ආසියාවේ යෝධයන් මෙල්ල කළ “සිරිලක සිරිකත”10

1964 ඇන්. ඇම්. සිරිමාවෝ හා මෛත්‍රී සම්මුතියට අත්සන් කිරීමෙන් පසු.

බි්‍රතාන්‍ය පාලකයන්ගේ මිතුරු දමෙහි වෙළී තවදුරටත් මෙරටෙහි නායකත්වය දරන්නට අවස්ථාව තිබියදී නොබැඳී පිළිවෙත හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ අගමැති බණ්ඩාරනායක පොදුජනතාව අතරට පිවිස ජනතා සේවයෙහි නියැළීමට තීරණය කර ගත්තේය.


එහෙත් තම මතවාදය පිළිබඳව දරදඬු අනම්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ ධනවාදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමාජවාදී වාමාංශික පක්ෂයත් මෙහිදී ඔහුට ප්‍රතිගාමී වූහ. එදා තම මව් පක්ෂය වූ එජාපයට එරෙහිව සටන් ප්‍රකාශ කළ බණ්ඩාරනායක තුළ කැකෑරෙමින් පැවැති සමාජවාදී අදහස් මාක්ස් ලෙනින් ට්‍රොට්ස්කි හා ස්ටාර්ලින්ගේ සමාජවාදී මත සමග සම නොවිණි.


ලොව පුරාම මෝදුවෙමින් පැවති වාමාංශික ව්‍යාපාරය මෙරට තුළ ජීවමාන වූයේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ තුළිනි. සාර් රජවරුන්ගේ ආධිපත්‍යය බිඳවැටෙත්ම මතුවෙමින් ආ වාමාංශික ව්‍යාපාරය කෙරෙහි අධිරාජ්‍යවාදීන්ගේ සිත්වල වූයේ ක්‍රෝධය මුසු බියකි. එබැවින් මාක්ස් ලෙනින් ට්‍රොට්ස්කි ස්ටාලින් හා මාඕවාදී අදහස් දරන වාමාංශිකයන් පිළිබඳ නොයෙක් අභූත කතා පතුරුවන්නට ඔවුහු තැත් කළහ.


වාමාංශිකයෙක් ආගම ධර්මය නොඅදහන ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන මෘගයන් පිරිසක්ය යන හැඟීම තුන්වැනි ලෝකයට දී තිබිණි. එබැවින් සිංහල නායකයන් පවා සම සමාජ හා කොමියුනිස්ට්වාදීන් දෙස බැලුවේ ආගම් විරෝධී ම්ලේච්ඡ පිරිසක් ලෙසිනි. ධනවාදී පක්ෂයක් වන එජාපය කෙළින්ම ඔවුන්ට එරෙහි විය.


එහෙත් බණ්ඩාරනායක වැනි නම්‍යශීලී මැදුම් පිළිවෙත් අගයන නායකයන් මිත්‍රත්වය සඳහා වාමාංශික පක්ෂවලට අත දිගුකිරීම අරුමයක් නොවිණි. අගමැති බණ්ඩාරනායක පවා ඇන්. ඇම්. කොල්වින්, පිලිප්, වික්‍රමසිංහ වැනි වාමාංශික නායකයන්ට සැලකුවේ එජාපයට වඩා හාත්පසින්ම වෙනස් නම්‍යශීලී ආකාරයෙනි.


නිදහස් සටනට දිරිදුන් වාමාංශිකයන් සමග මැතිසබයේ දී නොයෙක් උණුසුම් වාද විවාදවල පැටලුනත් අධිරාජ්‍ය විරෝධී දර්ශනයක් ඇති වාමාංශිකයන්ගේ මතවාදවලට බණ්ඩාරනායක ගරු කළේය. ඒත් ඔවුන්ගේ දරදඬු පිළිවෙත හාස්‍යයට ලක් කළේය.


බලන්න කතානායකතුමනි ! සභාවේ කොතැනක හෝ අල්පෙනෙත්තක් බිම වැටී තිබෙනු දුටු වහාම කාගේ හෝ කකුලේ ඇනේවි කියා සිත් අනුකම්පාවට අපි එය ඉවත් කර දමනවා. ඒත් වැල්ලවත්ත ගල්කිස්ස නියෝජනය කරන අපේ මන්ත්‍රීතුමා හිතන්නේ මේක ධනපති කාන්තාවකගෙන් වැටුණු දෙයක් වන්නට පුළුවන් කියාය. පෝසතකු එය අහුලා ගත්තොත් එය පක්ෂයට වාසියයිද නිර්ධන පන්තියේ කෙනෙකුගේ කකුලේ ඇනුණොත් එය පීඩිත පන්තියට වුණූ විපතක් කියලයි. ඔහොම තර්ක කරමින් ඉන්නකොට ඒක එයාගෙම කකුලේම ඇනෙන්න පුළුවන්.


බණ්ඩාරනායක අගමැතිතුමා වාමාංශිකයන්ගේ උඩඟු තර්කවලට සමච්චල් කළේ එසේය. එවකට වැල්ලවත්ත ගල්කිස්ස මන්ත්‍රීවරයා වනාහි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ය.


කෙසේ වෙතත් 1956 දී මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ අගමැති වුණු බණ්ඩාරනායක තම කැබිනට්ටුවට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමතරව පිලිප් ගුණවර්ධන වෙතද විලියම් සිල්වා වෙතද ස්වාධීන මන්ත්‍රී ආර්. ජී. සේනානායක වෙත ද අමාත්‍ය තනතුරු පිරිනැමීමට තරම් නම්‍යශීලී විය.


එවකට පිලිප් ගුණවර්ධන විප්ලවකාරී සම සමාජ පක්ෂයේ නායකයාය. අවිස්සාවේල්ල අසුන නියෝජනය කළ පිලිප් ගොවිකම් හා ආහාර අමාත්‍ය ධුරය ද බලපිටිය දෙවැනි මන්ත්‍රී වූ විලියම් සිල්වාට කර්මාන්ත ධීවර කටයුතු අමාත්‍යාංශය ද කැලණිය හා දඹදෙණිය මන්ත්‍රී ආර්. ජී. සේනානායකට වෙළෙඳ ඇමැති ධුරය ද පිරිනැමිණි.


ලොව සියලු රටවල් වෙතම මිත්‍රත්වයේ හස්තය දිගු කළ බණ්ඩාරනායක යුගයේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු ජනරජය සමග පැවැතියේ බිඳිය නොහැකි මිත්‍රත්වයකි.


පනස් හයේ ආණ්ඩුවේ විපක්ෂනායකයා වූයේ සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාය. ඔවුන් දෙදෙනාම සමාජවාදී මාර්ගයේ යන්නවුන් වුවද ප්‍රතිපත්තිවල වෙනස නිසා උණුසුම් වාද විවාදවල කෙළවරක් නොවිණි.


වරක් ඇන්. ඇම්. අගමැතිගේ ක්‍රියාපටිපාටිය දරුණු ලෙස විවේචනය කළේය. කීර්තිමත් පියෙකුගේ අපකීර්තිමත් පුතෙක් ලෙස වරක් ඇන්. ඇම්. බණ්ඩාරනායක හැඳින්විය. කෝපයට පත් බණ්ඩාරනායක ඇන්. ඇම්. ට බැණ වැදුණේ කවුරුවත් නොදන්නා පියෙකුගේ ඊටත් වඩා නොදන්නා පුතකු ලෙසය.


තමා හමුවන ලෙස අගමැති බණ්ඩාරනායක විපක්ෂනායක ඇන්. ඇම්.ට වරක් දැන්වීය. පැරණි සිනමා නළුවකු වූ ඇන්. ඇම්. කලින් පැමිණ අගමැති කාර්යාලයේ දොරටුවේ වීදුරුවෙන් බලමින් කොණ්ඩය හැඩ කරනු දුටු බණ්ඩාරනායක පිටුපසින් පැමිණ ‘ඔය ඇති ඇන්. ඇම්. හැඩවුණා ඇති එන්න ඇතුළට’ යැයි මිත්‍රත්වයෙන් සිනාමුසුව මිතුරා කැඳවා ගත්තේය. ඇන්. ඇම්. තුෂ්නිම්භූත විය.


බණ්ඩාරනායක මැතිනියගේ සමය වන විට පොදු හතුරා කවුරුන් දැයි ඇන්. ඇම්. ඇතුළු සම සමාජයද දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ ඇතුළු කොමියුනිස්ට් පක්ෂය ද තේරුම් ගෙන සිටියහ. ඒ එක්සත් ජාතික පක්ෂයයි.
බණ්ඩාරනායක යුගයේ ගත් සමාජවාදී තීරණ සෝවියට් සංගමය රතු චීනය ඇතුළු සමාජවාදී රටවල් සමග දැක්වූ මිත්‍රත්වය ජනසතු ව්‍යාපාර මූල්‍යමය තීරණ හා සංවර්ධන ක්‍රියාවද වලංගු ශ්‍රීලනිපය හා වාමාංශික පක්ෂ අත්වැල් බැඳගත්තේ එබැවිනි.


නොබැඳි ප්‍රතිපත්තිය අගයන සෑම රටකටම ගිය අගමැතිනි බණ්ඩාරනායක ඔවුන්ගේ ආධාර උපකාර රටේ දියුණුවට ලබාගත්තාය. රතු චීනය හා සෝවියට් රුසියාව යුගෝස්ලාවියාව කියුබාව වැනි පූර්ණ සමාජවාදී රටවලට මෙන්ම ධනේෂ්වරවාදී බලකඳවුරුවල පිහිටි බි්‍රතාන්‍යයට හා ඇමරිකාවටද ඇය මිත්‍රත්ව ලීලාවෙන් ගියාය.


ලෝක බැංකු නායකයන් සමග සිරිමාවෝ මැතිනිය කළ විස්තර අදහස් දැක්වීම ජනමාධ්‍ය එදා වාර්තා කළේ මෙසේය.


‘ඔබෙන් මගේ රටට ලැබෙන වානේ හා රබර් කර්මාන්ත ශාලාත් මහාමාර්ග හා කාර්මික උපදේශන සුහදව භාරගැනීමට ශ්‍රී ලංකාවේ අගමැතිනිය ලෙස මා කැමැති නමුත් ඒ එක්කම එන දේශපාලන දර්ශනය පිළිගැන්වීමට මං සුදානම් නෑ’

 

මෙම පුවත වාර්තා කළේ 1971.10.20 වැනිදා ඇමරිකාවේ වොෂින්ටන්හි වොෂින්ටන් පෝස්ට් පත්‍රයයි. අපේ තේ විකුණා ගැනීමත් ඒත් පිල් නොබෙදීමත් ලංකාවේ අරමුණයි යනුවෙන් ඬේලි නිවුස් පත්‍රයේ පළවිය. ඉන්දියන් සාගරයේ වෙසෙන නොබැඳුණු කුඩා ජාතින්ට සැනසිල්ලේ ඉන්න දෙන්නැයි මැතිනිය ඇමරිකාවෙන් ඉල්ලුවාය. දකුණු ආසියානු කලාපීය කටයුතු ගැන ජනාධිපති නික්සන් සමග ඇය සාකච්ඡා කළේ රටේ අනන්‍යතාව රැකගනිමිනි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ලංකා සම සමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂයත් අතර ඇති කර ගත් පොදු වැඩ පිළිවෙළට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අත්සන් තැබූහ. එහිදී නායකයෝ පන්සිල් සමාදන් වූ අයුරු.

 

 

1964 ජුනි 11 වැනිදා ශ්‍රීලනිපය හා ලංකා සම සමාජ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සම සමාජවාදී පදනම මත ඇතිකරගත් පරමාර්ථ 14 ක් අඩංගු සමගි සම්මුතියට පෙරවරු 10.50 ට අත්සන් තැබූවේය. මෙම එකමුතුව ගැන සති කිහිපයක සිට පැවැති කසුකුසුව නිමා කරමින් සමගි රජයේ නව අමාත්‍ය මණ්ඩලය රජගෙදර දී සිරිමාවෝ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් දහවල් 12.00 ට යෙදුණු සුබ මොහොතින් දිවුරුම් දුන්නේය.


මුදල් ඇමැති ධුරය පිරිනැමුණේ ලංකා සම සමාජ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාටය. චම්ලි ගුණවර්ධනට රජයේ වැඩ අමාත්‍ය ධුරය පැවරිණි. අනිල් මුණසිංහට ජනසතු සේවා ඇතුළු ගමනාගමන කටයුතු ඇමැති ධුරය පැවරිණි.


ශ්‍රීලනිපයේ සී. පී. ද සිල්වා ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල ඇමැති ධුරයද ටී. බී. ඉලංගරත්නට වෙළෙඳ ඇමැති ධුරය ද පීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක ගොවිකම් ආහාර හා ධීවර කටයුතු ඇමැති ධුරයද පී. බී. ජී. කළුගල්ලට අධ්‍යාපන ඇමැති ධුරය ද මෛත්‍රීපාල සේනානායකට ග්‍රාම සහ කර්මාන්ත සංවර්ධන ඇමැති ධුරයද මයිකල් සිරිවර්ධනට කම්කරු හා නිවාස ඇමැති ධුරයද මහානාම සමරවීරට තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධුරයද ඩී. ඇස්. ගුණසේකරට සංස්කෘතික ඇමැති ධුරය ද ජී. සී. ටී. එස්. සිල්වාට අධිකරණ ඇමැති ධුරයද පිරිනැමිණි.


ආසියාව හෙල්වූ සමාජවාදී පක්ෂවල මෙම එකමුතුව දේශපාලන ඉතිහාසයේදී සැලකෙන්නේ 1956 දී සිදුවූ මහා පෙරළියට දෙවැනි නොවන විප්ලවයක් ලෙසිනි. අගමැතිනිය ඇන්. ඇම්. ඇතුළු සමාජවාදී ඇමැතිවරුන් හා ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිවරාගෙන රජගෙදර දොරටුවෙන් ඇතුළු වන විට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව නැගූ ඔල්වරසන් හඬ රජවීදිය පුරාම දෝංකාර දුන් බව ජනමාධ්‍ය පළකළේය.


වාමාංශිකයෝ සිංහල බෞද්ධ විරෝධීන් ලෙස අධිරාජ්‍යවාදීන් හා මෙරට ධනවාදීන් පතුරා තිබූ බේගල් සාවද්‍ය බවට සනිටුහන් කරමින් සමාජවාදී ඇමැතිවරු ද කැලණිය විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් බුදුන් වැඳ සෙත් පිරිත් දෙසුමකට ද සහභාගි වූහ.


ප්‍රධාන අනුශාසනාව කරන ලද්දේ මහාචාර්ය බඹරැන්දේ සිරිසීවලී හිමියන් විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් ඇතුළු මහසඟරුවනගේ ආශිර්වාදය ඔවුනට හිමිවිය. මගදිගට රැස්කමින් සිටි ජනතාව සමාජවාදී ඉදිරිගමනට ජයවේවා, ගොවි කම්කරු රජයට ජයවේවා කියමින් ප්‍රීති ඝෝෂා කළ අතර සමහරු නොකඩවාම ජාත්‍යන්තර කම්කරු ගීතය ගැයූ බව කියති.


රජගෙදරදී දිවුරුම් දුන් වහාම එහි සිට උත්තර මන්ත්‍රී මණ්ඩල ශාලාව දක්වා ගොවි කම්කරු දෑතින් ඇන්. ඇම්. චම්ලි හා අනිල් මුණසිංහ යන ඇමැතිවරු ඔසවාගෙන යන ලදී. මෙම සමාජවාදී සම්මුතිය ගැන දෑස් දල්වා ගෙන සිටි වාමාංශික පිරිසක්ද වූහ. ඒ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයයි.


1965 දී සමගි රජය එජාපය ඇතුළු හත්හවුල් ආණ්ඩුවට පරාජය විය. ඒ සමාජවාදී ගමනට එල්ලවූ බලපෑම් හා කුමන්ත්‍රණ හමුවේය. 1968 වන විට සමාජවාදී ඉදිරි ගමන පිළිබඳ නැවුම් බලාපොරොත්තු ශ්‍රීලනිපය ඇතුළු වාමාංශික බලවේග අතර ඇතිවිය. එජාප ආණ්ඩුවෙන් ජනතාවට එල්ලවූ පීඩා, මර්දන හා ආර්ථීක හා දේශපාලනික අර්බුද හමුවේ මැතිනියගේ අගය වැඩිවැඩියෙන් දැනෙන්නට විය.


1968 ජුනි මස 05 වැනිදා සම්මුතිය එහා ගිය නව ගිවිසුමක් මගින් ශ්‍රීලනිපය සම සමාජය හා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සමාජවාදී කඳවුර ශක්ති සම්පන්න කෙරිණි.


එදින රාත්‍රී 8.30 ට යෙදුණු සුබ නැකැතින් පොදු වැඩපිළිවෙළට එකඟවූ සම සමාජ කොමියුනිස්ට් නායකයෝ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ දී ඊට අත්සන් තැබූහ. අනතුරුව ඇන්. ඇම්., කොල්වින්, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන් ආදී කොටගත් නායකයෝ පන්සිල් සමාදන් වූහ. 1970 ජයග්‍රහණය එහි ප්‍රතිඵලයයි. 1956 දී ඇරඹූ සමාජවාදී ගමන 1972 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බිහිවන තෙක් ගෙන යාමේ ගෞරවය හිමිවන්නේ බණ්ඩාරනායක මැතිනියටය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි