අද මුළු ලොවම එක ගමකි. නව තාක්ෂණය උපයෝගී කරගනිමින් විශ්ව ගම්මාන සංකල්පය යථාර්ථයක් බවට පත්ව ඇත. එක රටක පුරවැසි සංකල්පය බිඳ වැටෙමින්, විශ්ව පුරවැසිභාවයකට අපි අවතීර්ණ වෙමින් සිටිමු. අද ප‍්‍රංශ ඉතාලි හෝ ස්පාඤ්ඤ පුරවැසියෝ නොව සිටින්නේ යුරෝපා පුරවැසියෝය. මේ වෙනවිට එක් ජාතියකට එකම රටකට පමණක් කොටුවී සිටි කාලය හමාරය. අප රට පවුල් කුටුම්භයක් ගෙන බැලුවද, එක් සාමාජිකයකු හෝ කිසියම් හේතුවක් මත පදිංචිය වෙනත් රටකය. ඇතැම් පවුලක දෙතුන් දෙනෙකු රටවල් දෙක තුනකය. කෙතරම් දුරක සිටියද නව තාක්ෂණයට පිං සිදුවෙන්නට ජංගම දුරකතනය ඔස්සේ හෝ උදේ හවා දැකගත හැකිය. මුහුණට මුහුණලා මෙන් කතා කළ හැකිය. 


ලොව කොතැනක විසූවද අපට අපේම අනන්‍යතාවක් ඇත. අපේ සංස්කෘතිය අපේ අනන්‍යතාව අපේ රුධිරය තුළට කා වැදී ඇත. මව්බිමෙන් දුරස්ව විදේශයක විසූවද කෙනෙකුන්ට තම සැබෑ අනන්‍යතාව අමතක කළ නොහැකිය. සැඟවිය නොහැකිය. තම අනන්‍යතාව අමතක කිරීම ගසක මුල් සිඳ දැමීමට සමානය. ප‍්‍රතිඵලය, ඉදිරි පැවැත්මක් නැතිවීමය. අප කොහේ සිටියද අපේ සැබෑ අනන්‍යතාව රැකගැනීමට වෙහෙසෙන්නේ එබැවින්ය. 


විදේශයකදී අපි අප රටේ ජාතික කොඩිය වෙමු. ගමේදී රටේදී තිබුණු පුද්ගල නාමය මැකී ගොස් විදේශයකදී අපි ශ‍්‍රී ලාංකිකයෝ ය. පුද්ගල නාමයෙන් අප හඳුනාගැනීමට පෙර, විදේශිකයෝ අපේ පැහැයෙන් අපේ ක‍්‍රියාකාරකම්වලින් අප කොහෙන් ආවෝ දැයි හඳුනාගනිති. 


කොතැන ගියත් අපි අපම විය යුතු අතරම, විදේශයකදී ඒ සඳහා සීමාමායිම්ද ඇති බව යථාර්ථයයි. මෙය සරලව නිර්වචන කළහොත්, විදේශයකදී අපට අපම විය හැකි ප‍්‍රමාණයේ සීමාවක් ඇත. අපි අපම විය යුතුවෙනවා මෙන්ම ඇතැම් තැනකදී තැනේ හැටියට ඇණේ ගැසීමටද සිදුවෙනවා ඇත. රෝමයේදී රෝමයකු මෙන් හැසිරෙන්න යන කියමනෙන් තීව‍්‍ර වෙන්නේද මෙයමය. විදේශයකදී ඒ පරිසරයට ගැළපෙන අයුරින් හැඩගැසීමේදී, අපේ යම් දෙයක් අතහැරී යනු නොඅනුමානය. බහුවර්ණ සමාජයක අපේකම හා පොදු හැඟීම සමබරව තබාගැනීම ලෙහෙසි පහසු නැත. 


උක්ත ඌනපූරණය සටහන් කිරීමට නිමිත්ත වූයේ පසුගිය දිනෙක ඉතාලියේ සස්සරි ප‍්‍රදේශයේ මහාධිකරණය විසින් පවුලක් දෙකඩ කරමින් දෙන ලද තීන්දුවය. රටක බලපවත්වන නීතිය ඉක්මවා යමින් මානුෂීය හේතූන් මත පවුලක් දෙකඩ කිරීමක් අධිකරණ සම්ප‍්‍රද‌ායේ බොහෝ විට අනුගමනය කෙරෙන්නේ නැත. එහෙත් සස්සරි මහාධිකරණය ඉතාලියේ නේවාසික රුමේනියානු සම්භවයක් ඇති සංචාරක ගෝත‍්‍රයකට (ජීප්සි හෙවත් අහිගුණ්ඨික) අයත් වයස අවුරුදු 16ට අඩු ගැබිනි කාන්තාවකගේ ඉතාලියේ රැඳීසිටීමේ බලපත රහිත සැමියා රටින් පිටුවහල් කරමින් තීන්දුව දී ඇත. මෙම අධිකරණ තීන්දුව සංචාරක ගෝත‍්‍රයේ සංස්කෘතික වත්පිළිවෙත් හා ඔවුන් නේවාසික රටේ බලපවත්වන සිවිල් නීතිය අතර ගැටීමක් ඇතිවූ අවස්ථාවක් ලෙස විග‍්‍රහ කළ හැකිය. 


සංචාරක ගෝත‍්‍ර කණ්ඩායම් බොහෝ විට සාමාන්‍ය සමාජයෙන් දුරස්ව ඒකරාශීව විසීම ස්වභාවයයි. මෙම ස්වභාවය හේතුවෙන්ම සීමිත වපසරියක රංචු ගැසී ජීවත්වීමේදී, රැළේ සාමකාමී දෛනික ගලායාම සඳහා ලිඛිත නොවුවද පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන නීතිරීති මාලාවක් ඔවුහු අනුගමනය කරති. ඉතා සමීපව ඒකරාශීව විසීමේදී දැරියන් හා දරුවන් අතර සිදුවිය හැකි ලිංගික ආපද‌ා වැළකීමේ ප‍්‍රයෝගයක් ලෙස, මොවුන් අතර බාලවයස්කාර විවාහය අනුදැන ඇත. මේ අනුව බාල වයස්කාරයන් අතර විවාහය මෙම සංචාරක ගෝත‍්‍ර අතර නීත්‍යනුකූලය. එහෙත් සංචාරක ගෝත‍්‍ර නීතියත් ඔවුන් නේවාසික රටේ බලපවත්වන නීතියත් අතර වෙනසක් ඇති අවස්ථාවක මෙය ගැටලුවක් වෙනු ඇත. 

 


රැඳීසිටීමේ බලපත රහිත හේතුවෙන් රටින් පිටුවහල්වීමේ නියෝගය ලද සංචාරක ගෝත‍්‍රිකයා, ඉතාලියේ නේවාසික එම කුලයේම අඩුවයස්කාරියගේ නීත්‍යනුකූල සැමියා ලෙස ඉතාලි නීතිය හමුවේ වලංගු වූවේ නැත. ඉතාලිය පිළිගත් සිවිල් නීතියක් යටතේ ඔවුන්ගේ විවාහය ලියාපදිංචිව තිබුණි නම්, ඉතාලියේ සංක‍්‍රමණිකයන් සඳහා වෙන නීති සංග‍්‍රහයේ පවුල් කුටුම්භය එකතුව තැබීමේ වරප‍්‍රසාදය යටතේ බිරිඳගේ අනුග‍්‍රහය යටතේ යැපෙන ලෙස සැමියාට ද ඉතාලියේ රැඳීසිටීමේ බලපතක් නිකුත් කළ හැකිව තිබුණි. එහෙත් ඔවුන් විවාහවී සිටියේ ඉතාලිය පිළිගත් සිවිල් නීතියකට අනුව නොව ඔවුන්ගේ රැහේ නීතියට අනුවය. ඔවුන්ගේ ගෝත‍්‍ර නීතියත් ඉතාලි නීතියත් අතර වූ වෙනස පවුල දෙකඩ කරමින් තීන්දුව දීමට නිමිත්ත විය. 


බාල වයස්කාර විවාහය ඇතැම් සංස්කෘතින් විසින් අනුමත කෙරුණද, ඉතාලි දණ්ඩනීති සංග‍්‍රහයේ අංක 609ට අනුව, වයස අවුරුදු දහඅටට අඩු විවාහ අධිකරණය මගින් දඬුවමට තීන්දු කළ හැකි වරදකි. මෙහිදී උක්ත සංචාරක ගෝත‍්‍රිකයන්ට නේවාසික රටේ නීතිගරුකව සිටීමට නම්, තම සංස්කෘතියේ ඇතැම් අංගයක් කැපකිරීමට සිදුවේ. 
යුරෝපීය රටවල පොහොය දිනය නිවාඩු දිනයක් නොවේ. මේ හේතුවෙන් එම රටවල වෙසෙන බෞද්ධ ජනතාව විසින් වෙසක් පොසොන් හා වෙනත් පොහොය පිංකම් බොහෝ විට පවත්වනු ලබන්නේ ඊළඟට එළඹෙන නිවාඩු දිනය වන ඉරිද‌ාය. නැතහොත් ඊට පෙර ඉරිද‌ාය. මුස්ලිම් රටවල සතියේ නිවාඩු දිනය සිකුරාද‌ාය. එම රටවල පදිංචි කතෝලික ජනතාවට පල්ලිය අනුදැන ඇති පරිදි ඉරුදින පූජාවට සහභාගී වීමේ හැකියාවක් නැති බැවින්, ඔවුන් ආගමිකවතාවත්හි යෙදෙන්නේ සිකුරාද‌ාය. මේ විශ්ව ගම්මානයේදී අපේ අයිතිය පරිත්‍යාග කර ඇති ආකාරය පිළිබඳ ඉතාම සරල උද‌ාහරණ දෙකක් පමණි. 


උක්ත කරුණු අනාගත විශ්ව ගම්මානයේදී අපට මුහුණදීමට සිදුවෙන බොහෝ දේ පිළිබඳව එක්තරා පෙර නිමිත්තක් පමණි. මෙය අනතුරු ඇඟවීමක් ලෙස ගත නොහැකිය. අද සුළු සමාජයේ ‘‘අප’’ට වඩා, විශ්ව ගම්මානයේ ‘‘අප’’ යනු වඩාත් පුළුල් මාතෘකාවකි. සරල සමාජයේ අපිට වඩා බහුවාර්ගික සංකීර්ණ සමාජයක පොදු යහපත වෙනුවෙන් අපි පොදු නීතිරීති මාලාවකට යටත්වීමේදී අපේ ඇතැම් දෙයක් අතහැර දැමීමට සිදුවෙනු නොඅනුමානය. ඒ ගිලිහී යන්නේ අපේ අනන්‍යතාවෙන් කොටසක් නම්, විශ්ව ගම්මාන සංකල්පය පිළිබඳව අපට උදම්ඇනීමට බැරි තරම්ය. 


යටියන, 
ක්ලැරන්ස් කොස්තා, 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.