දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් වේලාසනින් පාසල නිමාකර මංගල කටයුත්තක් සඳහා බැහැර යාමත් සමග පාසල් දරුවන් ඇතුළු තමන් දැඩි අසීරුතාවට පත් වූ බව එම පාසලේ දරුවන්ගේ මව්පියන් චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය. මෙම පාසලේ 1 වසරේ සිට 13 වසර දක්වා දරුවන් 800 ක් පමණ අධ්‍යාපනය ලබන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය. විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය මඟුල් ගෙදරක යාමට වේලාසනින් වසා දමා ගොස් තිබෙන්නේ දරුවන් 800 ක් පමණ ඉගෙන ගන්නා පාසලකි.

‘පාසලක් වැසීම යනු හිරගෙවල් දහසක් විවෘත කිරීමක්’ යැයි කතාවක් අප සමාජයේ වෙයි. පාසලක අගය අවධාරණය වී තිබෙන්නේ එසේ ය. ඒ පාසල මනා විනයකින් යුතුව කළමනාකරණය විය යුත්තේ රටේ අනාගතය බාර ගැනීමට සිටින ගුණ - නැණ බෙලෙන් යුතු පුරවැසියන් බිහිවන්නේ පාසලෙන් වන හෙයිනි.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණික තීන්දු තීරණ ගැනීමේ බලයක් විදුහල්පතිවරයා සතු ය. එහි දී කලාප අධ්‍යාපන බලධාරින්ගෙන් පළාත් අධ්‍යාපන බලධාරින්ගෙන් විමසීම් කර අවශ්‍ය උපදෙස් ගත යුතු ය. එසේ නොමැතිව ඔළමොට්ටල ලෙස හා අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් විදුහල්පතිට නැත. එහෙත් මැදගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාත්, ගුරු මණ්ඩලයත් මඟුල් ගෙදරක යෑමට පාසල වේලාසනින් වසා දමා තිබේ.

අප වාර්තාකරු සිද්ධිය සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමා වාසළ මුදලි මහත්මියගෙන් විමසූවිට ඇය ප්‍රකාශකර තිබෙන්නේ පාසල් කාලයේ දී විවාහ උත්සවයකට සහභාගීවන බවට තමාට ලිඛිතව හෝ වාචිකව දැනුම්දීමක් සිදු නොකළ බවත් එලෙස සහභාගීවීම නීති විරෝධි බවත් එලෙස ගොස් ඇත්නම් මවුපියන් ලිඛිතව දැනුවත් කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ය.
අපූරුම පිළිතුර දී ඇත්තේ විදුහල්පතිවරයා ය. ඔහුගේම වචන උපුටා දක්වමින් පළකළ වාර්තාවේ ඔහුගේ පිළිතුර සඳහන් වන්නේ මෙසේය ‘‘මං මේ මඟුල් ගෙදර යන්න තමා හදන්නේ. පාසල ඇරියේ එකට විතර. අපි පාසල කලින් ඇරියට දරුවන්ට හවස පන්ති කරනවා. ඇවිත් බලපියව් තොපේ පත්තරේ ඕනෑ කෙනකුට කියලා ඕක දාගනියව්. මම බය නැහැ’’

අද‌ාළ පිළිතුරෙන් මෙම පුද්ගලයා පාසලක විදුහල්පතිකමට නොව මුරකරු රස්සාවට හෝ සුදුසු දැයි විමසීම ඔබට බාර ය. රටේ අනාගතය බාර ගැනීමට සිටින දූ දරුවන් බාරව සිටින්නේ මෙවැනි පුද්ගලයන් නම් රටේ අනාගතය සම්බන්ධයෙන් ඇති වන්නේ භීතියකි. එහෙත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසන්නේ ‘‘ලිඛිතව දැනුම් දීමක් කරන්නේ නම් නීතිමය පියවර ගත හැකි බව’’ ය. වැරැද්දක් වූ බවට වාර්තා වූ විට එය පැමිණිලි කරනතුරු බලා සිටින අධ්‍යාපන බලධාරින් සමග මේ රටේ අධ්‍යාපනය තව කොතෙක් දුර ගමන් කරනු ඇද්ද යන්න මගහැර යා යුතු නැති ප්‍රශ්නයකි.

නිරුක්ති විද්‍යාවට අනුව ගුරුවරයා යනු නොදැනීම නමැති අන්ධකාරය දුරු කරන්නා ය. එසේනම් ගුරුවරයා ප්‍රදීපස්ථම්භයක් විය යුතු ය. සෑම ආකාරයේම විශිෂ්ටයන් නිර්මාණය වන්නේ ගුරුවරයාගේ සුරතිනි. එහෙයින් කිසිම වෘත්තියකට සම නොවන අසමසම ගෞරවයක් ගුරු වෘත්තියට තිබේ. එහෙත් එම උත්තරීතර ගුරු වෘත්තිය අපවිත්‍ර හා දුගඳ කරමින් මළපහ කරන්නෝ ද සිටිති. ඒ සම්බන්ධ පුවතක් ද අප පුවත්පත වාර්තා කළේය.

අප ප්‍රවෘත්තියට අනුව මාතර, හක්මන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු හා සීමාවාසික ගුරුවරියක සිය විවාහ මංගල උත්සවයට පෙර ‘‘ප්‍රී ෂූට්’’ ගැනීමට එම පාසලම යොද‌ාගැනීමේ පුවතක්ද අපි නොබෝද‌ා පළකළෙමු. ගුරුවරයා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශවත් විය යුතුය. තමන් උගන්වන පාසලේම ප්‍රී ෂූට් කරන ගුරුවරුන් ගුරුවරියන්ගෙන් පළවන ආදර්ශය කුමක්ද?

‘‘මඟුල් විසේ’’ යැයි කියමනක් ද තිබේ. එම විසේ වැළඳුන විට තැන නොතැන නොපෙනී යයි. හරි වැරැද්ද නොපෙනී යයි. මුළුමනින්ම දෑස නොපෙනී යයි. දෙසවන නෑසී යයි. මඟුල් විසේ ඔළුවට ගැසූ කල්හි කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැකි ය. තමන් උගන්වන පාසලේ ම ‘‘ප්‍රී ෂූට්’’ ගන්නා ගුරුවරයාට හා ගුරුවරියට සිදු වී ඇත්තේත් ඒ විලම්බෑසියම යැයි අපි සිතමු. ඔවුන්ට ස්තුති කිරීමට ද හේතුවක් තිබේ. ඒ මධුසමය ගත කිරීමට ගුරු විවේකාගාරය තෝරා නොගැනීම ය.

ජාතියේ අධ්‍යාත්මයට පණ පොවන වගකීම ඇති පිරිස් තම වගකීම එයට හිමි නිසි බරින් හඳුනාගෙන කටයුතු කළ යුතුය. ගුරුවරුන් තරයේ සිත්හි තබාගත යුත්තේ මුළු මහත් සමාජයක් ම තමන් හඳුන්වන්නේ ‘‘ගුරුවරුන් දෙවිවරුන් ලෙස’’ බව ය. ඒ බව නොදන්නේ නම් එය ම ඛේදවාචකයකි.

(***)