IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සැනසුම සොයා ඇමෙරිකාව දක්වා පාදයාත්‍රාවේ යෙදෙන හොන්ඩුරාස් වැසියෝ

 

පුළුන් රොදක් වගේ   
ඈත අහසට   
පාවෙලා යන්න ඇත්නම්   
ඒ තමයි ජීවිතේ   
ප්‍රීතිමත් ම දවස   
සතුට සැහැල්ලුව   
අපි කවුරුත්   
හොයන්නෙ ඒකයි 

 
මේ සරෝජිණී නායිදු විසින් ලියන ලද කාව්‍යක එක් කොටසකි. සතුට සැහැල්ලුව එකිනෙකා විවිධාකාරයෙන් නිර්වචන කරති. ඇතැමෙකුට එය මුදල ය. තවත් කෙනෙකුන්ට හිතේ සැනසීම ය. බොහෝ දේ තිබුණ ද සිතේ සැනසීම නැති කල ඇතැමෙකු පිස්සකු බවට පත්වේ. තවත් කෙනෙකුන් අවසන් තීරණය ලෙස සියදිවි නසාගනී. සැනසීම තුරන් වීමට පෞද්ගලික පමණක් නොව වෙනත් සාමාජයීය සහ දේශපාලන වාතාවරණයන් ද බලපාන බව විශේෂයෙන් කිවයුතු නැත. අද ලොව පුරා කෝටි ගණනක ජනතාවක් සරණාගතයන් ලෙස සොයා යන්නේ තම මව්බිමේදී අහිමිවී ගිය සැනසීම ය.   


හත්දහසක හොන්ඩුරාස් පුරවැසියන් පිරිසක් එල් සල්වදෝරය හා ගෝතමාලාව පසුකර පා ගමනින් මෙක්සිකෝව හරහා පැමිණෙමින් සිටින්නේ කාගේත් සිහින දේශය වූ ඇමෙරිකාවේදීවත් තම මව්බිමේදී නැතිවී ගිය සැනසුම බලාපොරොත්තුවෙන් ය. මේ පිරිස අතර බාලයෝ ද මහල්ලෝ ද කාන්තාවෝ ද වෙති.   


හොන්ඩුරාස් රාජ්‍යයේ දැනට පවතින දේශපාලන වාතාවරණය අනුව මිනිස් ජීවිතය සුරක්ෂිත නැතැයි කියති. එක් මසකට තුන්සියයකට වැඩි පිරිසක් ඝාතනය කෙරෙති. අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාවන් පිළිබඳව වාර්තාවන් ද අතුරුදන් ය. මව්බිමින් පළා යාමට හොන්ඩුරාස් වැසියන් පෙළඹී ඇත්තේ මේ නිසා ය. එකමුතුව ශක්තිය වේ යන උද්ධෘත පාඨය අනුව යමින් හත්දහසක හොන්ඩුරාස් පුරවැසියන් පිරිසක් සැනසුම සොයා ඇමෙරිකාවට යන පාද යාත්‍රාවට එක්වී සිටිති.   


හොන්ඩුරාස් සිට ඇමෙරිකාව දෙසට ඇති ගොඩබිම් මාර්ගයේ හමුවෙන එල් සල්වදෝරය සහ ගෝතමාලාව මෙම සරණාගතයන්ට තම භූමිය හරහා ගමන් කිරීමට අවසර දී තිබුණි. මේ ලිපිය ලියන මොහොත වෙන විට මේ ජන ගඟ ගලමින් ඇත්තේ මෙක්සිකෝව හරහා ය. මෙම පිරිස ගෝතමාලාවේ සිට මෙක්සිකෝවට ඇතුළුවීමට පෙර ඔවුන් වහාම පළවා හරින ලෙස ඇමෙරිකාව විසින් මෙක්සිකෝවට උපදෙස් දී තිබුණි. මෙක්සිකෝව ද එම උපදෙස් අනුව යමින් මුලදී සරණාගතයන් පළවා හැරීම සඳහා මාර්ග බාධක මෙන්ම කඳුළු ගෑස් ද භාවිත කළ ද, පසුව මානව හේතූන් මත මෙම පිරිසට මෙක්සිකෝව හරහා ගමන් කිරීමට අවසර දී ඇත. මේ හේතුවෙන් ඇමෙරිකාව විසින් මෙක්සිකෝවට සපයනු ලබන ආධාර වහාම නවතා දමන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. මෙම පාද යාත්‍රාවේ යෙදෙන සරණාගතයන්ට දැන් මෙක්සිකෝවේ ජනතාව ආහාරපානයෙන් මෙන්ම වෙනත් ආකාරයෙන් ද උදව් උපකාර කරති. මෙක්සිකානු රජය මෙම පිරිසට සියළු පහසුකම් සහිතව රැඳී සිටීමේ අවසරය ලබාදීමට එකඟවී සිටිය ද මෙම සරණාගතයෝ එම වරප්‍රසාදය ප්‍රතික්ෂේප කරති. ඔවුන්ගේ එකම ඉලක්කය ඇමෙරිකාව ය. මෙම පාද යාත්‍රාවට හත්සියයක මෙක්සිකානු හමුදා භට පිරිසක් දැන් ආරක්ෂාව සපයති.   

 


මෙතෙක් දුර පැමිණි පාගමනින් දුර්වල වූ වයස අවුරුදු විසි දෙකක තරුණයකු මෙක්සිකෝවේදී ලොරියක ගමන් කරමින් සිටියදී ඉන් වැටී මියයාම හේතුවෙන්, දැන් සියල්ලෝම පාගමනට පමණක් යොමුවී සිටිති. සැතපුම් දහස් ගණනක පාගමනින් දැන් කෙනෙකුන් රෝගී වී ඇත. බාලයන් ද රෝගීන් ද දුර්වලයන් ද කරපින්නාගෙන කෙරෙන මෙම පාද යාත්‍රාව දකින්නාට වේදනාකාරී දසුනකි.   


මෙම ලිපිය ලියනු ලබන මොහොත වෙන විට හොන්ඩුරාස් සරණාගතයෝ මෙක්සිකෝවේ සිටින ස්ථානයේ සිට ඇමෙරිකාවේ ආසන්නම දේශ සීමාව වන ටෙක්සාස් ජනපදයේ මැක්ඇලන් ​දොරටුව වෙත ළඟා වීමට, තව කි.මී. එක්දහස් හයසීයක් ගමන් කළ යුතුය. කැලිෆෝනියාවේ සැන් දියෙගෝ දේශසීමාවට දුර එමෙන් දෙගුණයකි.   


ජනාධිපතිවරණයේදී දී ඇති පොරොන්දුවලට අනුව යමින් විදේශිකයන් රටට භාරගැනීම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. ඔහු ප්‍රකාශ කරන්නේ මෙම හොන්ඩුරාස් සරණාගතයන් ඇමෙරිකා දේශසීමාව තරණය කිරීමට උත්සහ කළහොත්, එය වැළකීම සඳහා හමුදාමය පියවරක් ගන්නා බව ය. මේ තර්ජන ඝර්ජන මැද වුවද හොන්ඩුරාස් සරණාගතයෝ තවමත් මෙක්සිකානු භූමිය හරහා ඇමෙරිකාව දෙසට එමින් සිටිති. ඔවුන් පිටමං කිරීම සඳහා අටසීයක ඇමෙරිකානු විශේෂ හමුදා බළඇණියක් මෙක්සිකානු දේශ සීමාව ආසන්නයේ ස්ථානගත කළේ ඔක්තෝබර් මස විසිහය වැනි සිකුරාදා ය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිතුවක්කාර දේශපාලනයට අනුව මෙම පිරිස ඇමෙරිකාව භාරනොගතහොත්, එය මෙක්සිකෝවට බැරෑරුම් දේශපාලනමය සහ සමාජමය ගැටළුවක් වෙනු ඇත.   

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

සැනසුම සොයා ඇමෙරිකාව දක්වා පාදයාත්‍රාවේ යෙදෙන හොන්ඩුරාස් වැසියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site