(ඩබ්. ඒ. පියතිලක)
ජාතික උද්‍යාන සහ රක්ෂිත හරහා ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් උරගයින්, උභය ජීවීන් සහ ක්ෂීරපායීන් ඇතුළු සතුන් දිනකට 100කට අධික ප්‍රමාණයක් මිය යන බව පොළාන්නරුව කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්. ඩී. එම්. ජී. වික්‍රමසිංහ මහතා පැවසීය.
ඇතැම් සත්ව වර්ග රක්ෂිතවලින් සහ ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වඳ වීමට ලක්ව ඇති බව ද ඒ මහතා කීය.
වනජීවී කලාප අධ්‍යක්ෂකවරයා මෙසේ පවසා සිටියේ දිනක් තුළ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය තුළ නරියෙකු, කලවැද්දෙකු සහ උරුලෑවෙකු රිය අනතුරුවලට ලක්ව මියයෑම සම්බන්ධව එම රියදුරන්ට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටින්නේ ඇයිදැයි ලංකාදීපය කළ විමසුකදීය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ වනජීවි අධ්‍යෂකවරයා මෙසේ ද පැවසීය.
“උද්‍යාන තුළ හෝ පිටතදී ස්වභාවික පරිසරයේ ජීවත්වන ලොකු කුඩා ඕනෑම ජීවියෙකුගේ භාරකාරත්වය තියෙන්නේ වනජීවී දෙපාර්තමේන්තුවටයි. ඒ නිසා එම සතුන්ට හානි කරන හෝ මරණයට පත් කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න අපට අයිතියක් තියෙනවා. මේ උද්‍යාන හා රක්ෂිතවල සිටින වනසතුන් දඩයම් කරන අයව අත්අඩංගුවට ගැනීමටත් අපි නිතර නිතර මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඒ වුණත් සතුන්ට හානිවන ලෙස මේ උද්‍යාන සහ රක්ෂිත හරහා ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ට එරෙහිව නීතිමය කටයුතු කරන්න අපේ රටේ කිසිම තාක්ෂණික ක්‍රමයක් නැහැ. අලි වැනි විශාල සතෙකු රථවාහනයක හැපුණහොත් එම රථයටත් විශාල අනතුරක් වෙන නිසා ඒ අයට පැනයාමට හැකියාවක් නැහැ. නමුත් කුඩා සතෙක් රථයක ගැටී මිය යනවා. නැතිනම් එම රථයටම දමා ගෙන රැගෙන යනවා ඒ සතාගේ මස් කන්න.
මේ ජාතික උද්‍යාන හරහා ඉදිකර ඇති සියලු මාර්ග අධිවේගී මාර්ගවලට සමානව ඉදිකර තිබීම නිසා රියදුන් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම සතුන් මිය යනවා. කවුඩුල්ල, මින්නේරිය, සොමාවැතිය, වස්ගමුව, අංගම්මැඩිල්ල, මාදුරුඔය ජාතික උද්‍යානවල සහ මින්නේරිය, ගිරිතලේ , ත්‍රිකොණමඩු, හබරණ හුරුලු රක්ෂිතවල රථ වාහන අනතුරුවලින් දිනකට වනසතුන් 100කට අධික ප්‍රමාණයක් මිය යනවා. එනිසා තව වසර පහක් පමණ කාලයක් ගිය පසු අප රටට පමණක් ආවේණික සතුන් මෙන්ම වෙනත් සතුන් ද සදහටම තුරන්වීමට පවතිනවා.
උද්‍යාන සහ රක්ෂිත හරහා ගමන් කිරීමේදී අධික වේගයෙන් රිය ධාවනය නොකරන ලෙසත් අනතුරක් වී තුවාල ලබා හෝ මියගිය සතුන් පිළිබඳව වහාම එම අනතුර වු ස්ථානය දන්වා 119 දුරකතන අංකයට හෝ වනජීවී කාර්යාලයකට , ළඟම ඇති පොලිසියට කතා කරන්නැයි කාරුණිකව ඉල්ලා සිටිනවා” යැයි පොළාන්නරුව කලාප භාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්. ඩී. එම්. ජී. වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
පාරේ යන තම වර්ගයා ගැන කිසිදු සැලකිල්ලක් නැති රියැදුරන් වෙනත් සතුන් කෙරෙහි කෙසේ සැලකිල්ලක් දක්වාවිද යන්න කතාකිරීමත් විහිළුවකි.
රියදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් නෙවෙයි ඕවා වෙන්නේ මේයාලා දැනගන්න ඕන වැටවල් ගහලා, බෝඩ් ගහලා අවශ්‍ය ආකරයකට ආරක්ෂාව සපයන්න.
එම ප්‍රදේශයට පමණක් බලපාන විදියට රථවාහන වල වේගය පැයට කිලෝමීටර 40 හෝ 50 යොදන්න පුළුවන්. වෙනත් රටවල කරන්නේ එහෙම.
වනජීවී එක ඔය උද්‍යාන නරබන්න එන සංචාරකයන්ගෙන් ප්‍රකෝටි ගණනක් උපයා ගන්නවා , නිලධාරිනුත් අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා නමුත් සතුන්ට සාත්තු කරන එක ඉතා අල්පය, පායන කාලෙකට සතුන්ට වතුර ටිකවත් හරියට දෙන්නේ නැහැ , මේ ගොල්ල වාහනෙකට හැපිලා මැරෙන සතුන් ගැන කතා කරනවා නමුත් මේ ගොල්ලගෙ අනුදැනුම ඇතුව දඩයකර්යන් දිනකට සතුන් කියක් මරනවද ?
වන උද්‍යාන නරඹන්න එන සංචාරකයන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුව වසරකට ඩොලර් කෝටි ගණන් උපයා ගන්නවා.මෙම මුදලින් වන උද්‍යාන වටකර, ආරක්‍ෂිත වැටවල් ඉදිකර සත්තු ටික ආරක්ෂා කරගන්න මොවුන්ට බැරි මොකද? එතකොට වන අලි ගම්මාන වලට වැදිලා ඒවා විනාශ කරන එකත් වලකිනවා.
සතුන්ට රිංගා යා නොහැකි වැටවල් සියලු වන උද්‍යාන වටා ඉදිකිරීම ප්‍රායෝගික දෙයක් නොවේ. මෙවැනි වනගත ප්‍රදේශවල, පරීක්ෂාකාරීව වාහන පැදවීම රියදුරාගේ වගකීමක්... නමුත්, පාරේ යන අනිකුත් මිනිසුන් ගැන නොතකන රියදුරන්, සතුන් ගැන අනුකම්පාවක් දක්වාවි යයි සිතිය නොහැකිය.
එත් ඒ උනාට රියදුරු බලපත්‍රය ගන්න ගියාම හෝ අලුත් කරගන්න ගියාම තියෙන නීති මාලාව.උදේ පාන්දර දෙකේ, තුනේ ඉඳලා මිනිස්සු පෝලිම් වල ඉන්නේ පරීක්ෂණ වලට. තනි කකුලෙන් හිටගන්න කියනවා. අත උස්සගෙන තනි කකුලෙන් හිටගෙන අනික් අතින් අනික් කකුල නමාගෙන අල්ලගන්න කියනවා. මගේ අම්මෝ එච්චර නීති තිබිලත් ඔය ඉතින් බලන්නකෝ.