• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නාම යෝජනා පත්‍ර භාර දී ආපසු හැරී එනවිට මුලින්ම හමු වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතායිග එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා ළඟ නතර වී තම ප්‍රතිවාදී අපේක්‍ෂකයාට සිනාමුසු මුහුණින්  ර්‍ණආයුබෝවන්” කියා වචනයක් දෙකක් කථා කර සුබපතා ගැනීම ගම් මට්ටමේ පාක්‍ෂිකයින් අතර ඇති අසමගිය වෛරයල තරහව තරමක් හෝ ලිහිල් කිරීමට හේතුවනවාට කිසිම සැකයක් නැතග 

 

ජනාධිපතිවරණය යනු අප රටේ ප්‍රධාන මැතිවරණයයි. පාර්ලිමේන්තු මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය යන මැතිවරණයන්ට වඩා සමස්ත රටෙහි පාලකයා, ප්‍රධානියා තෝරන මැතිවරණය මෙයයි. සමස්ත රටේම ඡන්දයෙන් ජනතා නායකයා තෝරන මෙම මැතිවරණය ඉතා වැදගත් වන්නේ රට පාලනයේ දී හා රටේ ඒකීයත්වය රැකගැනීමේ දී ප්‍රධානියෙකු සිටිය යුතු බැවිනි. 


1978 දක්වා නාමික ජනාධිපතිවරයෙකු සිටිය ද එතැන් සිට 2015 දක්වා සිටියේ පූර්ණ විධායක ජනාධිපතිවරයෙකි. හිටපු ජනපති හා එම ක්‍රමයේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ වචනයෙන් කිවහොත් එම විධායක ජනපතිවරයාට කළ නොහැක්කේ “ගැහැනියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියක කිරීමත් පමණි”


එම තනතුර ඒ තරම්ම බල සම්පන්න වූ නිසාම ජේ. ආර්. ජයවර්ධන මහතාට නව ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකි වූවා සේම මහින්ද රාජපක්ෂ මහතාට තිස් අවුරුදු යුද්ධය නිමකොට රටට සාමය හා නැවතත් නිදහස උදාකර දීමට හැකි විය. එම පූර්ණ විධායක ජනපති ක්‍රමය 2015 ගෙනා 19 වැනි සංශෝධනය හරහා යම් මට්ටමක බලතල අඩුවීමක් සිදු විය. ඒ තුළින් රාජ්‍ය නායකයා ජනාධිපති වුවද කැබිනට් මණ්ඩල නායකයා ජනපති වුවද අග්‍රාමාත්‍යවරයාට ද ජනපති සතු යම් බලතල ප්‍රමාණයක් හිමි විය. ඔහුගේ නිර්දේශ බොහෝවිට ජනාධිපතිවරයාට නොසලකා හැරීමට නොහැකි විය. අගමැති ධුරය දින 52 කාලය තුළ අර්බුදයකට ලක්වූයේ අගමැතිවරයාට ද සෑහෙන බලතල ප්‍රමාණයක් ව්‍යවස්ථාව තුළින් වෙන් වී තිබීම හේතුකොට ගෙනය. කතානායකවරයාගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක වන කොමිසන් සභා හරහා ද ජනාධිපතිවරයාට පැවරී තිබූ පූර්ණ බලතලවල අඩුවක් පෙනෙන්නට තිබේ. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකින් අඩු වුව ද ඔහුගේ විධානයන් හි බලසම්පන්න බවෙහි එතරම් අඩුවක් නොමැත. ඒ නිසාම ජනාධිපතිවරණයක දී ඡන්දදායකයින් දැඩි උනන්දුව දක්වනුයේ තම රටේ නායකයා තෝරා ගැනීමටය. රටේ මූලික ප්‍රතිපත්තීන් ඔහුගේ දර්ශනය හරහා ක්‍රියාත්මක වීමත් ශක්තිමත් නායකයෙකු හරහා රටෙහි ස්ථාවරත්වය, ඒකීයත්වය හා තිරසාර විසඳුම් බලාපොරොත්තු වීමත් නිසා පොදු මහජනතාවට මෙම මැතිවරණය ඉතා වැදගත් වේ. 


මෙම තනතුරේ ඇති වැදගත්කම නිසාත්, වෙනත් විවිධ හේතුන් නිසාත් ජනාධිපතිවරණයට බොහෝ පිරිසක් ඉදිරිපත් වූ බව කවුරුත් දන්නා කරුණකි. වෙනත් ජනාධිපතිවරණවල දී තුන් දෙනෙක්, හත් දෙනෙක්, 10 දෙනෙක් ආදී වශයෙන් ඉදිරිපත් වෙනවා වෙනුවට මෙවර 41 දෙනෙකුම ඇප මුදල් තැන්පත් කර තිබුණි. මින් 35 දෙනෙකු නාමයෝජනා භාර දී අපේක්‍ෂකයන් වශයෙන් ඉදිරිපත් වී තිබේ. මේ තුළින් ගැටලු රැසක් මතු වී ඇති අතර වියදම ද ඉතාමත් අධික වී ඇත. ඇත්තටම මෙසේ වැඩි අපේක්ෂක ප්‍රමාණයක් ඉදිරිපත් වන්නේ ඇයි? එහි හරයක් තිබේ ද? ඒ තුළින් ජයග්‍රහණයක් බලාපොරොත්තු වන්නේ ද? වෙනත් අපේක්‍ෂකයන්ගේ ඡන්ද යම් ප්‍රමාණයක් කැඩීමේ බලාපොරොත්තුවකින් ද? මේ ආදී ප්‍රශ්න රැසක් මතුවන අතර ඒවා වෙනම සාකච්ඡා කළ යුතු, විග්‍රහ කළ යුතු මාතෘකා වන්නේය.


මම ද මේ අතර මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මූලික කටයුතු කළෙමි. 1973 පටන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ක්‍රියාකරන මා කල්පනා කළේ මම ද මේ තනතුරට සුදුසුකම් ලබා ඇති බවයි. දේශපාලන පක්ෂයකින් නොවේ නම් ස්වාධීන අපේක්‍ෂයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නම් මන්ත්‍රීවරයෙකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතුය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එම සුදුසුකම් සපුරා සිටි මා කල්පනා කළේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු රාජ්‍ය අමාත්‍යවරයකු, රාජ්‍ය අංශයේ නිලධාරියෙකු, සංස්ථා සභාපතිවරයෙකු, ආයතනයන්හි අධ්‍යක්‍ෂ හා උපදේශක වැනි තනතුරු දරා සෑම අංශයකම පළපුරුද්දක් ලබා ඇති බැවින් ජයග්‍රහණය කෙසේ වෙතත් යම් අත්දැකීමක් ලබා ගැනීමට ඉදිරිපත් වීම සුදුසු බවයි. ඒ අනුව නාම යෝජනා දිනයට පෙර දිනට පෙර දින ඉතා හදිසියේ මේ සඳහා සූදානම් වූ අතර නාම යෝජනා සඳහා වෙන්කර තිබූ ඔක්තෝබර් 07 වැනි දිනට පෙර දින දවල් 12.00ට පෙර ඇප මුදල් තැන්පත් කළෙමි. ඒ සඳහා උදෑසන පාර්ලිමේන්තුවට ගොස් මහලේකම්වරයා හමු වී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට ලිපියක් ලබාගත් අතර ඉන්පසුව එම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළෙමි. එලඹුණේ ඉන් පසු දිනයි. එනම් ඔක්තෝබර් 07 වැනි දින ඉරිදාවයි. එදින පෙරවරු 9.00 සිට 11.00 දක්වා නාමයෝජනා භාර දීමට නියමිත වූයෙන් මම ද මැතිවරණ කොමිසන් සභා ප්‍රධාන කාර්යාලයේ අදාළ ස්ථානයට ගොස් සූදානමින් සිටියෙමි. එසේ සිටින අතරතුර මා කල්පනා කළේ ඇප මුදල් බැන්දත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම කරනවා ද? නැද්ද යන්නයි. ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ගණන වැඩිවීමත් සිදුවන අපහසුතා විශේෂයෙන් ඉඩකඩ පහසුකම් - ඡන්ද පත්‍රිකා දික්වීම, වියදම් අධිකවීම ආදී කරුණු රැසක් ඊට පෙර දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අවධාරණය කළ අයුරු ද මම ගැඹුරින් සිහිපත් කළෙමි. මා ද එම කරුණු කිහිපයට දායකවන්නෙකු වෙනවා ද? නාමයෝජනා භාර නොදී සිටිනවා ද යන දෙලොවක් අතරේ මුහුණදෙමින් තනියම කල්පනා කළෙමි. ඒ අනුව මගේ සිතෙහි පහළ වූ කාරණය නම් මෙම මැතිවරණයට ඉදිරිපත් නොවී සිටීම වඩාත් උචිත බවයි. එසේ කල්පනා කරමින් සිටින අතරතුර නියමිත වේලාව ද පසුවිය. නොදැනුවත්වම මගේ වේලාව ඉක්ම ගිය බැවින් මාගේ අතේ තිබූ ලිපිගොනු සියල්ල රැගෙන මම පිටත්වීමි. 


මෙම අවස්ථාවේ මා දුටු සිද්ධීන් අතුරින් ඉතා වැදගත් සිද්ධියක් නම් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා සුහදත්වය ප්‍රකාශකර ගැනීමයි. අපේ රටේ දේශපාලනයේ දී විශේෂයෙන් ඡන්දයක දී වාද විවාද කර ගනිමින් ගැටුම් ඇතිකර ගනිමින් අවසානයේ මිනීමරා ගන්නා තත්ත්වයකට පත් කරගන්නා අවධියක නාම යෝජනා භාරදෙන අවස්ථාවේ ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ හැසිරීම කෙතරම් වටිනේ ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නාම යෝජනා පත්‍ර භාර දී ආපසු හැරී එනවිට මුලින්ම හමු වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතායි. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා ළඟ නතර වී තම ප්‍රතිවාදී අපේක්‍ෂකයාට සිනාමුසු මුහුණින් “ආයුබෝවන්” කියා වචනයක් දෙකක් කථා කර සුබපතා ගැනීම ගම් මට්ටමේ පාක්‍ෂිකයින් අතර ඇති අසමගිය වෛරය, තරහව තරමක් හෝ ලිහිල් කිරීමට හේතුවනවාට කිසිම සැකයක් නැත. මැතිවරණයේදීත් එම සුහදත්වය ඇති වී ගැටුමින් තොර සාමකාමී සහජීවන මැතිවරණයක් බලාපොරොත්තු වීම බුද්ධිමත් ජනතාවගේ ඒකායන පැතුමයි.