(ඩයනා උදයංගනී සහ ප්‍රියන්ත  ජයලත්) 

 

වත්මන් සමාජයේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුම වන්නේ මිනිස්සුන්ට  පොත් කියවන්නට හුරු කිරීම යැයි විශ්ව  විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන්  සභාවේ  සභාපති මහාචාර්ය  සම්පත්  අමරතුංග  මහතා  පැවසීය.


පොත්  කියවන  කිසිවෙක් වැරදි  ක්‍රියාවලට  යොමු වන්නේ නැතැයි ද මහාචාර්යවරයා සඳහන් කළේය.


මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  මෙසේ  පැවසුවේ  කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (12)  පැවති ‘2020  ස්වර්ණ පුස්තක  සම්මාන  උළෙලේ’ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.  


එහිදී  අදහස්  දැක්වූ  මහාචාර්ය  සම්පත්  අමරතුංග  මහතා මෙසේ ද සඳහන් කළේය.


“සාහිත්‍ය  කියන්නේ  රටක ජාතියක වස්තුව. අපේ  රටේ වස්තුව  මනින්න  වෙන්නෙ අපේ  සාහිත්‍ය  නිර්මාණ  වලින්. අපි ජිවත් වෙන්නෙ  සාහිත්‍යයත් එක්ක.  සමාජයේ  සෑම අවස්ථාවකම  සාහිත්‍ය  ලංකර  ගත්තොත් අපිට  ලොකු  ගමනක්  යන්න  පුළුවන්. අපේ රටේ  පුංචි  දරුවන්ගෙන් තරුණයින්ගෙන්  විශ්ව  විද්‍යාල  දරුවන්ගෙන්  සාහිත්‍ය ඈත්වෙලා යනවා. පොතට පතට  නැඹුරු  වෙච්ච  කෙනෙක්  නිර්මාණයක්  රස  විදින්න පුළුවන් කෙනෙක් බිහි  වෙනවා නම් ඒ රටට ලොකු  වටිනාකමක්  එකතු  වෙනවා.     


අද  පුංචි  දරුවන්ට  පොත්  කියවන්න  අම්මල  තාත්තල  ඉඩ  තියල  නැහැ.  ඒ  හේතුව නිසා  විශ්ව  විද්‍යාලවල  ඉන්න  දරුවන්  බොහෝ  දෙනෙකුට මානසික  ගැටළු  අනන්තයි අප්‍රමාණයි. අපි  පුංචි  කාලේ  අපේ  කාලසටහනේ පුස්තකාලය  කියන  පරිච්ඡේදයක් තිබුණා.  අපි  ඒ  වෙලාවට කරන්නේ පොත්  කියවන  එක. ඒ  ඇති  කරගත්ත  පුරුද්ද  මැරෙන කම්ම  අරගෙන  යන්න  පුළුවන්. මේ  දවස්වල  පත්තරවල  පිරිල  තියෙන්නෙ මත්ද්‍රව්‍ය අල්ලපු  වාර්තා. එකෙන්  තේරෙන්නෙ  ඒ  කවුරුවත්  පොත්  කියවන්න  පුරුදුවෙලා  නැහැ කියන එකයි. පොත්  කියවන  කවුරුවත්  වැරදි ක්‍රියාවලට යොමු  වෙන්නෙ  නැහැ. අපේ  රට  සාහිත්‍ය  පෝෂණය  වෙච්ච රටක්  හැටියට  අපි  පොත්  කියවීම  ගැන  මීට  වඩා  ගැඹුරින්  සිතිය යුතුයි. අපේ රටේ දරුවන්  සාහිත්‍යට  නැඹුරු  කරන්න  පෙර  පාසල, පාසල, නිවස  බොහොම  වැදගත්. අපිට එතනට යන්න  පුලුවන්නම්  රටේ  තියන බොහොම භයානක  ප්‍රශ්න  නැතිකරන්න  පුළුවන්.