1966 රාජ්‍ය විරෝධි හමුදා කුමන්ත්‍රණයේ දෙවැනි චූදිතයා වූ සුනිල් හේවගේ සොයා පොලිස් හමුදාව මිල්ලවිටිය වලව්ව වට කළහ. එදා රෑ වලව්වේ සරත් සිටියේ නැත. දිසා හාමුදුරුවෝ එනම් සරත්ගේ පියා ආහාර ගනිමින් සිටියේය.


‘සුනිල් හේවගේ ඉන්නවද?’ පොලිස් ලොක්කා ඇසීය. සේවකයෝ මුහුණට මුහුණ බලා ගත්හ. සරත් අප්පො ඉන්නවද? ඊළඟ ප්‍රශ්නයයි.
‘දිසා හාමුදුරුවෝ විතරයි ඉන්නේ. එතුමා කෑම ගන්නවා’ ඔවුහු කීහ.


දිසා හාමුදුරුවෝ පැමිණෙන තුරු පොලිස් හමුදාව කල්මැරූහ. බොහෝ පමාවී රටේ මහත්තයා එළියට පැමිණියේය.


‘වරෙන්තුකාරයෙක් මෙහෙ ඉන්නවා කියලා අපට ඔත්තුවක් ලැබුණා. අපට වලව්ව සෝදිසි කරන්න ඕනෑ.’ පොලිස් ලොක්කා ගාම්භීරව පැවැසීය. සියලු භටයෝ ගිනිඅවි අමෝරා ගත්හ.


‘කෝ වරෙන්තුව.’ රටේ මහත්තයා ඇසීය. එය නොමැති බව ඔහුට වැටහී ගියේය. ‘මෙහෙම ද නීතිය ක්‍රීයාත්මක කරන්නේ. මට ප්‍රශ්නයක් නෑ. ඇතුළට ගිහින් ඕන දෙයක් හොයාගන්නවා’ ඔහු පාච්චලයට සිනාසුණේය.


පැණි වදයට රිංගූ මී මැස්සන් සේ වලව්වේ තරප්පු පෙළ කාමර, මැද මිදුල හා කුස්සිය පුරාම දුව පනිමින් හතිහලමින් දහඩියෙන් කාකි ඇඳුම තෙත්වන තෙත් චුදිතයා සෙවු නමුත් හමු නොවිණ. සේවකයෝ සිනහවෙමින් එදෙස බලා වුන්හ.


හොඳටම හෙම්බත් වී හිස් අතින් පරාජිත මුහුණින් කණ්ඩායම මුරපොළට ගියෝය. පසුදිනක සරත් තම සේවාදායකයා වූ සුනිල් හේවගේ තම රියෙන්ම හිමිදිරියේ රැගෙන ගොස් නීතියට භාර දුන්නේය.


එය ද සිදුවූයේ නාට්‍යානුසාරයෙනි.


සරත් සුනිල්ට කොළොන්නාවේ නිවසක රැකවරණ දී තිබිණ. එහි සිට හිමිදිරියේ රත්නපුර හරහා කොළඹට ගිය ගමන ත්‍රාසජනකය. එම ගමන කෙතරම් වේගයෙන් ගියාද කිවහොත් රක්වාන වංගු දහය පසුකර කොළඹ යාමට ගතවූයේ පැය දෙකටත් අඩුවෙනි.


නඩුව පිළිබඳව විමර්ශනය කළ පොලිස් උප පරීක්ෂක රාහුල සිල්වාට චූදිතයා මුහුණට මුහුණ හමුවූ නමුත් සුනිල් රැවුල වවා වෙස්ගන්වා තිබූ අයුරින් හඳුනාගත නොහැකිවිය. ඒ සරත්ගේ දුරදක්නා නුවණ නිසාය. නඩු විභාගයෙන්ද චූදිතයා නිදහස ලැබීය.


කුමන්ත්‍රණ නඩු විභාගයේ ප්‍රශ්න කිරීම සඳහා යැයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයෙකි. රත්නපුරේ දොඩම්පෙ උපන් ඇල්.වී. පොඩි අප්පුහාමි. ඔහු ප්‍රසිද්ධ වූයේ ‘දොඩම්පෙ මුදලාලි’ ලෙසය.


මෙම නඩුවේ පරීක්ෂණ මෙහෙය වූ රාහුල සිල්වාගේ අනුදැනුම ඇතිව සැකකරු කොටුවේ රහස් පොලිස් මූලස්ථානයේ හතරවැනි තට්ටුවට රැගෙන යන ලදී.


පසුදා පත්තරවල පළවූයේ දොඩම්පෙ මුදලාලි හතරවැනි තට්ටුවෙන් බිමට පැන දිවි නසාගත් බවයි. පොලිසියේ ප්‍රශ්න කිරීම්වල ස්වභාවය මින් මොනවට ඔප්පුවේ.


නමුත් දිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොමැති අහිංසකයකු වූ දොඩම්පෙ මුදලාලිගේ ඉරණම ගැන මුලින්ම අභියෝග කළේ සරත් මුත්තෙට්ටුවෙගමය. ඒ ඔහුගේ ඥාතීන්ට ඇතිවූ සැකය නිසාය.

 

පසුදා පත්තරවල පළවූයේ දොඩම්පෙ මුදලාලි හතරවැනි තට්ටුවෙන් බිමට පැන දිවි නසාගත් බවයි. පොලිසියේ ප්‍රශ්න කිරීම්වල ස්වභාවය මින් මොනවට ඔප්පුවේ.නමුත් දිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොමැති අහිංසකයකු වූ දොඩම්පෙ මුදලාලිගේ ඉරණම ගැන මුලින්ම අභියෝග කළේ සරත් මුත්තෙට්ටුවෙගමය. ඒ ඔහුගේ ඥාතීන්ට ඇතිවූ සැකය නිසාය.

 


සුනිල් හේවගේගේ නඩුව මෙන්ම මෙම නඩුවට ද සරත්ට සහය වූයේ සිදත් ශ්‍රී නන්දලෝචන හා ඇස්.ඇම්. සහබන්දු යන නීතිඥවරුය.
දොඩම්පෙ මුදලාලි ජනේලයෙන් පනිනවා දුටු බව කීවේ පොලිස් පරීක්ෂක සේනානායකය. පොලිස් සාක්කිය ගෙතු එකක් බව දෙවැනි පරීක්ෂණයේ දී හෙළිවිය. ඒ දොඩම්පේ මුදලාලිගෙ සොහොයුරු ඇල්.වී. ස්ටීවන්ගේ දිවුරුම් පෙත්සම අනුවය. ඒ සමගම එය සනාථ කිරීමට හමුදා සැරයන් හොඳමුනිගේ හා කේ.ඩී. සිරිසේන යන අය ඉදිරිපත් වූහ.


එම සාක්ෂිවලින් මෙසේ කියැවිණ.


“පරීක්ෂණ කාමරයේ පුටු පෙරළනවා ඇසුණා. කාටදෝ ගහනවාත් විලාප දෙනවාත් ඇසුණා. අප එහි ගෙනයද්දි නිරුවතින් වැතිර සිටි අයට හිඳුවා පහර දුන්නා”


මෙලෙස සාක්ෂිවලින් තහවුරු වූ මිනීමැරුම අධිකරණ නීති සංග්‍රහයේ 362 වැනි ඡෙදය යටතේ පළමු තීන්දුව අහෝසි කර අපරාධකරුවන්ට නිසි දඬුවම් පවරන ලදී.


සරත් මෙසේ සාධාරණය ඉටුකළේ 1960 මාර්තුවේ රත්නපුර නගර සභා මැතිවරණයේදී ඔහුට සහයෝගය දුන් මහත් පරිශ්‍රමයෙන් තම ව්‍යාපාරික දියුණුව සලසා දුන් පුංචි වූ මිනිසකුටය. එහෙත් ඔහු 1965 මහ මැතිවරණයේදී සහය දුන්නේ යූ.ඇන්.පියේ ධනපාල ආටිගලටය. සරත්ට එය ප්‍රශ්නයක් නොවීය. ඒ ඔහු පොදු ජනතාවගේ හිතවතා නිසාය.


මේ දේශපාලන අපරාධයකට කහවත්ත පොලිසිය විසින් ශ්‍රීලනිප හිතවතුන් 09 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවෙගමය.

 

තව කොටසක් ලබන සතියට

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි