(ඩයනා උදයංගනී)

“සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් පිරිනැමීමට එකඟතාව පළ කර ඇති අතර ඒ සඳහා දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (16) සිදුකෙරිණි.

මෙම මාලා ගිවිසුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරුන් ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහත්වරු අතර හුවමාරු කරගනු ලැබිණි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමක් වන අතර අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එහි අපේක්ෂාව වී ඇත.

මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉඩම් හිඟය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි උත්පාදනය ද වැඩසටහනට ඇතුළත් වේ.

විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සහ විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.