(මනෝජ් හර්ෂික)

දේශීය ඉංජිනේරුවන් අතින් නිර්මාණය වූ රාවණ - 1 චන්ද්‍රිකාව සාර්ථකව ඡායාරූප හා තොරතුරු ලබා ගැනීමේ කාර්යයෙහි නියැලෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය සඳහන් කරයි.

මෙම රාවණ - 1 චන්ද්‍රිකාව පසුගිය (17) ප.ව. 3.45ට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට  පෘථිවියට 400km ක් දුරින් පිහිටි කක්ෂයක් වෙත සාර්ථකව මුදා හැරි අතර මෙම චන්ද්‍රිකාව ආතර් සී ක්ලාක් ආයතනයේ පිහිටි චන්ද්‍රිකා ග්‍රාහක මධ්‍යස්ථානයේ සිට නිරීක්ෂණය කරමින්, පර්යේෂණ දත්ත සාර්ථකව ලබා ගනිමින් පවතී.

මෙම චන්ද්‍රිකාව පෘථිවියට 400 km ඉහළ අහසේ තත්ත්පරයට කිලෝමීටරයක 7.6 ක  වේගයකින් පෘථිවිය වටා ගමන් කරමින් දිනකට භ්‍රමණ 15 කට ආසන්න වට ප්‍රමාණයක් සම්පුර්ණ කරන අතර ලංකාවට ඉහළින් සාමාන්‍යයෙන් දිනකට දෙවතාවක් හෝ තුන්වතාවක් පමණ ගමන් කරයි.

මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ පවතින චන්ද්‍රිකා දත්ත ලබාගැනීමේ මධ්‍යස්ථානයේ සිට රාවණ - 1,  නෙපාලිසැට් - 1 හා ජපානයේ උගුසුයන චන්ද්‍රිකා තුනෙහිම පාලන කටයුතු සිදු කෙරෙමින් ඒවා මගින් නිකුත්කරන දත්ත ප්‍රතිග්‍රහණය කරමින් පවතී.

ඒ අනුව මේවන පෘථිවිය මතුපිට ඡායාරූප ගැනීම, පෘථිවියේ සිට 400 km ක් ඉහළින් වූ භ්‍රමණ කක්ෂයෙහි චුම්භක ක්ෂේත්‍රය මැන බැලීම, චන්ද්‍රිකාවක අහඹු චලිත පාලනය සඳහා පාලන පද්ධතියක් නිර්මාණය කිරීම (ADCS Attitude Determination& control system) හා ලෝරා මොඩියුල භාවිතයෙන් සිදුවන දත්ත හුවමාරුව ආදිය පිළිබද අධ්‍යයනය කිරීම මෙහිදී සිදුවන වැදගත් පර්යේෂණ අතර වේ.

මීට අමතරව මෙහි ලබාගන්නා දත්ත මගින් පුරෝකථන සිදු කිරීම සඳහාත්,  පර්යේෂණ පත්‍රිකා සකස් කිරීම සඳහාත්,  දත්ත නිකුත් කිරීමට ද මේ මඟින් අවස්ථාව සැලසී තිබේ.

තවද ශ්‍රී ලංකාවට ඉහළින් ඡායාරූපගත කිරීම මේවන විට ඉතාමත් සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර එමගින් ශ්‍රී ලංකාවට 400 km ක් ඉහළින් ලබාගත් ප්‍රථම ඡායාරූප ඉතාමත් සාර්ථක ඡායාරූප දෙකක් බව සදහන් කළ හැකි බවත් මෙමඟින් ශ්‍රී ලංකාව වැනි රටක මූලික ප්‍රාමාණික දත්ත රැසක් ලබා ගැනීමට හැකියාව පවතින බවද ආතර් සී.ක්ලාක් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව දැනට ලොව තුළ පවතින පෘථිවි ඡායාරූපකරණයටම පමණක් යොදවනු ලැබූ විශාල චන්ද්‍රිකාවන් (Remote sencing satellite-දුරස්ථ ග්‍රහණගෝචර චන්ද්‍රිකා) මගින් ලබාගන්නා ඡයාරූප හා සැසදීමේදී රාවණ -1 චන්ද්‍රිකාව මගින් ලබාගත් ඡායාරූප පිළිබඳ සතුටුවිය හැකි බවත් මෙම අත්දැකීම ශ්‍රී ලංකාවේ ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මහඟු රුකුලක් වන බවත් ආතර් සී.ක්ලාක් ආයතනයෙහි නිලධාරිහු සඳහන් කරති.

මෙම චන්ද්‍රිකාව මගින් ලබා ගත් මුල් ඡයාරූප දෙකෙහි එක් ඡායාරූපයක ලංකාවේ පහළ කොටස නිරීක්ෂණය වන අතර අනෙක් ඡායාරූපය තුළින් සාර්ථකව ශ්‍රී ලංකාවේ මුළු වපසරිය ලබා ගැනීමට හැකි වී තිබේ. තත්ත්පරයට කිලෝමීටරයක 7.6 කට වඩා වැඩි ගමන් වේගයකින් ගමන් කිරීමේදී ඡායාරූප ලබාගැනීම ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ලැබු ජයග්‍රහණයක් බව ද ඔවුහු කියති.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ පෘථිවි චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමේ මධ්‍යස්ථානයේ  කළමණාකරු ලෙස ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආර්. ඒ. ඩී. කවීන්ද්‍ර සම්පත් මහතා කටයුතු කරන අතර ජපානයේ පෘථිවි චන්ද්‍රිකා දත්ත ලබා ගැනීම් මධ්‍යස්ථානයේ රාවණ -1 චන්ද්‍රිකාව නිර්මාණයට දායක වූ ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් වන තරිදු දයාරත්න හා දුලානි චාමිකා රාවණ -1 චන්ද්‍රිකාව මගින් ලබා ගන්නා චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ විශ්ලේෂණය කිරීම සිදුකරනු ලබයි.

මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අධීක්ෂකවරුන් ලෙස ආතර් සී ක්ලාක් ආයතනයේ සන්නිවේදන අංශයෙහි අධ්‍යක්ෂ ඉංජිනේරු කවීන්ද්‍ර ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කමනි එදිරිවීර සහ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ යන මහත් මහත්මිහු කටයුතු කරති.