ජීවිතය ගතවෙලා   
අසූවේ අද්දරට   
ගියා මා ඈ සොයා  
ඇගෙ විසල් මැඳුර වෙත  

මළ බැඳුණු කඩුළු දොර  
හිරවෙලා දෙපසින්ම  
කෙසේ ගෙවදින්නදෝ  
අකීකරු පා සමඟ  

සැරයටියෙ බරැති අග  
ගැටුව මුත් කඩුළු දොර  
හඬක් නොනැගී මහත්  
සුරත වෙව්ලන නිසා  

හැරෙන්නට සිතක් නැත  
නොදැක ඒ මුව කමල  
අකල් සහ විකල් වූ  
සිතුවමකි ඇඳි සිතේ  
පුළුල් උකුලේ පහස  
නොපැකිලිව තිළිණ කළ  
ස්වර්ණ කුඹු යුග්මයේ  
උණුසුමින් සැතප වූ  

නිලාවේ පහස යට  
තිගේ උණුසුම ලැබූ  
ඒ අග්‍ර රැයේ රස  
සදාකාලිකයි මට  

මගේ උර මත රැඳුණු  
පසැඟිල්ලෙ උණුහුමක්  
සිහින විජිතය බිඳී  
අසුරු සැනෙකින් මෙසේ  

සබඳ කිම මේ ලෙසින්  
හිම වැටෙයි අසුරකින්  
වරෙන් මගෙ පැල්පතට  
රෝසි ලී පෙවුලුමට  
පැමිණියේ මේ මැඳුරෙ  
ක්‍රිෂ්ණ දෙව්දුව සොයා  
ඇය මගේ ප්‍රථම පෙම  
අකාලෙට මිලින වූ  
පූරුවේ කරුමෙකට  

සමුගන්න ඉත සිතින්  
නික්ම යන්නට කලින්  
පැමිණියෙමි දැක ගන්න  
ඈත් වුණු ක්‍රිෂ්ණ මල  

යාලුවේ අසාපන්  
දුකින් පවසමි මෙසේ  
ඈ දෙවිඳු වෙත ගියේ  
සිව් වසරකට එහා  
නුගේගොඩ  
චන්ද්‍රකීර්ති ලියනගේ  
ලන්ඩන් නුවර සිට