(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව බන්ධනාකාරය තුළදී බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකු මිය ගොස් ඇත්තේ හිස්වලට සහ පපු ප්‍රදේශවලට මොට ආයුදවලින් පහර දීම නිසා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි ලෙස හානි සිදුවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද පැවැසීය.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් වන ඩබ් .ඒ. එස්.ආර්. වික්‍රමාරච්චි(මීගමුව දිස්ත්‍රික් මහ රෝහල), රමේශ් අලගියවන්න(කො.ළඹ) එන්.එස්.පී. විජයරත්න(කොළඹ නැගෙනහිර මුල්ලේරියාව රෝහල), ආර්.එෆ්. රාජපක්ෂ (වතුපිටිවල මහ රෝහල) සහ ඩී .ඩී. ප්‍රසන්න අප්පුහාමි (පුත්තලම රෝහල) යන මහත්වරුන් විසිනි.

මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සිරුරු ඔවුන්ගේ පවුලේ අය විසින් හඳුනාගැනීමෙන් අනතුරුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්විණි.

දරුණු සහ අමානුෂික පහරදීම්වලට ලක්ව මියගොස් ඇත්තේ ජේලර් එස් එච්.එස් චන්ද්‍ර කුමාර,ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නියාමක ඩී. ඩබ්ලිව් . පුෂ්පකුමාර,බන්ධනාගාර නියාමකවරුන් වන එස්.ඩී.එස් අබේවර්ධන, ඒ.ඩී. තරංග , ටී.එම්.ආර්. තිලකසිරි , බී.එන්. තරංග සහ ආර්.පී.ආර්. සංජීව යන හත් දෙනාය.

මීගමුව බන්ධනාගාරයේදී බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදාා මියගිය බන්ධනාගාර නියාමක ජී. උපාලි මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය