1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමේ හැකියාව නොමැති නිසා 2005 හා 2010 ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා තවත් වරක් ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට හැකිවන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වැනි සංශෝධනය ගෙන ආවේය.


 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් එය අනුමත වූ අතර ජනාධිපතිවරණයට පුද්ගලයකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් විය හැකි බවට ව්‍යවස්ථාවේ තිබූ වගන්තිය ඉන් ඉවත් කෙරිණි. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනිවරටත් ඉදිරිපත් විය හැකි ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඉල්ලීමක් ඉදිරිපත් කරන ලද්දේ 2014 ඔක්තෝබර් මාසයේදියි. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු 10 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිශ්චය මණ්ඩලයක් විසින් 2014 නොවැම්බර් 10 වැනි දින ඒ පිළිබඳ මතය ප්‍රකාශ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ඉදිරිපත් වීමට බාධාවක් නැති බව දැන්වීය.


ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති නිල කාලය අවසන්වීමට වසර දෙකක් තිබියදී 2014 නොවැම්බර් 20 වැනි දින ජනාධිපතිවරණයක් සඳහා කැමැත්ත ප්‍රකාශයට පත් කළේය.


මහින්ද රාජපක්ෂ මහතා මේ තීරණය ගැනීමට හේතුව මේ වන විටත් විපක්ෂයට තරගකාරී අපේක්ෂකයකු නොමැති තත්ත්වයක් නිසා බවත් පහසු ජයග්‍රහණයක් ලැබීම අරමුණු කරගෙන බවත් ප්‍රකාශ විය. මේ වන විට විපක්ෂය පොදු අපේක්ෂකයකු සොයමින් සිටි අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළාය.


ආණ්ඩු පක්ෂය හෝ මහින්ද රාජපක්ෂ මහතා නොසිතූ පරිදි 2014 නොවැම්බර් 21 වැනි දින ශ්‍රීලනි පක්ෂයේ මහලේකම් මෙන්ම සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් ඉල්ලා අස්වී ඒ වෙන විටත් එජාපය මැදිහත්වීමෙන් ගොඩනගමින් තිබූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක්විය.


ඒ සමගම ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, අර්ජුන රණතුංග, ඇම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන යන මන්ත්‍රීවරුද එජනි සන්ධානයෙන් ඉවත් වී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක්විය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය චම්පික රණවක මහතා ද ඔහු නායකත්වය දරන සිහල උරුමය පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත් වූහ.
2014 දෙසැම්බර් 08 වැනි දිනට නාමයෝජනා භාර ගැනීම යෙදී තිබුණු අතර ඒ වන විට විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනි පක්ෂ ලේකම්වරයාගේ නම යෝජනා වී ඒ සඳහා විකල්ප බලවේග ඒකරාශි කරමින් සිටියෝය. ඒ වන විට එජා පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක්ව සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ ජයන්ත කැටගොඩ ද මහින්ද රාජපක්ෂ මහතා සමග එක්විය.

 

2014 දෙසැම්බර් 19 දින කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී “මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එළිදැක්වීමේ අවස්ථාවට එජා පක්ෂය, සිහල උරුමය පක්ෂ ඇතුළු මාදුළුවාවේ සෝභිත හිමියන්  ප්‍රමුඛ බහුජන සංවිධාන 31 ක නායකයෝ පෙනී සිටියහ.
2014 දෙසැම්බර් 08 දින නාමයෝජනා දිනයේදී පක්ෂ හා කණ්ඩායම් 19 නාමයෝජනා ඉදිරිපත් කළ අතර ඉන් දෙදෙනෙක් ස්වාධීන අපේක්ෂකයෝ වූහ. 2015 ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයින් 15,044,490 ක් ලියාපදිංචි වී සිටි අතර තැපැල් ඡන්ද දායකයෝ 541,831 ක් වූහ. ඡන්ද මධ්‍යස්ථාන 12,324 පිහිටුවා තිබුණි.


විදේශීය ඡන්ද නිරික්ෂකයින් (යුරෝපා සංගමය හා තවත් සංගම් නියෝජනය කරමින්) 55 දෙනෙක් ද ෆැපරල් හා කැෆේ සංවිධානයට අයත් දේශීය නිරික්ෂකයෝ 13,000 ක් ද මැතිවරණයේ සාධාරණ හා අපක්ෂපාතී බව රැකීමට සහභාගි වූහ.


වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 51.28% හෙවත් ඡන්ද 6,217,162 ක් ලැබූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයගත්තේ බොහෝ දෙනා නොසිතූ අන්දමිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 5,768,090 ක් ඡන්ද ලැබූ අතර එය 47.58% ක් විය. මෙවර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 81.52% කි. 
මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 12 ක බලය මෛත්‍රිපාල සිරිසේන මහතා දිනාගත්තේය. එනම් කොළඹ, ගම්පහ, නුවරඑළිය, නුවර, යාපනය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය, දිගාමඬුල්ල, පොළොන්නරුව, බදුල්ල, පුත්තලම එම දිස්ත්‍රික්ක 12 යි. මහින්ද රාජපක්ෂ මහතා කළුතර, මාතලේ, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර, මොනරාගල, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක 10 ජයගෙන තිබුණි.


මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන යන අපේක්ෂකයින් දෙදෙනා හැර තරග කළ අනෙක් අපේක්ෂකයින් 17 දෙනාම ලබාගෙන තිබුණේ ඡන්ද 138,200 පමණි. ඒ සියලු අපේක්ෂකයින්ගේ ඇප මුදල් රාජසන්තක විය. ලංකාවේ ඡන්දදායකයින් පැහැදිලිව කණ්ඩායම් දෙකකට බෙදුණු මැතිවරණයක් ලෙස මෙම ජනාධිපතිවරණය කැපී පෙනේ. යාපනය, වන්නි, මඩකළපුව හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 04 සියලු ඡන්ද කොට්ඨාස ජයගැන්මට මෛත්‍රිපාල සිරිසේන මහතාට හැකි වූ අතර රත්නපුර, මොනරාගල, අනුරාධපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක 04 සියලු ඡන්ද කොට්ඨාස ජයගැන්මට මහින්ද රාජපක්ෂ මහතාට හැකි විය. මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක් නම් උතුරු - නැගෙනහිර දිස්ත්‍රික්ක එනම් යාපනය, වන්නි, මඩකළපුව මෙන්ම ත්‍රිකුණාමලය හා දිගාමඩුල්ල දිස්ත්‍රික්ක දෙකේ ද වැඩිබලය මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ඇති බවය. ඒ අතර සැම දිස්ත්‍රික්කයකම මෙන් ප්‍රධාන නගර සහිත කොට්ඨාස මෙන්ම සුළු ජාතීන් බහුලව ජීවත්වන ප්‍රදේශ ද මෛත්‍රිපාල සිරිසේන මහතා පහසුවෙන් ජය ගත්තේය. උදාහරණ වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ඨාස 15 න් 10 ක් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල හා පානදුර, ගාලු දිස්ත්‍රික්කයේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කයේ මාතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ඡන්ද කොට්ඨාස පහසුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගෙන ඇත.


එමෙන්ම උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක පහෙන් මහින්ද රාජපක්ෂ මහතාට වඩා මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 654,511 ක් ලබා ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ සමස්ත වැඩි ඡන්ද සංඛ්‍යාව වන 449,072 හා සසඳන විට පැහැදිලිවම උතුරු - නැගෙනහිරින් එම පරාජය සටහන් කර දී ඇත.

 

 

බණ්ඩාරගම සමරසේන මුදලිගේ ඡායාරූපය : ශාන්ත රත්නායක