දේශ විමුක්ති ජනතා පක්ෂයේ මූලාරම්භය 1978 ජුනි 20 වැනි දින දියත් වූ “දේශ විමුක්ති’ මාසික පුවත් පත දක්වා දිවේ. එදා වමේ පොදු පුවත්පතක් ලෙස ඇරඹුණු දේශ විමුක්ති පසුකලෙක නව ජනතා පෙරමුණ නමින් කෙටි කලක් ක්‍රියාත්මක වූ නව වාම සංවිධානයේ පක්‍ෂවල පොදු පුවත්පත විය. 


මෙසේ ප්‍රචාරකයකු හා උද්ඝෝෂකයකු වශයෙන් පමණක් නොව ලෙනින් කී පරිදි සංවිධායක වශයෙන් ක්‍රියාත්මක වූ මෙම පුවත්පත වටා එක් වූ පිරිස 1981 මැයි දින දේශ විමුක්ති සංවිධානය වශයෙන් ලාංකික දේශපාලන භූමියට සංවිධානාත්මකව පිවිසියේය.


1985 සැප්තැම්බර් 11 වැනිදා දේශ විමුක්ති ජනතා පක්‍ෂය වශයෙන් ඊළඟ පියවර තැබුයේ එම සංවිධානයයි. නිහාල් පෙරේරා සහෝදරයාගේ මෙහෙයවීමෙන් එදින කොළඹ මහවැලි අමාත්‍යංශ වටකොට පැවැත් වූ දැවැන්ත ගොවි කම්කරු උද්ඝෝෂණය පක්ෂයේ උපන් දිනය සිහිපත් කිරීමේ මූලික සාධකය විය. දේශ විමුක්ති ජනතා පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඒ සඳහා අයදුම් කළ මුල් අවස්ථාවේදීම පිළිගත් දේශපාලන පක්‍ෂයක් වශයෙන් 1988 ඔක්තෝබර් මාසයේ දී ලියාපදිංචි කරන ලදි. ජනතාවගේ පොදු හා ප්‍රධාන සතුරු බලවේගයට සියලු පක්ෂවල ක්‍රියාත්මක සමගියකට මුලසිටම කැප වූ දේශ විමුක්ති ජනතා පක්ෂය 1990 මුලදී බිහි වූ ප්‍රථම විපක්‍ෂ සංවිධානයේ පුරෝගාමී කොටස්කරුවෙක් විය. 1992 මැයි දිනයේ දී දියත් වූ වඩාත් පුළුල් දෙවැනි විපක්‍ෂ සංවිධානයේ ද කොටස්කරුවෙකු වශයෙන් එවකට සිටි පාලකයන් නෙරපා දැමීමේ සටනට උරදෙමින් මෙරට සමාජවාදී සමාජයක් බිහි කිරීමේ අරගලයට කැපවී සිටියි.


නිහාල් පෙරේරා සහෝදරයා අනුස්මරණය කරමින් ඔහු ඇප කැප වූ දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ දේශපාලන අරමුණ හා ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමේ අපේක්ෂාවෙන් මෙම ලිපිය සම්පාදනය කෙරේ.


බදුලු දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්ව සිටි පරලොව සැපත් එල්. ඒ. වික්ටර් පෙරේරා සහ ඩොරතී පෙරේරා මහත්මියගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් ලෙස 1944 ජුනි 20 වැනිදා මෙලොව එළිය දුටු ලොකු කැටගොඩගේ නිහාල් ලක්ෂ්මන් පෙරේරා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකු විය. හිටපු විද්‍යා හා කර්මාන්ත අමාත්‍ය ටී. බී. සුබසිංහ මැතිතුමාගේ වැඩිමහල් දියණිය වූ සුවිනීතා සුබසිංහ මෙනවිය සමග යුග ජීවිතය ඇරැඹූ ඔහුට නිරුද සහ නාධ්‍යා නමින් පුතණු කෙනෙක් හා දියණියක සිටිති. ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කළත් ඔහුගේ කාලයෙන් වැඩි කොටස වෙන් කළේ දේශපාලන ජීවිතය සාර්ථක කර ගැනීම වෙනුවෙනි. 


වරෙක ඔහු මට සෙනෙහසින් ඉදිරි මග පෙන්වමින් අවවාද, උපදෙස් න්‍යාය දර්ශනය ලබාදුන් ශ්‍රේෂ්ඨ ගුරු පියෙක් විය. වරෙක ආදරයෙන් කරුණාවෙන් සුවදුක් විමසමින් ගුණ ගරුක පියාණන් කෙනෙක් විය. වරෙක මට ආදරය කළ මා ආදරය කළ වැදගත් සහෝදරයෙකු විය. තවත් වරෙක සැපේදී මෙන්ම දුකේදීත් පිටු නොපෑ, හොඳ නරක, යුක්තිය අයුක්තිය, සාධාරණය අසාධාරණය කියා දුන් කල්‍යාණ මිත්‍රයෙක් විය. ඒ අන් කවරෙකුවත් නොව පුරා වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩව ළඟින්ම මා ඇසුරු කළ මාගේ දේශපාලන ගුරුවරයා වන දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ නිර්මාතෘ උදාර මානව හිතවාදියකු වූ නිහාල් පෙරේරා මැතිතුමාණන්ය.


කළ්‍යාණ මිත්‍රත්වය මිනිස් ජීවිතයේදී ලද හැකි උත්තුංග මානව සම්පතකි. එවන් වාසනා ගුණ නුවණ සම්පන්න වටිනා සම්පතක් නිහාල් පෙරේරා මහතාගේ හදිසි අභාවයෙන් අපට සදහටම අහිමිවිය. මිනිසුන්ට තනි නොවී හුදකලා නොවී සාමූහිකව සමගියෙන්, සාමයෙන් හා සදාචාර සම්පන්නව වාසය කළ හැක්කේ ඒ වම යහපත් වූ අතර මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ කල්‍යාණ මිත්‍ර ධර්මය පවතී නම් පමණි. එසේ හෙයින් එවැනි කල්‍යාණ මිත්‍රයෙකු බවට අයෙකු පවත්වන්නේ ද සියලු ආකාරයේ දුර්ගුණ, දුර්ගති, දුර්වාද දුරු කිරීමෙනි. නිහාල් පෙරේරා මහතාණෙනි, ඔබතුමා අප සැමට එවැනි දුර්ලභ ගණයේ උතුම් මානුෂික ගුණාංගයන් ගෙන් පරිපූර්ණ වචනයෙන් කියා හෝ ලියා අවසන් කළ නොහැකි ගුණ නුවණ සමුදායකින් හෙබි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් කල්‍යාණ මිත්‍ර ලක්ෂණ පැවැති අති උත්තම මිනිසෙකු විය.


ඔහු හමුවීමට පැමිණි විවිධ උපකාර උපදෙස් බලාපොරොත්තු වූ හැම තරාතිරමකම මිනිසුන් එකසේ සම සිතින්, සම මෙතින් සම කරුණාවෙන් පිළිගත් බව මට හොඳට මතකයි. ගොවීන්ගෙන් කෙනෙකු කමතෙන් උපත් ප්‍රශ්න ඔබට ගෙනෙන විට, කම්කරුවන් වැඩ පොළෙන්, සල්පිලෙන් හටගත් ප්‍රශ්න ඔබට ගෙනෙනවිට, සිසුහු පතින් පොතින් සරසවි බිමෙන් පැන නැගී ප්‍රශ්න ඔබට ගෙනෙනවිට, කාන්තාවන් තම වැඩ පළෙන් සමාජයෙන් සිදුවන ප්‍රශ්න ඔබට ගෙනෙන විට, ගුරුවරු, ලිපිකරුවන්, ධීවරයන්, හෙදියන් තම වෘත්තීමය ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන විට ඒවා විමසුම් සහගතව සොයා බලා විසඳුම් ඉදිරිපත් කළේ කොපමණ මානව දයාවකින් ද යන බව ඇසුරු කළ කාහට වුවද අමුතුවෙන් කිව යුතු නොවේ.


ජාතිවාදයෙන්, කුලවාදයෙන් හා ආගම්වාදයෙන් කොන් වූ වෙන් වූ පෑගුණා වූ දහස් සංඛ්‍යාත මිනිසුන්ට අනුකම්පාවෙන් මෙන්ම සහෝදරත්වයෙන් කිසිදු භේදයක් ජාතියක් නොතකා සැලකූ හැටිත් අප දේශය දරුණු ලෙස වෙළාගෙන ඇති උතුරේ මෙන්ම දකුණේ ද වෙසෙන රටවැසියන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බිලිගනිමින් හා එහි සම්පත් විනාශ කරමින් දිගට ඇදෙන ජනවාර්ගික යුද්ධයට ප්‍රායෝගික හා න්‍යායාත්මක විසඳුම් ඉදිරිපත් කළ ආකාරයත් විමසා බලනවිට ඔබතුමා තැබූ ජාතිවාදී, කුලවාදී මානසික බවෙන් තොර පිරිසුදු සමානාත්මතා ගුණය මොනවට පැහැදිලි වේ.


මෙවන් උදාර ගුණ සමුදායකින් හෙබි ප්‍රතාපවත් පෞරුෂයකින් හා ආරෝහ පරිනාහ දේහ සම්පත්තියකින් යුතු නිහාල් පෙරේරා මහතා මුලින්ම මට මුණගැසුණේ අහම්බෙන් මෙනි. එදා අසූව දශකයේ මූලාරම්භයේම වාගේ කොළඹ නගරයේ සෑම මාවතක්, තාප්පයක් පුරාම “ජලබදු නොගෙවමු” “සිරගෙවල් පුරවමු” යන සටන් පාඨය දැක ගත හැකි විය. ස්වභාව ධර්මයෙන් දායාද හැටියට ලැබෙන ජලයෙන් පවා බදු අය කිරීමට යනවාය කියන පිළිකුල් සහගත තීරණවලට විරුද්ධව භික්‍ෂූන් වහන්සේලා හැටියට අපගේ ද සහාය ලබාදීම යුතුකමක් යැයි කල්පනා කළ මම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති ජලබදු විරෝධී රැස්වීම සඳහා අපගේ ගුරුදේව මහනායක මාහිමියන්ගේ ද ඉල්ලීමට අනුව සහභාගි වූයෙමි. එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකුව සිටි මා එදින කළ කතාව අසා සිටි නිහාල් පෙරේරා මහතා රැස්වීම අවසානයේ මා සමග සුහද කතාබහක යෙදී ඔහුගේම ජීප් රියෙන් පන්සලට එක්කරගෙනවිත් “දේශ විමුක්ති” ප්‍රකාශන කිහිපයක් කියවන්නය කියා දී ගිය බව මට අද වාගේ මතකය. එම පුවත් ප්‍රකාශන දිගින් දිගටම ලබාගෙන කිය වූ මම නිහාල් මහතා සමග තව තවත් සමීපවී ජලබදු විරෝධී සංවිධානයේ ක්‍රියාකාරී හිමිනමක් හැටියට කටයුතු කළෙමි. කොළඹ නගරයේ මෙන්ම තිස්සමහාරාමය, අනුරාධපුරය වැනි ප්‍රදේශවලත් ජලබද්දට විරුද්ධව පැවැති රැස්වීම් ගණනාවක්ම අමතා දේශකයෙකු හැටියටත් සත්‍යග්‍රහ ආදියට සහභාගි වීමටත් මට යන්නට ලැබුණේ නිහාල් පෙරේරා මහතා සමග ඔහුගේ ජීප් රියෙනි. ඒ කාලයේ එම ජීප් රථය හැඳින්වූයේ ද ජලබදු ජීප් රිය යන නමිනි.


මේ වන විට දේශ විමුක්ති මාසික පුවත්පත හා සංවිධානයක්, ගොවිජන සභාව හා කම්කරු මධ්‍යස්ථානයක් බිහිවී තිබිණි. ඒ වන විටත් වලපනේ තෙරිපැහැ ගමේ හේන්
ගොවීන් සිය ගණනක් ලද, අධිකරණ ජය ලබා ගැනීමට මූලික මෙහෙයවීම සිදු කළ නිහාල් පෙරේරා මහතා මාදුරු ඔය අක්කර දස දහස් ගණනක් පැඟිරි වගාවට යැයි මැලේසියානු බහු ජාතික සමාගමකට පැවරීමට දැරූ පරගැති තැත පරාජය කිරීමේ දී ද එප්පාවල පිහිටි දැවැන්ත පොහොර ගල් නිධිය “ආගමිකයෝ” නමැති ඇමරිකානු යෝධ බහුජාතික සමාගම ගිලගැනීමට දැරූ වෑයම පතල් කම්කරුවන් සමග එක්ව පරාජය කිරීමේ සටනේ ද, රජය ගොවි ජනතාව මත ජල බද්ද පැනවීමට පෙර එහි පෙරහුරුවක් ලෙස නාගරික ජල බද්ද පැනවීමට එරෙහි සටනේ ද පුරෝගාමියා විය. ගොවිජනතාව සමග එක්ව සමස්ත ලංකා ගොවි ජන සභාව පිහිටු වීමට මූලික වූ ඔහු එම සභාවේ පුවත්පත වන “ගොවි හඬ” වසර ගණනාවක්ම නොකඩවා ප්‍රකාශ කිරීමට ඔහුගේ පෞද්ගලික ධනය යෙදවීය. කැකිරාව හිටපු මහජන මන්ත්‍රී ඒ. ඇම්. ජිනදාස මහතාගේ මරණයෙන් පසුව එම සභාවේ සභාපති හැටියටත්  “ගොවි හඬ” ප්‍රධාන කර්තෘ හැටියටත් වසර ගණනාවක්ම මට ක්‍රියා කිරීමට වීම නිසා නිහාල් පෙරේරා මහතා ගොවිජන ව්‍යාපාරය පිළිබඳව දැක් වූ උනන්දුව සහ ලබා දුන් සහයෝගය පොත් කිහිපයක රචනා කළත් අවසන් කළ නොහැකිය. ගොවි ජනතාව හෙළන දහදිය, කඳුළු සුසුම, දුක වේදනාව මනාව හඳුනා ගත් ඔහු ගොවි බිම්වල දී ගැමියන් සමග එකට ඒ අයගේම කෑම බීමවලින් සප්පායම් වී තිබීම නිසා ගොවි සමාජය පිළිබඳ අවබෝධයක් ලබා ගෙන තිබුණු බව මට වැටහුණි. අසරණ ගොවි ජනනතාවගේ ජල බදු, අක්කර බදු, ණය වාරික, පොහොර මිල, කෘමි වසංගත, ඉඩම් ප්‍රශ්න ආදී දහසකුත් එකක් ප්‍රශ්න විසඳා යුක්තිය සාධාරණය ඉටුකර දීමට  දිවා රාත්‍රිී නොබලා සිය කාලය, ධනය, ශ්‍රමය වැය කළ ආකාරය කිසිදාක අමතක නොවේ. 


රටක ජීවනාලිය, කොඳු නාරටිය බඳු තරුණ පරපුර පිළිබඳ දැඩි අවධානයකින් සිටිය නිහාල් මහතා විවිධ රැකියාවල නියුතු ඒවාගේම අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා තරුණයන් රැස් කොට ඔවුන්ගේ ශක්තිය රටට හඬගා පෙන්වමින් ඔවුන්ට මුහුණ පාන්න සිදුවෙන විරැකියාව, අධ්‍යාපන ඇතුළු දහසකුත් එකක් ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීමට  “තරුණ ශක්ති” සංවිධානයක් හා එම නමින් ම සඟරාවක් ද ආරම්භ කළ අතර එම සංවිධානයේ ආරම්භක සභාපති හැටියට ක්‍රියා කරන්නට සිදුවිය. 1985 පෙබරවාරි 13 වැනිදා සංශෝධිත විශ්වවිද්‍යාල පනත හා අධ්‍යාපන ධවල පත්‍රිකාවලට එරෙහිව සරසවි සිසුන් ගෙන ගිය සටනට නායකත්වය දෙමින් කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට දියත් කළ පළල් මහජන උද්ඝෝෂණයේ දී නිහාල් පෙරේරා මහතා වියරු වැටුණු ඊනියා ධර්මිෂ්ඨ පොලිසියේ කෲරතර මෘග ප්‍රහාර යනට ලක්විය. එහිදී ඔහු අමානුෂික පහර දීම්වලට ලක්වී වුවද සටන පාවා නොදී ඒ පිළිබඳ කළ ප්‍රකාශය මෙසේය. “මෙම සංහාරාත්මක ව්‍යාපාරයට විරුද්ධව ප්‍රබල, පළල් සජීවී උද්ඝෝෂණයක් ගෙන යෑම සෑම දේශප්‍රේමී සංවිධානයකම පරම යුතුකමය. දැනට සරසවි සිසු අරගලය වටා දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන 60කට ආසන්න සංඛ්‍යාවක් පෙළගැසී සිටීම ධෛර්යට කරුණකි. මෙම සමගිය පටු කිරීම නොව එය අවංකව සටන් ක්‍රියාකාරීත්වයකට පෙරළීම අපට පැවරී ඇති නියම කර්තව්‍යය, පරගැති රජයේ දේශද්‍රෝහී පනත ඉල්ලා අස්කර ගන්නා තෙක් අප සටන ඉදිරියටම ගෙන යා යුතුය. මෙවැනි සටන්වලදී අතරමැදි සමාදානයක් තිබිය නොහැක.”


මෙරට දහසක් වධ වේදනා විඳිමින් නියමිත වැටුපක් පවා නොලැබ දුක් විඳින කම්කරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මහත් වූ දයානුකම්පාවකින් හා කරුණාවකින් නිහාල් මහතා නිතර සේවය කළේය. කම්කරුවනට හාම්පුතුන්ගෙන් සිදුවන අසාධාරණයන්ට, පළි ගැනීම්වලට හා නොයෙකුත් අකටයුතු වැඩ නොඉවසූ ඔහු කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා උසාවි ගණනේ රස්තියාදු වෙමින් සිය ගණනක් නඩු කීවේය. ජනතාවගේ ජීවන වියදම අඩු කරන ලෙස හා තවත් කම්කරු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් 1986 නොවැම්බරයේ දී කම්කරු උද්ඝෝෂණයක් මෙහෙය වමින් සිටිය දී නිහාල් මහතා ප්‍රධාන දේශ  විමුක්ති පක්ෂයේ තිදෙනෙක් මාස ගණනාවක් සිර භාරයේ තබා ගෙන සිටින විට නොසැලී පුදුම උපේක්ෂාවෙන්  යුතුව සිර බත් කෑ ආකාරය අමතක කළ  හැක්කේ කාහටද? 


කොළඹ මහවැලි අමාත්‍යාංශය වට කොට පැවැත්වූ දැවැන්ත ගොවි කම්කරු උද්ඝෝෂණය දා එනම් 1985 සැප්තැම්බර් 11 වැනිදා දේශ විමුක්ති පක්ෂය බිහි කළ නිහාල් මහතා ජනතාවගේ පොදු හා ප්‍රධාන සතුරු බලවේගවලට විරුද්ධව සියලු පක්ෂවල ක්‍රියාත්මක සමගියට පුරෝගාමී මෙහෙයක් ඔහු මියයන තෙක්ම ඉටු කළේය. 


ශ්‍රී ලාංකික පොදු ජන අරගලයේ පෙරගමන්කරුවකු මෙන්ම ලෝ පුරා ජාතික විමුක්ති අරගලවල සැබෑ මිතුරෙකු හා අචල නිර්ධන පංති  විප්ලවවාදියකු ලෙසත් ජාත්‍යන්තරවාදියෙකු ලෙසත් හැඳින්විය හැකි නිහාල් පෙරේරා මහතා ජාත්‍යන්තර අර්බුද පිළිබඳ මෙන්ම පවතින ලෝක තත්ත්වය පිළිබඳවත් දැඩි විමසිල්ලෙන් සිටිය කෙනෙකි.

ගලගම ධම්මරංසි හිමි