අනීෂා මානගේ
තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදාහැරීම සඳහා නොරොච්චෝලේ සිට ගෙනා බව කියන ගස්ලබු කිලෝ 5000ක තොගයක් සමඟ ලොරිය සීල් තබා ආපසු හරවා යැවූ බවත් තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර සිරි විජේමුණි මහතා පවසයි.
එම ගස්ලබු තොගය බෑමට සහය ලබාගත් බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් 13 දෙනකු නිරෝධායනය කිරීමට අද(7) පියවර ගත් බව ඒ මහතා කිය.
කොරෝනා වයිරසය පැතිරයාමේ අවධානමක් සහිත ප්‍රදේශයක් බවට හඳුනාගත් පුත්තලම දිස්ත්‍රීක්කයට අයත් නොරොච්චෝලේ සිට මෙම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීමට ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
එම ගස්ලබු තොගය තිස්සමහාරාම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙනැවිත් ඇති අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය.
ඒ අනුව එම ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම ගස්ලබු තොගය සම්බන්ධයෙන් විමසා ඇති අතර එම අවස්ථාවේදී ගස්ලබු තොගය ගෙනා පුද්ගලයන් පවසා ඇත්තේ මේවා සූරියවැව ප්‍රදේශයේ සිට ගෙනා බවයි.
කෙසේ වුවද මොවුන්ගේ පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පරීක්ෂා කිරීමේදී මොවුන් නොරොච්චෝලය ප්‍රදේශයේ සිට මෙම ගස්ලබු තොගය ගෙනා ඇති බවට අනාවරණය වී තිබිණ.
පොලිස් ඇඳිරි නීති බලපත්‍රය පමණක් උපයෝගී කරගෙන මොවුන් පැමිණ ඇති අතර සෞඛ්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය ඔවුන් සතුව නොතිබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලිස් ස්ථානය දැනුම්වත් කර එම ගස්ලබු තොගය යළි ලොරි රථයට පටවා සීල් තබා ලොරි රථයේ පැමිණි දෙදෙනා සමඟ ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබිණ.
COMMENTS
මේක නම් හිතා මතාම කොවිඩ් පතුරවන්න කරන කඩාකප්පල් කාරී වැඩක්.
ඇයි මේ මිනිසුන් යථාර්තය පිළිනොගන්නේ ? මේ තමා දේශපාලුවෝ රටට කල විනාශය. ඉස්සර රාජ්‍ය සේවකයෙක් යමක් පැවසුවොත් එම වචන හැමෝම පිලිගන්නවා පිළිපදිනවා. ඒවගේම රාජ්‍ය සේවකයෝත් අවංකව තම රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කළා. පැරණි ලාංකීය සිරිතක් තිබුනා කිසියම්ම බෝවන රෝගයක් හැදුනොත් ඒ ගෙදර ඉස්සරහා කොහොඹ කොළ අත්තක් හෝ අඹ කොළ එල්ලන එක . මේ සංනිවේදන ක්‍රම වේදයන් අනුගමනය කලේ තම ආසාදනය අනිකුන්හට පැතිරිවිම වැලැක්වීමට. සහජීවනය. මෙච්චර ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලත් නීතිරීති යොදලත් තම පටු අදහස් හා තාවකාලික වාසි උදෙසා මෙවැනි නොමනා ක්‍රියාවන් කරන අයවලුන්ට දිය යුතු දඬුවම ශිෂ්ඨ සමාජය විසින්ම තීරණය කලයුතු කාලය ඇවිදින්දෝ?
පුත්තලමේ ගස්ලබු වලටත් කොරෝනද?
ආහාර භෝග ප්‍රවාහනයට බාදාවක් නැත කියලා කියනවා, දැන් සීල් තබනවා ,මේ නීති රෙගුලාසි තේරුම් ගැනීමට තරමක් අපහසුය, මේ ගස්ලබු මීගමුවේ හෝ කොළඹ විකුනන්නේ නැතුව තිස්සමහාරාමේට ගෙනාවේ කුමන කාරණයක් නිසාද.?