IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හූව නවතන්න පොහොට්ටුවෙන් මෙහෙයුමක්

 

 

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ගිය සතියේ වැඩිපුර ගතකළේ කොළඹින් බැහැරවය. ඒ විවිධ පළාත්වල යොදාගෙන තිබූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි හේතුවෙනි. ගිය සති අන්තයේ ගෝඨාභය සිටියේ මාතරය. මාතර දිස්ත්‍රික්කයේ රැස්වීම් හයක් පමණ එදින යොදාගෙන තිබුණේ ආසන මට්ටමිනි. මාතර රැස්වීම්වලට දින දෙකකට කලින් පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ආසන සියල්ලේම පොහොට්ටුවේ සංවිධායකයන් මාතරට කැඳවීය. පොහොට්ටුවේ රැස්වීම්වලට සහභාගි වන ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පසුගිය කාලයේ රැස්වීම් කිහිපයකදී විරෝධය එල්ල විය. සමහරු හූ කීහ. මෙය පක්ෂ දෙකේ සමගියට දැඩි බාධාවක් බව මහින්දත් ගෝඨාභයත් පොහොට්ටුවේ අයට පැහැදිලි කර තිබිණි. ගිය සතියේ මාතර රැස්වීමට පෙර, ඩලස් පොහොට්ටු සංවිධාකයන් කැඳවා තිබුණේ ද මේ උපදේශයටය. ශ්‍රීලනිපයෙන් එන කාට හෝ කිසියම් රැස්වීමකදී විරෝධය පළකරන්නේ නම් එය තමන් දිස්ත්‍රික් නායකයා ලෙස පිළිගැනීමට තිබෙන අකමැත්ත ප්‍රකාශවීමක් ලෙස සලකන බව ඩලස් කීවේය. ඔහු කීවේ ශ්‍රීලනිපයත්, පොදු පෙරමුණත් එක්ව ගෝඨාභය රාජපක්ෂ දිනවීම ප්‍රමුඛතම කටයුත්ත බවය.  


වැලිගම, අකුරැස්ස, මොරවක, මුලටියන, කඹුරුපිටිය, දෙවුන්දර යන නගරවල ගෝඨාගේ රැස්වීම් ගිය ඉරිදා පැවැත්විණි. ඒ රැස්වීම්වලට ඩලස්, මහින්ද යාපා, ලක්ෂ්මන් යාපා, කාංචන විජේසේකර, නිරෝෂණ, මනෝජ් සිරිසේන ඇතුළු පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම සහභාගි වූහ. විශාල පිරිසක් ද ඒ හැම රැස්වීමකටම සහභාගි වී සිටි නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල මෙන්, ශ්‍රීලනිපයෙන් ආ අයට හූ කීමක් හෝ කිසිදු විරෝධයක් එල්ල නොවිණි. ඒ සියලු රැස්වීම්වලදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද කතා කළේ‍ මාතර ඔක්කොම එකට ඉන්න බව පෙන්වමිනි.  
ගෝඨාගේ හක්මණ රැස්වීම පැවැත්වුණේ‍ මුලටියන ක්‍රීඩාංගණයේය. ලක්ෂ්‍මන් යාපා අබේවර්ධනගේ හක්මන පොහොට්ටුවේ සංවිධායක සරත් ද අල්විස් මුලටියන ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ඇල්ලදෙනිය එක්ව රැලිය සංවිධානය කර තිබූ අතර ලක්ෂ්මන් යාපා ද විශාල පිරිසක් රැගෙනවිත් තිබිණි.  


ගෝඨාභයත්, මහින්දත් සඳුදා ගතකළේ‍ හම්බන්තොට සහ රත්නපුරේ රැස්වීම්වලය. උදේ වරුවේ තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල ප්‍රදේශවල රැස්වීම් පවත්වා හවස ඇඹිලිපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලියට සහභාගි විය. රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රේමලාල් ජයසේකර, රංජිත් සොයිසා, වාසුදේව, ජානක වක්කුඹුර, පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, ශ්‍රීලනිපයේ අතුල කුමාර රාහුබද්ධ, එජාපයේ දිනේෂ් ගන්කන්ද ඇතුළු දේශපාලනඥයින් විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර, පසුගිය මැතිවරණයෙන් ද එජාපයෙන් ඡන්දය ඉල්ලු හිටපු නියෝජ්‍ය ඇමැති ජයතිස්ස රණවීර ද ගෝඨාට සහාය දෙන්නට පැමිණ සිටියේය. ඇඹිලිපිටියෙන් පසුව ගෝඨාත් මහින්දත් යායුතුව තිබුණේ මාදම්පේ රැස්වීමටය. එහෙත් මහින්දට එහි යාමට අපහසු බැවින්, ගෝඨාට කාංචනත් සමග රැස්වීමට යන්නැයි මහින්ද කීවේය. ඒ අනුව ගෝඨාභය කංචන ද සමග මාදම්පේ රැලියට ගියේය. ගෝඨාභය වෙනුවෙන් හැන්දෑවේ තේ සූදානම් කර තිබුණේ‍ ගුරුගේ මැණික් හිමිකරුගේ කහවත්ත නිවසේය. එහිදී පවුලේ අය සමග ද කතා බහ කර ගෝඨා කොළඹ බලා පිටත්විය.  


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකයන්ගේ රැස්වීමක් ද ගිය බ්‍රහස්පතින්දා රත්නපුරේ අතුල කුමාර රාහුබද්ධගේ නිවසේ පැවැත්වුණේ‍ මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන්ට අමතරව පොහොට්ටුවේ ජානක වක්කුඹුර ද ඊට සහභාගි වී සිටියේ ශ්‍රීලනිපයේ ආරාධනයෙනි. ඔවුන් කැඳවා තිබුණේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනවීමට ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් එක්ව කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමටය. අමරවීරත්, වක්කුඹුරත් දෙදෙනාම කීවේ ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් එක්ව සහයෝගයෙන් මේ ගමන යායුතු බවය.  


ඡන්ද ව්‍යාපාරය ආරම්භයේදී පොහොට්ටුවේ රැස්වීම්වලට ආ ශ්‍රීලනිපයේ සමහර මන්ත්‍රීවරුන්ට එල්ල වූ විරෝධය මේ වනවිට සමථයකට පත්ව ඇත. ඒ පක්ෂ දෙකේම ප්‍රබලයන්ගේ මැදිහත්වීමෙනි. ගිය සතියේ දිස්ත්‍රික්ක කිහිපයකම පැවැති රැස්වීම්වලට ශ්‍රීලනිපයෙත් පොහොට්ටුවේත් මන්ත්‍රීවරු එකට සහභාගි වූහ. ඒ කිසිවකදී ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ට විරෝධයක් එල්ල නොවිණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැලි මාලාවක් ගිය සති අන්තයේ ගම්පහ දිස්ත්‍රික්කය පුරා ද පැවැත්විණි. එහි අවසන් රැලිය පැවැත්වුණේ මීරිගම නගරයේය. මහින්දත් ගෝඨාත් ඊට සහභාගි වූ අතර ප්‍රසන්න රණතුංග, සුදර්ශනි, දුලිප් විජේසේකර, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, ලන්සා, ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස ද ඊට එක්ව සිටියහ. පිරිසට රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණේ‍ කෝකිලා ගුණවර්ධනගේ නිවසේය. මහින්දත් ගෝඨාත්, ගම්පහ ශ්‍රීලනිප පොහොට්ටු මන්ත්‍රීවරු සියලු දෙනාත් ඊට සහභාගි වී සිටියහ. මහින්ද කීවේ ගම්පහින් මෙවර ඉහළම ජයග්‍රහණයක් ලබන බවය. රැස්වීම් මාලාව හොඳින් සංවිධානය කිරීම ගැන මහින්දත් ගෝඨාත්, ප්‍රසන්න ඇතුළු පිරිසට ස්තුතිය පළ කළේ රැස්වීම්වලට විශාල ජනකායක් සහභාගි වූ බවද කියමිනි.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සඳුදා ජපානය බලා පිටත්ව ගියේය. ඒ ජපානයේ නව අධිරාජයා ලෙස පත් වූ නරුහිතෝ කුමරුගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙනි. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටි නිසා ගිය සතියේ කැබිනට් රැස්වීම ද නොපැවැත්විණි.  
ආණ්‍ඩුව ගිය සතියේ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ ලබන වසරේ මුල් මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙනි. ලබන 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන නිසා, අලුතින් පත්වන ජනාධිපතිවරයාට තම රජයේ අයවැය සකස් කරගැනීමට ඉඩ සලසමින්, මෙවර අයවැය ඉදිරිපත් නොකරන්නට ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව ගිය සතියේ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.  


ජනාධිපතිවරණයට ඇත්තේ තවත් හරියටම දින 20කි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පොරොන්දුවලින් නම් අඩුවක් පෙනෙන්නට නැත. දේශපාලනය ගැන උනන්දුවන බොහෝ දෙනා කියන්නේ මහා භාණ්ඩාගාරයේ ද මුදල් නොමැති තත්ත්වයක් තුළ මේ දෙන අහස උසට පොරොන්දු ඉටු කරන්නේ කෙසේද යනුවෙනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගිය සතියේ සිකුරාදා හැන්දෑවේ හදිසියේ රැස්විය. පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ මධ්‍යම කාරක සභාවේ මුලසුන ගත්තේ එහි වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය. ජනපති මෛත්‍රී ද ඊට සහභාගි වුවත්, ඔහු රැස්වීම මෙහෙයවන්නට ඉදිරිපත් නොවූයේ ඡන්දය අවසන් වන තෙක් ඔහු පක්ෂ නායකත්වයේ කටයුතුවලට මැදිහත් නොවී ස්වාධීනව සිටින බැවිනි.


මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ද වැඩි අවධානය යොමු වූයේ ගෝඨාභය දිනවීමේ ඡන්ද සටන මෙහෙයවීම ගැනය. ගෝඨාභයට සහාය දක්වමින්, ගම් මට්ටමින්, ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් වෙන වෙනම රැස්වීම් පැවත්වීම හා පොදුජන පෙරමුණ සමග එක්ව රැස්වීම් පැවැත්වීම ගැන ද සාකච්ඡාවට ලක්විය. පක්ෂයෙන් ඉවත්ව වෙන පක්ෂවලට එක්වූ අය සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ග ආදිය ගැන ද සාකච්ඡාවට ලක්වූ අතර, සමහරුන් කීවේ ඉවත්ව ගිය අයට නැවත පක්ෂය සමග සම්බන්ධ වීමට අවස්ථාවක් දිය යුතු බවය. ඊළඟට කතාබහට ලක්වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයේ තීරණයට එරෙහිව කරන ප්‍රකාශවලට පිළිතුරු දීම ගැනය. එහිදී මධ්‍යම කාරක සභිකයන් වැඩි දෙනකු කීවේ එතුමිය පක්ෂය ගත් තීන්දුව විවේචනය කර කටයුතු කරන්නේ නම්, පක්ෂය ද එතුමියට පිළිතුරු දිය යුතු බවය.


මේ අතර, ඇතැම් මධ්‍යම කාරක සභිකයන්, පක්ෂය දැනුවත් නොකර තනි තීරණ මත පොදුජන පෙරමුණේ රැස්වීම්වලට යාම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද පක්ෂයේ මහ ලේකම් ලෙස ඒ ගැන කරුණු පැහැදිලි කර කීවේ බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය ද ඒ ආකාරයට පො​හොට්ටුවේ රැස්වීමකට ගොස් ඇති බවය. එහෙත් ඔහු සම්බන්ධයෙන් විනය පියවරක් ගත යුතු බවක් දයාසිරි නොකීවේය මධ්‍යම කාරක සභා රැස්වීම යන අතරේම ආරංචියක් පැතිර ගියේ ඉසුර දේවප්‍රිය හිටපු මහ ඇමැතිවරයා පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හා මහරගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බවය. ඊට ආසන්නම හේතුව ලෙස පෙන්වාදී තිබුණේ ද හෝමාගම පැවැති පොහොට්ටුවේ රැස්වීමකට ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමග සහභාගි වී ඇති බවකි. තමා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති බව ඉසුර ද මාධ්‍යවලට කියා තිබිණි. ඔහු එදින පැවැති මධ්‍යම කාරක සභාවට ද නොගියේය. ඉසුර අයින් කළ බව ඔහු කීවත් මධ්‍යම කාරක සභාවට සහභාගි වූ අයකු කීවේ ඉසුර අයින් කිරීමට මධ්‍යම කාරක සභාව එවැනි තීන්දුවක් නොගත් බවය.



අදහස් (0)

හූව නවතන්න පොහොට්ටුවෙන් මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29119 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18218 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11412 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 706 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site