(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කර්මාන්ත හා වාණිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය ලබන 19  වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද ( 12) තීන්දු කළේය.
 
මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් යුතු  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (12) කැඳවූ අතර එහිදී පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය එදිනට කල් තැබිණි.
 
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නමදෙනෙක් නම් කරනු ලැබ සිටිති.
 
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එළිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.
මෙම පෙත්සම් විභාගය අවසන් කොට එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබියදී ඉකුත් වසරේ අගෝසතු මාසයේදී එම නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමට විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකැමැති බව අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතා වෙත දැනුම් දුන්නේය. ඉන්පසුව මෙම නඩුව  යළි මුල සිටම වෙනත් විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා තීන්දු කළේය.
 
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.
 
ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කොට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ .
 
මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝනය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප‍්‍රදේශයක් යැයි ද පෙත්සම්කරු කියා සිටී.
 
පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරීම්, නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාල නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
 
පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.