එහි සිටි ග්‍රාම නිලධාරිනියගේ ජංගම දුරකථනය ද උදුරා පොලොවේ ගසා නිවෙස් හිමියා ගේ තරුණ බිරිඳටද පුටුවකින් ගසා මරණ පරීක්ෂණය කොට පැන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ සිද්ධියෙන් පසුව පහර කෑමට ගොදුරු වූ කාන්තාව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාට එරෙහිව  පැමිණිල්ලක් කිරීමට අත්තනගල්ල පොලීසියට ගොස් සිටියදී බීමත්ව සිටි මොහු පොලීසියට ද කඩා වැදී ඔහුගේ නිවසට ගල් ගැසූ පුද්ගලයින්ට ඇප දුන්නා නේද යැයි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාටද ඉතාමත්ම අසභ්‍ය ලෙස පරුෂ වචනයෙන් බැන වැදී වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහුව මාර යවන   බවට තර්ජනය කර ඇති බවද කියති.

මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතා මෙසේ කියා සිටියේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා අධික ලෙස මත්පැන් පානය කොට පැමිණිල්ලක් කිරීමට පොලීසියට පැමිණ සිටි කාන්තාවට පරුෂ වචන යෙන් බැන වදිමින් සිටියදී තමා පොලිස් ස්ථානයට පැමිණි බවත් ඒ අවස්ථාවේ සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා ඇයට අනතුරක් කරාවි යැයි සිතා ඇය තමාගේ කාර්යාලයට ගත්තා.

මේ අවස්ථාවේ බීමත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා තමාගේ කාර්යාලයට ද කඩා වැදී ඉතාමත්ම පහත් ලෙස තමාටද පරුෂ වචනයෙන් බැන වැදී ඔහුගේ නිවසට ගල් ගැසූ පුද්ගලයින්ට ඇප දුන්නා නේද වැඩිකල් පොලීසියේ ඉන්න දෙන්නේ නෑ  මාරු කරනවා යැයි තහර්ජනය කළ බවත් දැඩි පරිශ්‍රමයක් දරා බීමත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත් අඩංගුවට ගත් බවද  පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

බීමත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයාගේ ප්‍රහාරයට ගොදුරු වී ඇති බව කියන කාන්තාව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ