බණ්ඩාරනායක මැතිනිය 1994 සිට තම ජනාධිපති නිල කාලය අවසන්වීමට ප්‍රථම තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 31 (3අ) (1) යටතේ තම පාලනයට වසර 04 සම්පූර්ණ වී ඇති නිසා තවත් වරක් ජනාධිපති ධුරය ලබාගැනීම සඳහා මැතිවරණයක් කැඳවන ලෙස මැතිවරණ කොමසාරිස්ට දන්වන ලදී. ඒ අනුව 1999 ඔක්තෝබර් 20වැනිදා ප්‍රකාශයට පත්කෙරුණු ගැසට් නිවේදනයක් මගින් 1999 නොවැම්බර් 15වැනිදා සිව්වැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන ලදී.


එහිදී අපේක්‍ෂකයින් 13 දෙනෙක් නාමයෝජනා ඉදිරිපත් කළ අතර ඉන් 10 දෙනෙක් පිළිගත් දේශපාලන පක්‍ෂවලින් වූ අතර තිදෙනෙක් ස්වාධීන අපේක්‍ෂකයෝ වූහ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සටන් පාඨය සාමය වූ අතර මේ වන විට එල්ටීටී ත්‍රස්තවාදී ව්‍යාපාර වර්ධනය වීම නිසා ‘යුද්ධය’ සටන් පාඨය බවට පත්විය. අපේක්‍ෂකයින් 13 දෙනෙක් නාමයෝජනා ඉදිරිපත් කළත් අවසන් ප්‍රතිඵල අනුව පෙනීගියේ සටන ප්‍රධාන පක්‍ෂ දෙක අතර සටනක් බවය. එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සටනක් බවය.


1. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - පො.එ.පෙ.
2. රනිල් වික්‍රමසිංහ - එ.ජා.ප.
3. එම්. ඩී. නන්දන ගුණතිලක - ජනතා විමුක්ති පෙරමුණ
4. හරිස්චන්ද්‍ර විජේතුංග - සිංහලේ මහා සම්මත භුමිපුත්‍ර පක්‍ෂය
5. අබ්දුල් රසල්  - ශ්‍රී ලංකා මුස්ලිම් පක්‍ෂය
6. අල්විස් වීරක්කොඩි ප්‍රේමවර්ධන - මහජන නිදහස් පෙරමුණ
7. ආරියවංශ දිසානායක - ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ
8. කමල් කරුණාදාස මයා - මහජන විමුක්ති සහයෝගිතා පෙරමුණ
9. රජීව විජේසිංහ මයා - ලිබරල් පක්‍ෂය
10. වාසුදේව නානායක්කාර - ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සන්ධානය
11. හඞ්සන් සමරසිංහ - ස්වාධීන
12. ඩබ්. වී. එම්. රංජිත් - ස්වාධීන
13. ටෙනිසන් එදිරිසූරිය - ස්වාධීන


ජනාධිපතිවරණ ඡන්ද විමසීම නියමිතව තිබුණේ 1999 දෙසැම්බර් 21 වැනිදාය. ප්‍රචාරක කටයුතු දෙසැම්බර් 19 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. පොදුජන එක්සත් පෙරමුණු අවසාන රැලිය කොළඹ මහ නගර සභා භූමියේ පැවැති අතර සිය කථාව නිමවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වේදිකාවෙන් බැස බී.බී.සී. වාර්තාකාරියක නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වාහනයට නැගීමට ගිය මොහොතේ එල්.ටී.ටී.ඊ.යේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයට ලක්විය. ජනාධිපතිනියගේ හිසටත් දකුණු ඇසටත් තුවාල සිදුවී ඇය බිම ඇදවැටුණු අතර කීප දෙනෙක්ම මරණයට පත්වූහ. 


එදිනම එක්සත් ජාතික පක්‍ෂයේ ජාඇල අවසන් රැස්වීමටද එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් ගණනාවක් මරණයට පත්විය. මැතිනිය දකුණැස වසාගත් රෙදි කඩකින් යුතුව රෝහලින් අරලියගහ මන්දිරයට ගියේ මැතිනියට පෙර දිනයේ මැතිවරණය මෙහෙයවීම සඳහාය. ජනාධිපතිනිය ඝාතනය කිරීමට එල්ටීටීඊය දරණ ලද උත්සාහය අසාර්ථක වුවත් රටපුරා ආරක්‍ෂාව පිළිබඳව ප්‍රශ්න මතුවිය. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශ බොහොමයක් එල්ටීටීඊ ග්‍රහණයට ලක්ව තිබූ නිසා ඒවායේ ඡන්දය පැවැත්වීමද ප්‍රශ්නයක් විය. ඒ බව මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස් දක්වන ලද වාර්තා සඳහන් කර ඇත. කෙසේ නමුත් පැවැති ජනාධිපති -වරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය නැවත ජයග්‍රහණය කළේය.


වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 51.12%ක ප්‍රතිශතයක් ලැබූ මැතිණිය පළමු වටයෙන්ම ජය ගත්තේ 1994 ලැබූ ජනප්‍රියත්වය අඩුකර ගනිමිනි.
තුන්වැනි තැන ගත් ජ.වි.පෙරමුණ හැරුණු විට අනෙක් අපේක්‍ෂකයින් 10 දෙනාගේම ඇප රාජසන්තක විය. ලියාපදිංචි ඡන්දදායකයින් 11,779,180න් 8,635,290 ක් ඡන්දය පාවිච්චි කර තිබූ අතර ප්‍රතිශතයක් ලෙස එය 73.31% කි. කලින් මැතිවරණයේදී මෙන්ම අඩුම ඡන්ද ප්‍රතිශතය එනම් 19.18% යාපනය දිස්ත්‍රික්කයෙන් වැඩිම ප්‍රතිශතය එනම් 82.14% රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද දැකිය හැකිවිය.


ඡන්ද පොළවල් 9912ක් වූ අතර මධ්‍යස්ථාන 619කදී ඡන්දය ගණන් කෙරුණි. ආරක්‍ෂක හේතු මත දිස්ත්‍රික්කයේ මුලතිවු පාලන ප්‍රදේශයේ ඡන්ද පොළවල් 50කින් 49කත්, යාපනය ඡන්ද දිස්ත්‍රික්කයේ කිලිනොච්චි පාලන ප්‍රදේශයේ ඡන්ද පොළවල් 53කින් 45කත් ඡන්දය පැවැත්වීමට නුපුළුවන් විය. 


ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පොළවල් 22ක කලබල ඇතිවූ බවත් බදුල්ල, අනුරාධපුර, මාතලේ, නුවරඑළිය, අම්පාර හා පුත්තලම දිස්ත්‍රික්කවලද තැනින් තැන කලබල ඇති බවටත් මැතිවරණ කොමසාරිස් වාර්තාව පැහැදිලිකර ඇත. මේ නිසා වන්නි හා යාපනේ දිස්ත්‍රික්ක දෙකේ ඡන්ද පොළවල් 94කත් මාතලේ සහ අනුරාධපුරයේ 03කුත් ඡන්දය අවලංගු කරන ලදී.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වලංගු ඡන්ද අතරින් එනම් 8435754න් අඩකට වඩා එනම් 4312157ක් ලබා තිබුූ හෙයින් ඡන්දයෙන් ජයගත් අපේක්‍ෂිකාව ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජයග්‍රාහකා ලෙස ප්‍රකාශයට පත්කළේය. මැතිවරණ කොමසාරිස් අසනීපව සිටි නිසා වැඩබලන කොමසාරිස් ලෙස ඩී.එම්.පී.බී. දසනායක මහතා විසින් කලින් සඳහන් කළ ඡන්ද අවලංගු කිරීමෙන් ප්‍රතිඵල වලට බලපෑමක් ඇති නොවන බවට හේතු පැහැදිලි කිරීමෙන් පසු අනෙක් අපේක්‍ෂකයින් ඒ තත්ත්වය පිළි ගැනීම නිසා ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශයට පත්විය. 1999 දෙසැම්බර් 22 වැනිදා අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ජනාධිපතිනිය බෝම්බ ප්‍රහාරයෙන් සිය ඇසට සිදුවූ තුවාල සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියාය. ඇය මෙරට දේශපාලන ඉතිහාසයේ ජනතාවගේ ඡන්දයෙන් පිට පිට දෙවරක් ජනාධිපති පදවියට පත් එකම කාන්තාව ලෙස ඉතිහාස ගත විය. 1994 දී මෙන් නොව මෙවර ජනාධිපතිවරණයේදී ඇය දිස්ත්‍රික්ක 05 පරාජයට පත් වී 1994 දී සියලු දිස්ත්‍රික්ක පමණක් නොව එක් ඡන්ද කොට්ඨාසයක් (මහියංගනය) හැර සියලු ඡන්ද කොට්ඨාස ජයගැනීමටද ඇයට හැකිවිය. නුවරඑළිය, වන්නි, මඩකළපුව, ත්‍රිකුණාමලය හා බදුල්ල මෙවර  පරාජය වූ දිස්ත්‍රික්ක වේ. නමුත් කොළඹ හා යාපනය දිස්ත්‍රික්කය ජයගැනීමට ඇය සමත් වූවාය. රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකිවූයේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම ඡන්ද කොට්ඨාස 06 පමණි. උතුරු කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල හා දෙහිවල එම කොට්ඨාස හයයි. මේ අනුව ඇතැම් තීරණාත්මක අවස්ථාවලදී කොළඹ දිස්ත්‍රික්කය පවා එජා පක්‍ෂයට ජයගැනීමට නොහැකි වී ඇත.

 

 

බණ්ඩාරගම සමරසේන මුදලිගේ ඡායාරූපය : අන්තර්ජාලයෙනි