රණ විරුවන් ගැන මේ දිනවල ඇසෙන කතා බොහෝය. බහුතරය ඇසෙන්නේ දේශපාලන වේදිකාවෙනි. ඒවා ගැන අපි අවධානය යොමු නොකරමු. එයට ප්‍රධාන හේතුව මේ මැතිවරණ අවධියක් වීමයි. දෙවැන්න දේශපාලනය සමස්තයක් වශයෙන්ම වෙනස්වනසුලු, තාවකාලික එමෙන්ම කිසිදු ස්ථාවරයක් නැති ක්ෂේත්‍රයක් බව අප අත්දැකීමෙන්ම දන්නා බැවිනි. කරන දේ කියන, කියන දේ කරන අය එම ක්ෂේත්‍රයේ විරලය. මෙය අසත්‍යයක් නොවන බවට එකම දරුවාගේ හිස මත අත තබා දිව්රිය හැකි පමණට අත්දුටු සත්‍යයකි. එසේ නම් අපි දේශපාලන වේදිකාවේ ඇසෙන ගොඩ ගෙරවීම්වලට කුමට අවධානය යොමු කරමුද? 
 
යුද්ධය යනු විනාශයයි. ලෝකයට යුද්ධය කවදා බිහිවූවේදැයි දන්නා කෙනෙකු නැත. එය එතරම්ම පැරණිය. එක් යුදෙව් වෘත්තාන්තයක මෙසේ කියැවේ. මානව ශිෂ්ටාචාරයේ ආදිම මිනිසා ආදම් ලෙසත් ආදිම කාන්තාව ඒව ලෙසත් සලකනු ලැබේ. එම යුවතිපතින්ට පුතුන් දෙදෙනෙක් සිටියහ. ඔවුන් දෙදෙනා කායින් සහ ආබෙල් නම් වූහ. මේ දෙදෙනා අතර ඇතිවුණ ආරවුලක් පසුකාලීනව මහා යුද ගැටුමක් බවට පත් වූ බව කියනු ලැබේ. වසර දහස් ගණනක් පුරා ලොව භීතියෙන් සලිත කරමින් පැවත එන පලස්තීන - ඊශ්‍රායල් ගැටුමේ ආරම්භය මෙම ආරවුලේදී කායින් විසින් ආබෙල්ව මරා දැමීමේ සිදුවීම බව කියැවෙන පොතක් මම අරාබියේදී කියවීමි.
 
අනාදිමත් අතීතයකට පෙර ක්‍රිස්තු පූර්ව යුගයේ සිදුවූවායයි කියවෙන කායින්ගේ සහ අබෙල්ගේ ගැටුමේ විස්තර ගැන අප නොදන්නා නමුදු අපට මතක කාලයේ 1967 ජුනියේ සිදුවූ සය දින යුද්ධයේදීත් 1973 ඔක්තෝබරයේදීත් ගාසාතීරයේ සිනායි කාන්තාරයේ ජෙරුසලමේ, ගෝලාන් කඳුකරයේ මෙන්ම සූවස් ඇළේ දෙපසද ඇලෙක්සැන්ඩි්‍රයාවේ, පෝට් සෙයිඞ් වරාය ප්‍රදේශවලත් මිහිමත ඇද වැටුණු දස දහස් ගණන් මිසර සිරියානු ජෝර්දාන හා ඊශ්‍රායල සොල්දාදුවන් ගැන අපි අසා ඇත්තෙමු. එම පුවත් කියවා ඇත්තෙමු.
ලෝක ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නේ යුද්ධවලින් පිරුණු කතා පුවත්ය. ඈත අතීතයේදී යුරෝපයේ බොහෝ රජවරු එක්ව පලස්තීනය අල්ලා ගැනීම සඳහා මැදපෙරදිගට ගියහ. ඒ ආගමික යුද්ධයක් වෙනුවෙනි. කුරුස යුද්ධ නමින් සඳහන් වන මම ගැටුම් වසර සියයක් පමණ පැවති බව කියනු ලැබේ. ගොඞ්ෆ්‍රී නමැති හමුදා ප්‍රධානියෙක් මහා මිනිස් සංහාරයක් සිදුකර ජෙරුසලම අල්ලාගෙන එහි රජ වූවේය. එම විනාශය දුටු ප්‍රංශ වාර්තාකරුවෙකු මෙසේ සටහන් කර ඇති බව ශ්‍රී නේරු තම කෘතියක සඳහන් කර ඇත.” දේවස්ථානයේ පෝටිකෝවේ බිම දණක් උසට තිබුණු ලේ විල අශ්වයන්ගේ කටකලියාව දක්වාම තිබුණේය. එම යුද්ධයේ විනාශ එබඳු විය. දේශ සීමාවන් පුළුල් කර ගැනීම හා වෙනත් දේශපාලන හේතූන් මත පමණක් නොව වෙනත් පෞද්ගලික හේතු නිසාද රජවරු යුද වැදුණහ. වෙනකක් තබා රුසිරු ලලනාවන්ගේ පහස ලබා ගැනීම සඳහා ද රජවරු යුදයට එළඹුණහ. පැරිස් කුමරු අන්සතු ලලනාවක් වූ හෙලන් කුමරිය පැහැරගෙන ඒම නිසා ඇති වූ යුද්ධයට විවිධාකාර දස්කම් ඇති සොල්දාදුවන් සහ සෙන්පතියන් මැදිහත් වීමෙන් වසර ගණනාවක් පුරා ඇදී ගිය ට්‍රෝජන් පුර මහ සටන ගැන හෝමර්ගේ ඉලියඞ් සහ ඔඩිසි යන වීර කාව්‍යවල සඳහන් වේ. මේවා සත්‍ය සිදුවීම් නම් මේ මහා සංග්‍රාමවලදී දිවි පිදූ මිලියන ගණනක් වූ යුද සෙබළුන් වනාහී මව්වරුන්ගේ කුසින් වැදූ දරුවෝය. ආදරණීය බිරින්දෑවරුන්ගේ ජීවිතයට ශක්තිය දෙන සැමියන්ය. තමන් නිසා ජනිත වූ ආදරණීය දූ දරුවන්ගේ පියවරුය. මෙම සෙබළුන්ගේ මියයාම එම ආදරණීයයන්ට මහත් දුකකි. සංවේගයකි. පාඩුවකි. එය දරාගත නොහැක්කකි. මෙවැනි දුක් අඳෝනා පසුගිය තිස් වසරක යුද්ධය පුරා අපි අසා ඇත්තෙමු. වත්මනේදීද අසන්නෙමු. 
 
ඔස්ටි්‍රයානු අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වූ ප්‍රැන්සිස් ෆර්ඩිනන්ඞ් මහා ආදිපාදවරයා තම යටත් ප්‍රදේශයක් වූ බොස්නියාවේ සර්ජෙවෝ නගරයේ සිය දේවියද සමඟ සංචාරයක යෙදෙමින් සිටියදී එම රාජකීයයන් දෙපොළම සාහසිකයෙකු විසින් ඝාතනය කරන ලදී. ඒ 1914 ජූනි 28 වැනිදාය. එය මූලික හේතුව බවට පත්කොටගෙන එමෙන්ම ආර්ථික, දේශපාලන, ආරක්‍ෂක, වෙළෙඳ යන හේතු මත කාලයක් පුරා බලවතුන්ගේ සිත් යට තිබුණු කුඩුකේඩුකම් හා ඊර්ෂ්‍යාවන් මෝරා යාමක් හේතුකොට ගෙන සමස්ත යුරෝපයම එකම යුද ගිනි ජාලාවක් බවට පත් විය. විලියම් කෛසර් අගරජු යටතේ ජර්මනියත්, සුල්තාන් මහමුද් හුසේන්ගේ තුර්කියත්, ජෝසප් ෆ්‍රැන්සිස් අධිරාජයාගේ ඔස්ට්‍රොහන්ගේරියානු අධිරාජ්‍යය එක් පසෙකත්, බි්‍රතාන්‍යය, ප්‍රංශය තවත් පසෙකටත් වශයෙන් බෙදී පුරා වසර හතරක් තිස්සේ කරගෙන ගිය පළමු ලෝක මහා යුද්ධය නිසා සිදුවූ සම්පත් හා දේපොළ විනාශය කිසිදු දිනෙක තක්සේරු කළ නොහැකි වනු ඇත. එහෙත් ප්‍රකාශයට පත් වූ එක් වාර්තාවක දළ වශයෙන් මෙසේ දක්වා ඇත.
 
මියගිය භටයන් (දන්නා) 1,60,00,000 (එක්කෝටි හැට ලක්‍ෂයකි)
මිය ගිය බවට (විශ්වාස කරන) 20,000,00 (විසි ලක්‍ෂයයි)
මියගිය මහජනයා 130,000,00 (එක්කෝටි තිස් ලක්‍ෂයයි)
තුවාල ලද්දෝ 200,000,00 (කෝටි දෙකයි)
සිරකරුවෝ 30,00,000 (තිස් ලක්‍ෂයයි)
යුද්ධයෙන් අනාථවූවෝ 90,00,000 (අනූ ලක්‍ෂයයි)
යුද්ධයෙන් වැන්දඹුවූවන් 50,00,000 (පනස් ලක්‍ෂයයි) 
 
යුද්ධයේ අයවැය ලේඛනය එබඳුය. මෙම විනාශය ගැන ඇසූ බි්‍රතාන්‍යයේ ප්‍රකට කවියෙකු වූ සදේ මෙසේ සටහන් කළේය.
 
යුද දිනූ ඈපා - කරා පැසසුම් ගලා ආවා
එහෙත් ඉන් අත්වුණු - සුගතිය කුමක්දැයි පොඩි
පැටික්කිය ඇහුවා - “එය මට කියන්නට බැහැ
එහෙත් ඈපාගේ - දිනුම නම් ඉතාමත්ම ඉහළයි
 
යුද්ධයේ දිනුමක් නැත යන සත්‍යය මේ කියුම්වලින් මනාව පැහැදිලි වේ. යුද්ධය යනු කොයි අතින් සැලකුවත් විනාශයයි. එම විනාශයට ප්‍රථමයෙන් මුහුණ දෙන්නේ පෙරමුණේ යන සෙබළාය.
 
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය බොහෝ අසීරුතාවන්ට මුහුණ පෑවාය. මේවායින් ප්‍රධාන වූවේ යුද්ධයට පැටලුණු රටවල් වෙත ගෙවන්නට සිදුවූ යුද වන්දියයි. යුද්ධයෙන් තමන්ට සිදු වූ හානියට අමතරව මෙවැනි විශාල වන්දියක් ගෙවන්නට සිදුවීමත් සමස්තයක් වශයෙන් මෙම සිද්ධි මාලාව නිසාම ජර්මනිය මහත් සිත් තැවුලකට පත්විය. තම අභිමානයට විශාල හානියක් වූවේ යැයි එරටට හැඟී ගියේය. මෙසේ පළමු ලෝක යුද්ධයෙන් සිදුවූ පාඩුව සහ අවමානය මකා ගැනීම සඳහා ජර්මනියේ අලුතෙන් බලයට පත් වූ නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් නැවතත් එම රට යුද්ධයකට ඇද දැම්මේය. එය නිමාවූවේ කබලෙන් ලිපට වැටීමෙනි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ අති බිහිසුණු අත්දැකීම විඳින්නට සිදුවූවේ රුසියානු යුද පෙරමුණේදීය. එය සමූලඝාතනයක් ලෙස හිට්ලර්ම හැඳින් වූවේය. එම ආක්‍රමණය සඳහා මෙතෙක් ඉතිහාසයේ කෙදිනක හෝ නොයොදන ලද තරමේ සේනාවක් යුද පෙරමුණට යැවීමට හිට්ලර් වගබලාගත්තේය. ලක්‍ෂ තිස් දෙකක හමුදාවක් රුසියාවට යැවුණි. මෙම සටනේදී අවුරුදු හතරක් ඇතුළත හමුදා සෙබළු එක් කෝටි හැට අට ලක්‍ෂ පනස් දහසක් මිය ගිය බව යුද වාර්තාවන්හි දැක්වේ. මෙවැනි සටන්වලදී මිය ගිය මේ සා විශාල රණවිරුවන්ට හිමිවූවේ කුමක්ද? ඔවුන් වැගුරූ රුධිරය ගංගාවන්ට සාධාරණය ඉටු වීද? නැත ලොව සමහර ප්‍රධාන නගරවල ඉදි වූ නාඳුනන සොල්දාදුවාගේ ප්‍රතිමාවලට පමණක් ඔවුන්ගේ වීරත්වය හා දේශ මාමකත්වය සීමා වී ගියේය. අපේ රටට රණවිරුවන් බිහිවීම ඇරඹුණේ 1983 දී බෙදුම්වාදී යුද්ධය ඇරඹීමෙන් පසුවය. එයට පෙර අපේ රටේ ත්‍රිවිධ හමුදාව සම්ප්‍රදායික උත්සවවලට සහභාගි වීම සහ වැඩවර්ජනවලදී රජයට සහායවීම පමණක් නියමිත රාජකාරිය බවට පත්ව තිබුණි. අධික වැය බරක් දරමින් හමුදා තුනක් නඩත්තු කරන්නේ කුමකටදැයි සමහරු ප්‍රශ්න කළහ. එහෙත් එම මතවාද සියල්ල උඩු යටිකුරු කරමින් ඉතිහාසය අලුතෙන් ලියවෙන්නට පටන් ගත්තේය. උතුරේ ත්‍රස්තවාදී කල්ලි කීපයක් බිහිවී ඇති බවත් ඔවුන් විවිධාකාර ක්‍රියාකාරකම්වල නිරත වන බවටත් ප්‍රවෘත්ති මාධ්‍යවල පළවෙමින් තිබුණි. බැංකු මංකොල්ලකෑම්, ළමා වියේ දරුවන් පැහැරගෙන යාම් ආදියෙන් ආරම්භ වූ ත්‍රස්ත ක්‍රියා 1975 ජූලි 26 වැනි දින යාපනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ ඇල්ෆ්‍රඞ් දොරෙයප්පා මහතා මරා දැමීමෙන් වෙනස් මගකට යොමු විය. මෙම ඝාතනයට සම්බන්ධ වූවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ ඔහුගේ හිතවතුන් වූ කලාපති, පද්මරාජා හා සෙට්ටි යන අයයි. කොල්ලන්ගේ ක්‍රියා නමින් දෙමළ ජ්‍යෙෂ්ඨයන් හැඳින් වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ගැන විශ්වාසය උතුරේ තරුණයන් වෙතින් ගිලිහී යමින් තිබුණි. ඒ වෙනුවට භීෂණය කරළියට ආවේය. 1977 මහා මැතිවරණයේදී ද්‍ර.එ.වි. පෙරමුණෙන් තරග කර මැති සබයට අවුත් පසුව එක්සත් ජාතික පක්‍ෂ රජයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඇම්. කනකරත්නම් මහතාද 1978 ජනවාරි 27 වැනිදා කොළඹදී වෙඩි තබා මරා දමනු ලැබීය. ජාතික දේශපාලනයට සම්බන්ධ වීම මරණයෙන් වන්දි ගෙවිය යුතු වරදක් ලෙස මේ වන විට උතුරේ ත්‍රස්ත කල්ලි පිළිගෙන තිබුණි. මෙම අපරාධය ගැන සොයා බලා විමර්ශනය කිරීම පිණිස පොලිස් නිලධාරීන් පිරිසක් උතුරට යැවීමට පොලිසිය පියවර ගත්තේය. එම පොලිස් පිරිසේ නායකයා වූවේ පොලිස් පරීක්‍ෂක බස්තියන් පිල්ලේය. උප පොලිස් පරීක්‍ෂක පේරම්බලම්, සාජන්ට් බාලසිංහම් සහ රියදුරු සිරිවර්ධන යන සිව්දෙනා මෙම පරීක්‍ෂණ සඳහා මන්නාරම ප්‍රදේශයට ගියහ. මහ වන මැද ගොවිපොළක් දුටු මෙම නිලධාරීහු පිපාසයට දිය පොදක් ඉල්ලාගෙන බීමට එම ගොවිපොළට ගියහ. අවාසනාවට එය ගොවිපොළක් නොව ත්‍රස්තවාදී තරුණයන්ගේ තිප්පොළක් වූවේය. වතුර ඉල්ලා පැමිණි පොලිස් නිලධාරීන් හතර දෙනාම මරා දැමූ ත්‍රස්තවාදීහු සිරුරුද විනාශ කළහ. මේ අයට සිදුවූවේ කුමක්දැයි යන්න රහසක් විය. මහ වනය මැද දර කපමින් සිටි අයෙකු මෙම සිදුවීම දැක තිබුණේ ගසක් මුදුනේ සිටියදීය. එසේ නොවූවා නම් මෙම අපරාධය සදාකාලික රහසක් වන්නට ඉඩ තිබුණි. පසුව ඔහු මේ බව අරක්‍ෂක අංශවලට දන්වා තිබුණි.
 
මෙසේ උතුරේ තත්ත්වය නරක අතට හැරෙමින් තිබියදී රජය හදිසි නීතිය පනවා උතුරේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට හමුදාව යෙදවීය. එතැන් සිට කටයුතු පැවරුණේ හමුදා සෙබළුන්ටය. හමුදා සංචාර වැඩිවිය. 
 
මේ අතරතුර ඇති වූ සිදුවීමකදී චාල්ස් ඇන්තනී හෙවත් සීලන් නමැති ත්‍රස්තවාදියාට ආරක්‍ෂක අංශ අතින් වෙඩි වැදුණි. ඇවිදගත නොහැකි ලෙස බරපතළ තුවාල ලැබූ සීලන් පසුව මරුමුවට පත්විය. මොහු ප්‍රභාකරන්ගේ හොඳම සගයා විය. මෙකල ප්‍රභාකරන් ඉන්දියාවේ සැඟවී සිටි අතර උතුරේ භීෂණය මෙහෙයවූවේ සීලන් බව කියැවේ. තම හොඳම හිතවතාගේ මරණය සැලවීමෙන් නායකයා මහත් කෝපයට පත් විය. රජයටත්, හමුදාවලටත් රිදෙන අන්දමේ පිළිතුරක් දී පළිගත යුතු යැයි ඔහු තීරණය කළේය. මේ  වන විට උතුරේ සිටි ප්‍රභාකරන් තම කිට්ටුම සගයන් කීප දෙනෙකු සමඟ එක් වී තීරණාත්මක පියවරක් ගත්තේය.
 
දිනය 1983 ජූලි මස 23 වැනිදා වූවේය. එදින මධ්‍යම රාත්‍රිය එළඹෙමින් තිබුණි. ප්‍රභාකරන් තම කිට්ටුම සගයන් වූ සෙල්ලකිලි, අප්පයියා, කිට්ටු, වික්ටර් පොන්නම්මන්, ගණේෂ් සන්තෝෂම්, පුලේන්ද්‍රන් බෂීර් කාකා ලිංගම් සහ රන්ජන් ආදීන් කැඳවා ගත් ඔහු යාපනයේ සිට පලාලි දක්වා යන මාර්ගයේ තිරුනෙල්වෙලි මංසන්ධියේ මහපාර හාරා බිම් බෝම්බයක් වැළලූහ. අවට සැඟවී සිටි ඔව්හු ගොදුරක් පැමිණෙන තුරු කල් මැරූහ. යාපනය නගරයේ මාර්ග පරීක්‍ෂා කරමින් මුර සංචාරයේ යෙදුණු ෆෝ ෆෝ බ්‍රේවෝ හමුදා ඛණ්ඩයට අයත් ට්‍රක් රථයක් හා ජීප් රියක් මෙම මග ඔස්සේ ගමන් ගත් අතර සැඟවී සිටි ත්‍රස්තවාදීහු මාර්ගයේ වළලා තිබුණු බිම් බෝම්බය පුපුරුවා හැරියහ. ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු රණවිරුවන් දහතුන් දෙනෙක් මෙම සිද්ධියේදී මරු වැළඳ ගත්හ. එයට පෙරද රණවිරුවන් කිප දෙනෙකු මරණයට පත්ව සිටියත් ප්‍රබලම සමූහ ඝාතනයකට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය විය. වාහනයේ ගමන් කළ පහළොස් දෙනාගෙන් ලාන්ස් කෝප්‍රල් අයි.ඇම්. සුමතිපාල සහ කෝප්‍රල් ආර්. ඒ. යූ. පෙරේරා යන දෙදෙනා පමණක් ඉතා අසීරුවෙන් ජීවිතය බේරා ගත්හ. සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී තිබුණු මෙම සෙබළ මළ සිරුරු පසු දින රාත්‍රියේ කොළඹ කනත්තේදී රහසිගතව ආදාහනය කිරීමට කටයුතු සැලසුම් කරන ලද්දේ වුවද එය අසාර්ථක විය. මෙම ආදාහනය පිළිබඳව දැනගත් කොළඹ ජනයා කනත්තට බහුල වශයෙන් රැස්වූහ. උතුරේ සිදුවූ මෙම සාහසික අපරාධයෙන් කෝපයට පත් වූ ජනයා කෝපයෙන් වියරු වැටුණහ. ඔවුන්ගේ එම විරෝධය එල්ල වූවේ කොළඹ පදිංචි දෙමළ ජනතාව වෙතටය. මෙහි නියමුවෝ සියලු දෙනා අවංකවම හමුදා පිරිස් ඝාතනය වීම ගැන කනගාටුවූවෝ පමණක් නොවූහ. මංකොල්ල කෑමට හා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලන්නෝද මේ අතර වූහ. මෙම කැරලිකාරී ස්වභාවය රට පුරා පැතිර ගියේය. ජාතිවාදී ගිනි ජාලාවක් නිර්මාණය විය. දුර දිග නොබලා කටයුතු කළ ටික දෙනෙකුගේ අමනෝඥ පියවරයන් නිසා රටටත් විශේෂයෙන් සිංහල ජනවර්ගයාටත් විශාල අපකීර්තියකට මුහුණ දීමට සිදුවිය. ත්‍රස්තවාදීහු ද මෙම සිදුවීම් මාලාව තම වාසියට යොදා ගනිමින් ජාත්‍යන්තර අනුකම්පාව තමන් වෙත යොමුකර ගැනීමට නොයෙකුත් කපටි උපක්‍රම භාවිත කළහ. තිස් අවුරුද්දක් තිස්සේ බලගතු ජාත්‍යන්තර ප්‍රශ්නයක්ව පැවති මහා යුද්ධයක් ආරම්භ වූවේ ඒ ආකාරයෙනි.
 
 
 
ඉතිරිය ලබන සතියට
 
 
 
 
 
 
 
 
 
 
 
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි