IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ඉන්දීය සාගරය ලෝක බලවතුන්ගේ පොර පිටියක් - නාවික හමුදාපති

(හර්ෂණ තුෂාර සිල්වා)
 
ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව තිබෙන ඉන්දීය සාගරයේ වැදගත් තැනක පිහිටි ශ්‍රී ලංකාවට ආරක්ෂාකාරී සහ බුද්ධිමත් පියවර අනුගමනය කිරීමට සිදුව ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැසීය.
 
ඉන්දීය සාගරයේ සුවිශේෂී භූගෝලීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට සාගර කේන්ද්‍රස්ථානයක් වීමේ සහ නීල ආර්ථිකයක් අත්පත් කරගැනීමේ ගමනේදී සුවිශේෂී වාසි මෙන්ම අභියෝගවලට ද මුහුණ දීමට සිදුවන බව රණසිංහ මහතා කීවේය.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ‘ගාලු කතිකාව 2018 - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණයේ’ පිළිගැනීමේ කතාව කරමින් රණසිංහ මහතා එම කරුණු සඳහන් කළේය. 
“සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම” යන තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය පැවැත්වෙයි. 
 
එහිදි අදහස් දැක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා මෙසේ ද කීය.


“ගාලු කතිකාව ජාත්‍යන්තර සාගර සම්මන්ත්‍රණය මෙවර පැවැත්වෙන්නේ නවවැනි වරටයි. 
 
‘සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම’ යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වී තිබෙනවා. අපි නීල ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඊට අමතරව සාගර දැක්ම, සාගර පාලනය, සාගර ආශ්‍රිතව සිදුවන ත්‍රස්ත ක්‍රියා මැඬලීම, තිස් වසරක යුද්ධයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්දැකීම් බෙදා හදා ගැනීම, කලාපීය නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම කෙරෙහි ද අවධානය යොමු කරනවා.

ආරක්ෂා සබඳතා, මානුෂීය සහාය සහ ආපදා සහන, නීල ආර්ථිකය, සාගර පාලන ප්‍රදේශය පිළිබඳව ද මේ සම්මේලනයේදී අවධානය යොමු කෙරෙනවා.
 
අද වනවිට සාගර කලාපවලට විශේෂයෙන්ම ඉන්දීය සාගරයට විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඉන්දීය සාගරයේ සුවිශේෂී තැනක ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා. රජය නීල හරිත ආර්ථිකයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තුළ සාගර කේන්ද්‍රස්ථානයක් වීමේ අවස්ථාව හා හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා. 
 
භූගෝලීය පිහිටීම, සාගර කලාපය, මුහුදු මාර්ග, සාගර සන්නිවේදන මාර්ග, විවිධත්වයෙන් යුතු වරාය සහ සාගරික මධ්‍යස්ථාන, සාගර ජෛව විවිධත්වය හා සාගර සම්පත් සහ සංචාරක කර්මාන්තය නීල ආර්ථිකයට අත්‍යවශ්‍ය කරුණු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවට මේ වාසි සියල්ලම තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාව හමුවේ අභියෝග රැසක් ද තිබෙනවා.


ශ්‍රී ලංකාව මුහුණලා සිටින ඉන්දීය සාගර කලාපය, ශ්‍රී ලංකාවට අවටින් වන සාගර කලාපය ගෝලීය බලවතුන්ගේ බල පොර පිටියක් බවට පත්ව තිබෙනවා. එම අරගලය තුළ ගෝලීය දේශපාලනයේ කුඩා පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකාවට ආරක්ෂාකාරීව, පරෙස්සමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීමට සිදුව තිබෙනවා. 
 
ශ්‍රී ලංකාවට ආවේණික වූ සාගර කලාපයක් තිබෙනවා. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව කලාපයේ සාගර කේන්ද්‍රස්ථානයක් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සුවිශේෂී සහ උපායමාර්ගික භූගෝලීය පිහිටීම එහිදි ඉතා වැදගත්. එයින් ප්‍රයෝජන ගැනීමේ කාර්යභාරය අප සතුව තිබෙනවා.
 
එම පසුබිම තුළ සාගර පරිසරය සම්බන්ධයෙන් ද කතා කළ යුතුයි. ලෝකයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වී ඇත්තේ සාගරවලින්. සාගර දූෂණයෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ගොඩබිම සිදුවන ක්‍රියාකාරකම් නිසයි. සාගර දූෂණය නිසා වෙරළ තීර දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. මෙම සාගර දූෂණය නිසා සාගර කෘෂිකර්මාන්තය, සාගර ධීවර කර්මාන්තය, සාගර ජෛ විවිධත්වය දැඩි ලෙස අවදානමට ලක්ව තිබෙනවා. සාගර පරිසරය ආරක්ෂා කිරීම සාගරය කළමනාකරණය කිරීම අද නාවික හමුදාවල කාර්යභාරයක් තිබෙනවා.
 
අනාගත පරම්පරාවලට ආරක්ෂිතව හා සාමකාමීව ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වත්මන් පරම්පරාවේ වගකීමක් . එම වගකීම ඉටු කිරීමේදී සාගර උපායමාර්ගවලට ද වැඩි තැනක් හිමිව තිබෙනවා. සාගර අද වනවිට ලෝක බලවතුන්ගේ බල අරගලයේ පොර පිටියක් බවට පත්ව තිබෙනවා. මේ නිසා සාමකාමී සාගර පරිසරයක් ඇති කිරීම, නාවික කටයුතුවලදී සහයෝගීත්වයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙනවා. සාගරයේ ජීවත් නොවූවත් සාගරය අපට ඉතා වැදගත් වෙනවා. 
 
සාගර සම්පත් අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීම මෙන්ම සාගර කලාපවල සාමය පවත්වාගෙන යෑම, කලාපීය හා කලාපීය නොවන නාවික හමුදා සමඟ සහයෝගීතාව පවත්වාගෙන යෑමට අද වනවිට විශාල වැදගත්කමක් හිමි ව තිබෙනවා”.
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශනයක් ද කියැවීය. 
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ද පිළිගැන්වීය. 
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් සහ දෙස් විදෙස් ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියහ. 
 
සාගර දැක්ම, සාගර පාලනය, ඉන්දීය සාගරය සහයෝගයෙන් කළමනාකරණය කළ හැකි ද ? මානුෂීය සහාය සහ ආපදා සහන, නීල ආර්ථිකය, සාගර පාලන ප්‍රදේශය පිළිබඳ අවබෝධය යන තේමා යටතේ සැසිවාර පැවැත්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, රටවල් 52කට සහ ජාත්‍යන්තර සංවිධාන 26කට අයත් ජාත්‍යන්තර නියෝජිතයන් 146 දෙනකු ඇතුළු පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී සිටිති. 
 
‘ගාලු කතිකාව - ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය’  අදින්  (23) අවසන් වේ.



අදහස් (4)

ඉන්දීය සාගරය ලෝක බලවතුන්ගේ පොර පිටියක් - නාවික හමුදාපති

rohana Tuesday, 23 October 2018 07:25 AM

හොඳ ලිපියක් නමුත් මේ දේවල් අපිට තේරුනාට රට කෙරවූ සහ කරවන අයට තේරෙන්නේ නැහැ. අපේ රට පිහිටීම අනුව මුතු ඇටයක්ම තමයි දැන් කැලි කැලි කඩලා චීනුන්ට දුන්නට.

:       0       0

රවින් Tuesday, 23 October 2018 07:33 AM

ඉතා වැදගත් කියමනක් හමුදාපතිතුමනි... ලංකාව එහිදී කේන්ද්‍රස්ථානයක්... ඔය දෙය තේරුම් ගන්න බැරි අට පාස් නැති කොටසක් රටේ පාලකයින් ලෙස පත් කරගන්න තරම් මෙරට වැසියෝ පූර්ව කර්ම කරලා තියන එක අප සියලු දෙනාගේ අභාග්‍යයක්...

:       0       0

සාලිය Tuesday, 23 October 2018 08:34 AM

මම මේ වෙලාවේ ගාලු කතිකාවට සහභාගි වෙමින් ඉන්නේ... ඉතාම හොඳ, වැදගත් දේශන කීපයක්ම තිබුණා...

:       0       0

vipula Tuesday, 23 October 2018 10:11 AM

අපේ දේශපාලකයින් ලෝභ නැතුව වරායන් ටික දීර්ඝ අවුරුදුවලට බදුදෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1060 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site