( තිළිණි ද සිල්වා )
සංචාරක හෝටල්, අවන්හල් සහ වාසස්ථානවලින් පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමට සහ විදුලි බිල්පත් සහනය තවදුරටත් ලබාදීම සදහා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පළාත් පාලන ආයතන බදු මුදල් සංශෝධන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා සමග ඒකාබද්ධව ඉදිරිපත් කරන බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටලයක්, ආපනශාලාවක් හෝ නවාතැන්පොළකින් පූර්ව වර්ශයේ සම්පූර්ණ පිරිවැටුමෙන් සියයට 1ක උපරිමයකට යටත්ව බලපත්‍ර ගාස්තුවක් අයකිරිමට පළාත් පාලන ආයතනවලට බලය පැවරී තිබේ.
මේ නිසා වාර්ෂිකව සිය ආදායමෙන් සැලකිය යුතු මුදලක් පළාත් පාලන ආයතනවලට ගෙවීමට එම ආයතනවලට සිදුවී ඇත.
මීට අමතරව අදාළ ආයතන මගින් අනෙකුත් බදු හා කසළ එකතු කිරීමේ බදු මුදල් ද පළාත් පාලන ආයතනවලට ගෙවනු ලබන අතර මේ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එම බදු මුදල සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.
මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මගින් සංචාරක හෝටල්, ආපනශාලා, වාසස්ථාන වෙත ලබා දි ඇති විදුලිබිල්පත් සහනය තවදුරටත් දීර්ඝ කිරිම සම්බන්ධයෙන් ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 දින දක්වා ලබා දී තිබු විදුලි බිල් සහනය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමටත්, වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවල දී හෝටල් කර්මාන්තයේ විදුලි ඒකකයක මිල අනෙකුත් කර්මාන්ත හා සමාන වන පරිදි සැකසීමටත් යෝජනා කර තිබේ.
ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, ආපනශාලා හා වාසස්ථාන සදහා 2020 මාර්තු මාසයේ සිට 2021 දෙසැම්බර් මස 31 වන දින දක්වා දැනට ගෙවීම් කර නොමැති සියලු හිඟ සමුච්චිත විදුලි බිල්පත් ලබන වසරේ 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 36 කින් ගෙවිමේ සහනය ලබාදිමට යෝජනා කරන අතර එම කාලය අවසන් වනතුරු විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ කැබිනට් පත්‍රිකා දෙක ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවය.
COMMENTS
ඔය ටැක්ස් එකෙන් වැඩක් නැහැ. විදේශ ශ්‍රමිකයාට ලබාදුන් රුපියල් 10 ඩොලර් සහනය හෝටල් හිමියාටත් ලබාදෙන්න.
ප්‍රාදේශීය සභාවට ගෙවන ටැක්ස් එක කැපුවාම කොහොමද අපද්‍රව්‍ය කළමනාකරණය වැනි සේවා සපයන්නේ..? අපේ ක්‍රෙඩිට් කාඩ් මැෂින් එකට සහ ගිණුමට වැටෙන ඩොලර්වලට... වෙළඳපලේ දැනට තිබෙන නියම මිල ගෙවන්න. නැතිනම් අපට ලැබෙන ඩොලර්වලින් කොටසක් හෝ පිටරට ගිණුම්වලට හරවලා යවනවා. එහෙම නැතිනම් undiyal ක්‍රමයට ගෙන්න ගන්නවා..
කෙරුවාවල් කෙසේවෙතත් කයිවාරුව නම් තියෙනවා...