‘හර්තාල්’ නමැති අපූරු දේශපාලන සටන් පාඨය අපේ රටට හඳුන්වා දුන්නේ වමේ කඳවුරයි. ඒ 1953 අගෝස්තු 13 වැනිදාය. වසරේ අය වැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මෙසේ පැවසීය. 


“පසුගිය වසර හය පුරා මගේ මොළයට වධ දුන්නේ ආර්ථික හා මූල්‍යමය ප්‍රශ්නයයි. අපේ බාහිර වත්කම් සිඳී යාම නිසා අපට සිදුව ඇති අකරතැබ්බයට පිළියම අය වැය පරතරය පියවීමයි. ඊට හොඳම පියවර නම් ආහාර සහනාධාරය කපා හැරීමයි.” පාලක එක්සත් ජාතික පක්ෂයේ අනුමැතිය අනුව ආහාර සහනාධාරය ඉවත් වූ අතර හාල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා තුන් ගුණයකින් වැඩි කෙරෙන සෘජු අය බදු හා සුඛෝපභෝගී භාණ්ඩ සඳහා තීරු බදු මෙන්ම දුම්රිය තැපැල් ගාස්තු වැඩි වූ අතර පාසල් ළමුන්ගේ දිවා ආහාරය නතර කෙරිණ. 


මේ ආදී දරදඬු තීරණ නිසා අසරණ වූ ජනතාව අවදි කර එම යෝජනාවලට එරෙහිව කරුණු පහදා දී ගාලු මුවදොර පිටියේ මහ රැලියක් පවත්වා සමස්ත ලංකා වැඩ වර්ජනයක් ඇතුළු උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළේ ඇන්. ඇම්. හා පීටර් කෙනමන් යන ජනප්‍රිය නායකයන් ප්‍රමුඛ වමේ කඳවුරයි. හර්තාලය සම්පූර්ණයෙන්ම සාර්ථක වූ අතර උමතු භාවයට පත් පාලකයන්ගේ අණින් වර්ජකයන්ට හා සාමාන්‍ය ජනතාවට පොලිසිය විසින් පහර දී වෙඩි තැබීම නිසා දස දෙනෙක් මරු මුවට පත් වූහ. මෙම නිරපරාධී ලේ වැගිරීම නිසා හර්තාලය නවතා වැඩට යන ලෙස වමේ නායකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.


“මිනිසුන් මරමින් මට  අගමැතිකම් කරන්න බෑ,” කියමින් ඇමැති ඩඞ්ලි තනතුරින් ඉල්ලා අස් වූ අතර ජේ. ආර්. මුදල් ඇමැති ධුරයෙන් අස් විය. හර්තාල් කළ බවට චෝදනා ලැබු 93 දෙනෙකු ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා නිදහස් කර ගත් අතර යළි සහල් මිල යථා තත්ත්වයට පත් විණ. 


1956 දී බණ්ඩාරනායක මැතිඳුන්ට ජයග්‍රහණය සැලසුණේ එදා වමේ නායකයන් මෙරට නිර්ධන පන්තිය හර්තාලය තුළින් පුබුදුවාලීමේ ආශිර්වාදය තුළිනි. සුදු අධිරාජ්‍යවාදීන්ට මෙන්ම මෙරට කළු සුද්දන්ට එරෙහිව සටන් කළ වමේ නායකයන් අතර පීටර් කෙනමන් සහෝදරයාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ නිසාම ඔහුගේ 102 වන ජන්ම දිනය නිමිත්තෙන් ගිය සතියේ දී මරදාන හන්දියේ වට රවුම පීටර් කෙනමන් චතුරශ්‍රය ලෙස නම් කෙරිණි. 
1917 ඔක්තෝබර් මස 03 වැනිදා උපත ලද පීටර් කෙනමන් කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. රීඞ් මාවතේ බෙලයාර් නිවසේ ආදායම්ලාභී බැරිස්වර්වරයකු මෙන්ම අග්‍ර විනිශ්චය කරු ද වූ පියා සතුව තිබු විෂය ඥානය මෙන්ම දේශපාලන ඥානය පීටර්ට පූර්වාදර්ශයක් විය. 1913 දී ඔහු මව්පියන් සමග බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රට වල සංචාරය කළේය. 


ජර්මනියේ නායකත්වය දැරූ හිට්ලර්ගේ ක්‍රියාකාරකම් තුළින් හා යටත් විජිත රටවල නැගී එන විප්ලවකාරී අරගල තුළින් පීටර්ට දේශපාලන ඥානය පහළ වූ අතර පියාගේ පොත් රාක්කයේ තිබු ලෙනින් ලියූ අධිරාජ්‍යවාදය ග්‍රන්ථය කියවා සමාජවාදය ගැන අවබෝධයක් ලැබීය. 
එකල වම ගැන හැඟීමක් රට තුළ රෝපණය වෙමින් පැවතුණත් නායකත්වයක් නොවූ අතර පිටර් කෙනමන් ඇන්. ඇම්. කොල්වින් රොබට් වැන්නවුන් හඳුනා ගත්තේය. 1936 දී උසස් අධ්‍යාපනය සඳහා බි්‍රතාන්‍යට ගොස් කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරියකු ලෙස 1938 දී පිටවුණු පිටර් කෙනමල්, එස්. ඒ. වික්‍රමසිංහ, පෑලියගොඩ දී ඒකරාශී වී එක්සත් සෝෂස්ට් පක්ෂය බිහිකළ අතර එහි ප්‍රධාන ලේකම් වූයේ පීටර්ය. 


1942 දී රජය එම පක්ෂය තහනම් කර වික්‍රමසිංහයන් සිර බාරයට ගත් අතර 1943 දී ලංකා කොමියුනිස්ට් පක්ෂ බිහි වුණේ පීටර් කෙනමන්ට ප්‍රධාන ලේකම් ධුරය පිරිනමමිනි. එදා කම්කරු වැඩ මුරය පැය 10 පමණකි. දවසට ගෙවුයේ රුපියල් 4-5 කි. යටත් විජිතවල කම්කරුවට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. පීටර් කේනමන් මැදිහත් වී කොළඹ කර්මාන්ත ශාලා 35ක වෘත්තිය සමිති පිහිටුවීමට පියවර ගත් අතර අද ලංකා වෘත්තිය සමිති සම්මේලනය යනුවෙන් එය හඳුන්වයි. 
1945 සැප්තැම්බරයේ ඔහු මෙහෙය වූ රැකියා නොමැති 25,000ක ගේ පෙළපාළිය රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ගමන් කළේය. එය නතර කිරීමට පොලිසිය වෑයම් කළ අතර බැටන් ප්‍රහාරයක් ද එල්ල විය. ඒ සමගම දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනය ඇරඹුණ අතර ඔහුගේ උපායශීලී ක්‍රියා මාර්ග ජනතාව අතර ජනප්‍රිය විය. 
පෙළපාළියෙන් ගොස් පිවිසෙන්නට නොහැකි වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසීමේ මුල් පියවර ලෙස ඔහු බටහිර කොටහේන අසුනට තරග කර නාගරික මන්ත්‍රී ධුරය දිනා ගත්තේය. 


1947 දී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් තරග වැදුණු පීටර් කෙනමන් එජාප බල කොටුවක් මෙන්ම ධනේශ්වර කඳවුරක් වූ මැද කොළඹ කොට්ඨසායේ තුන් වැනි මන්ත්‍රීවරයා ලෙස ජයග්‍රහණය කිරීමේ වමේ කඳවුර ලැබු විජයග්‍රහණයක් විය. 1952 දී දෙවන පාර්ලිමේන්තුවට පිවිසීමට සටන් වැදුණු පීටර් කෙනමන් නමැති ජව සම්පන්න රතු සොල්දාදුවා මැද කොළඹ කොට්ඨසායේ පළමු වන මන්ත්‍රී ධුරය දිනා ගත්තේය. 


ඒ 1947 දී ලැබූ ඡන්ද ගණන මෙන් දෙගුණයක් ඡන්ද ලබමින් කම්කරු නායක ලෙස විරුදාවලි ලබා තිබු ඒ. ඊ. ගුණසිංහයන්ට ලැබුණේ හතර වැනි තැනය. මැද කොළඹ රතු තරුව කම්කරු ජනතාවගේ සිහින තරුව බවට පත් වී තිබිණ. පීටර් කෙනමන් රූමත් ප්‍රිය මනාප ආරෝහ පරිණාහ දේහ සම්පන්න පුද්ගලයෙකි. ඔහු අනාවැකි කියන්නකු බව කිසිවකු දැන සිටියේ නැත. 1950 දී පැවැති ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සිව් වන සම්මේලනය දා ඔහු අපූරු කතාවක් කළේය. 


අද අපට මහා පවුරක් සේ පෙනෙන එක්සත් ජාතික පක්ෂය නමැති ධනවාදී කඳවුර තුළ ළඟදීම මහා පිපිරීමක් සිදු වෙනවා. එය වළක්වන්න කිසිම ජගතෙකුට බෑ. අධිරාජ්‍ය ගැති හා ජාතියට ගැති යනුවෙන් කඳවුරු දෙකකට එය පුපුරා යනවා. සැබෑ නිදහස් අරගලය ඉන් පිළිබිඹු වෙනවා ඇති. 


පීටර් කෙනමන්ගේ මෙම අනාවැකිය සැබැවීමට ඊළඟ සංවත්සරය වනතුරු ඉන්නට ඕනෑ නොවීය. 1951 වසරේ මුලදී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වීම තුළින් එජාප විරෝධීන් හා වමේ බලවේග අතර සහ සම්බන්ධය ඇති විය. 


1956 සිට දිගින් දිගටම බණ්ඩාරනායක ආණ්ඩු සමග එක් වුණු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමාජවාදී අරමුණ කරා ජනතා ප්‍රවාහය මෙහෙය වීය. 1956 දී වාමාංශික දේශපාලනය සහයෝගිතාවට හිස නැමු ශ්‍රීලනිපය ජනතා රජය තුළින් සමාජවාදී ජයග්‍රහණයන් රැසක් ජනතාවට උරුම කළේය. පීටර් කෙනමන් නමැති චරිතය ඒ හැම පියවරක් පාසාම විය. 


1950 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සම්මේලනය, වෝර්සෝහි දි මුළුදුන් විට එය නියෝජනය කළේ කෙනමන් සහෝදරයාය. 1953 වියානාහි ලෝක සාම සමුළුව එම වසරේ හවානාහි පැවැති ලෝක කම්කරු සම්මේලනය ද නියෝජනය කළේය. පීටර් කෙනමන්ගේ සෙවණැල්ල මෙන් මේ හැම ජාතික ව්‍යාපාරික කටයුතුවලට ද උර දුන්නේ බි්‍රතාන්‍ය සරසවියේදී ඔහු දැන හඳුනා ගත් වෝඞ් කෙනමන් මැතිනියයි. 


1970 සමගි පෙරමුණු රජයේ නිවාස හා ඉදිකිරීම් පිළිබඳ අමාත්‍යධුරය පීටර් කෙනමන් වෙත පිරිනැමිණ. නිවාසවල මුල් පදිංචිකරුවන්ට එම නිවාස ලැබෙන පරිදි නීති සකස් කිරීම වැනි ජනතාවාදී පියවර රැසක් එතුමා විසින් ගනු ලැබිණ. 


ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂයේ නිල පුවත් පත වූ “ඇත්ත” පත්‍රයේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ පුවත් පත් රැසක ඔහු පිළිබඳ ලිපි පළ විය. සිංහල බෞද්ධ සම්භවයකින් තොර බර්ගර් ජාතික දේශපාලනඥයකු දරන අදහස් හා අනාවැකි පිළිබඳව එතෙර අවධානයට යොමු වන්නට ඇත. 


1960 සිට ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් ආදී පක්ෂ එකම කඳවුරකට ගෙන ඒමට උත්සුක වූ අතර 1970 බිහි වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධාන භූමිකාවක් පිටර් කෙනමන් ඉසිලීය. 


1972 දී ඔහු පැතූ නිදහස් ස්වෛරී ස්වාධීන සමාජවාදී ජනරජය බිහි කර ලීමට සමත් විණ. 1997 ජනවාරි 23 වැනිදා පීටර් කෙනමන් නමැති යුග පුරුෂයා දැයෙන් සමු ගන්නා විට ශ්‍රී ලංකා ත්‍රස්තවාදී බිය, යුද බිය හා ධනේශ්වර වාදයේ බලපෑම් පරාජය කරමින් නව යුගයක් කරා පිය ඔසවමින් තිබිණි. එතුමා පිළිබඳ මතක සටහන් අද එල්ෆින්ස්ටන් රඟහල අසල පිළිරුව තුළින් මරදාන වට රවුම පීටර් කෙනමන් චතුරඝ්‍රය ලෙස නම් කිරීමෙන් තව තවත් අලුත් වනු ඇත.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි