සාරියක් මිලට ගැනීමට යමු යැයි මගේ බිරිඳ විසින් කියන ලද්දේ මා සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ලියන ලද ළමා මනෝවිද්‍යාව පිළිබඳ පොතක් කියවමින් සිටියදී ය. අපි නගරයේ ඉන්දියානු සාරි වෙළෙඳසැලක් වෙත ගියෙමු.
සාරි මිලට ගැනීමට පැමිණි බව ඇසූ පමණින්ම සාප්පු සේවකයා විවිධ පැහැයේ මෙන්ම විවිධ මෝස්තරයේ ද සාරි පනහක් පමණ මේසය මත දිගහැර දැමීය. එහෙත් මගේ බිරිඳ විසින් ඒවායේ වර්ණ සහ මෝස්තර පිළිබඳව තම රුචි අරුචිකම් පැවසීමත් සමඟම එම අදහස්වලට නොගැලපුණු සාරි තොගයක් මේසයෙන් ඉවත් කළ වෙළෙඳ සේවකයා, වෙනත් සාරි කීපයක් ගෙනැවිත් මේසය මත තැබීය. දැන් මේසය මත ඇති සාරි සංඛ්‍යාව විස්සක්වත් නැත. මගේ බිරිඳගේ තේරීම මත මේසය මත තිබුණු සාරි එකිනෙක අඩුවී, අවසානයේ එහි ඉතිරිවූවේ සාරි දෙකක් පමණි. මඳ දෙගිඩියාවකින් පසුව තමන්ට වඩාත් ගැලපේ යයි සිතුණු සාරිය මගේ බිරිඳ තෝරාගත්තා ය.
මේ සාරි ගණුදෙනුව දෙස බලා සිටි මට සිතුනේ මා නිවසේ කියවමින් සිටි සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ළමා මනෝවිද්‍යා පොතේ සාකච්ඡාවට භාජනය වූ ගැඹුරු මනෝවිද්‍යාත්මක විග්‍රහයක්, වෙළෙඳ සේවකයා ඉතා සරලව ප්‍රායෝගික තලයට ගෙන ආ බව ය.
මා කියවමින් සිටි සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ළමා මනෝවිද්‍යා පොතට විෂය වූවේ බාල කාලයේදී දරුවන්ගේ සහජ කුසලතා නිවැරදිව හඳුනාගැනීම සහ, ඒ අනුව නිවැරදි අධ්‍යාපනයක් වෙත දරුවන් යොමුකර සාර්ථක මිනිසුන් නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් ය.
මුලදී දරුවකු පුළුල් අධ්‍යාපන විෂය මාලාවක් කෙරෙහි යොමුකළ යුත්තේ දරුවාගේ රුචි අරුචිකම් පිළිබඳව මුල් තක්සේරුවක් ලබාගැනීම සඳහා ය. දරුවාගේ මානසික වර්ධනයත් සමගම තම රුචි අරුචිකම් පිළිබඳව නිදහසේ තීරණයකට එළඹීමට ඔහුට හෝ ඇයට හැකියාව ලැබේ. මෙතැන් සිට අරුචිකම් මගහැර රුචිකම්වලට පමණක් යොමුවී, අවසානයේදී වඩාත් ප්‍රියකරන නිවැරදි එක මගකට පමණක් යොමුවීමේ හැකියාව දරුවාට ලැබේ. දරුවාගේ අධ්‍යාපන රුචිය දෙමාපියන්ගේ රුචිකම්වලට වඩා හාත්පසින්ම වෙනස් විය හැකිය. මන්ද යත් ඔහු හෝ ඇය මෙතෙක් ලොව පහළ නොවූ සහ, ඉදිරියේදී ද ලොව පහළ නොවෙන අන්දමේ විශේෂිත පුද්ගලයකු වීම ය. එබැවින් දෙමාපියන් විසින් කළ යුත්තේ යොමුකිරීම මෙහෙයවීම නොව, නිවැරදි ගමනට අනුබලය සහ සහයෝගය දීම ය. සාරි සීයක් ඇතුව ද නිවැරදිව නම් වරකට ඇඳිය හැකිවෙන්නේ එක සාරියක් පමණි. එය තම ශරීර වර්ණයට හැඩයට පමණක් නොව අවස්ථාවට ද ගැලපෙන්නක් විය යුතුය. විශේෂිත වෙන්නේ එවිට ය. සියලුම තෘණපත් පිළිබඳව ලබන මඳ දැනුමට වඩා, එක උඳුපියලිය පතක් පිළිබඳව ලබන පූර්ණ දැනුම මිනිසා පණ්ඩිතයෙකු කරයි.
මගේ බිරිඳ විසින් තෝරාගන්නා ලද සාරියට මුදල් ගෙවා සාප්පුවෙන් පිටවීමට පෙර, සිග්මන් ෆ්‍රොයිඩ් හඳුනනවා දැයි මම සාප්පු සේවකයාගෙන් විමසීමි. අපේ සාප්පුවෙන් බඩු ගන්න කෙනෙක් දැයි ඔහු මගෙන් පෙරළා ඇසුවේය.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
2025 දෙසැම්බර් මස 04
537
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජීවිතයට අර්ථවත් පාඩමක් කියාදුන් වෙළෙඳ සේවකයා