ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වන්නීය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය තනතුරට පත්වූයේ 1960 ජූලි මාසයේ පැවැති මහමැතිවරණයෙන් පසුවය. අග්‍රාමාත්‍ය ධුරයට අමතරව සිරිමාවෝ මැතිනිය ආරක්ෂක හා විදේශ කටයුතු ඇමැතිනිය ද වූවාය.


1970 පැවැති මහමැතිවරණයෙන් පසුවද ඇය දෙවැනිවරටත් අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූවාය. දෙවැනිවරටත් අග්‍රාමාත්‍ය තනතුරට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1974 වසරේ යාපනයට ගොස් ඇත්තේ ගොවිපොළක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වීමටය. යාපනය ගොවිබිම විවෘත කිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගිවීමට ගිය සිරිමාවෝ මැතිනිය පිළිගෙන වේදිකාව වෙත කැඳවාගෙන යාමට සූදානම් වී ඇත්තේ ද්‍රවිඩ කාන්තාවන් පිරිසකගේ දිගු වරලස පාවඩ කරගනිමින්.


මෙවැන්නක් කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණේ ඇය යාපනයේ පොඩි ජනතාව නගා සිටුවීමට කළ මහා මෙහෙයට ගෞරවය දැක්වීමක් වශයෙනි. වේදිකාවට යා යුතු මාර්ගය දෙපස බිම දිගාවී දිගු වරලස මාර්ගයට මුදාහැර සිටින කාන්තාවන් දුටු මැතිනියගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැටී ඇත.


කාන්තාවන්ගේ වරලස මතින් ගමන් කිරීමට මැතිනිය ප්‍රතික්ෂේප කර එම කාන්තාවන්ට නැගිටින ලෙස කාරුණික ඉල්ලීමක් කර තිබේ. මැතිනිය වේදිකාවට ගොඩවීමට ගොස් ඇත්තේ  මුනින්තලාවට සිටි කාන්තාවන් නැගිට ගිය පසුවය. අතිශය විරල මේ සිද්ධිය එදා සියැසින් දුටුවේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කේ. එම්. එස්. බෝවල මහතාය.
මේ සිද්ධිය වන කාලයේ බෝවල මහතා සිටියේ පොලිස් කොස්තාපල් නිලයේය.


මධ්‍යම කඳුකරයේ කොටි ක්‍රියාකාරකම් මැඩලීමට සුවිශේෂි මෙහෙයක් කර ඇති බෝවල මහතා ඒ නිසාම පොලිස්පති ප්‍රශංසා ගණනාවක් හිමිකරගෙන සහකාර පොලිස් අධිකාරි නිලයට ද උසස්වීම් ලබා විශ්‍රාම ගියේය. කාන්තා වරලස පාවඩ කරගනිමින් ඒ මතින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වේදිකාව මතට කැඳවාගෙන යාමට යාපනයේ දමිළ ජනතාව ගත් උත්සාහය ගැන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කේ.එම්.එස්. බෝවල මහතා සිය මතකය අවදිකරමින් මෙසේ පැවසීය.
1974 වසරේ මම රාජකාරි කළේ ගල්කිස්ස පොලිස් අධිකාරි කොට්ඨාසය යටතේ පාලනය වන කහතුඩුව පොලිසියේ. ඒ වෙනකොට මම පොලිස් කොස්තාපල් කෙනෙක්. විශේෂ රාජකාරි කටයුත්තකට යාපනයට යන ලෙස මට ඉහළ නිලධාරීන්ගෙන් නියෝගයක් ලැබුණි. මේ විශේෂ රාජකාරියට යාමට ගල්කිස්ස කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් හය දෙනෙකුට නියෝග ලැබී තිබුණි.


“කොළඹ කොටුවේ සිට යාපනය බලා යන යාලදේවි කෝච්චියෙන් අවි ගත් දෙනාම යාපනය බලා පිටත්ව ගියා. අපට පැවරී තිබුණ රාජකාරිය වූයේ එවකට අග්‍රාමාත්‍යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් චුන්නාකම් ප්‍රදේශයේ තිබෙන ගොවිපොළක් විවෘත කිරීමේ උත්සවයකට ආරක්ෂාව සැලසීමටයි. තවත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂක රාජකාරි සඳහා කැඳවා තිබුණා.
උත්සව භූමිය අතුරු සිදුකරු නොමැතිව ජනතාවගෙන් පිරීගොස් තිබුණා. එහි වේදිකාවක් ද තනා තිබුණා. ඒ වේදිකාවට යන මග දෙපස දිගුවරලස් තියෙන දමිළ තරුණියන්ය. කාන්තාවන් 200ක් පමණ සාරි ඇදගෙන පෙළ ගැසී සිටිනවා මා දැක්කා. මද වේලාවකින් හින්දු සංස්කෘතික අංග අනුව බෙර හා තළා වාදනය කරමින් මැතිනිය වේදිකාව වෙත කැඳවාගෙන යාමේ පෙරහර ආරම්භ කළා. මැතිනියගේ දෙපසින් එවක යාපනය නගරාධිපතිවරයාට සිටි ඇල්ෆ්‍රඞ් දොරේ අප්පා සහ තැපැල් ඇමැතිවරයාට සිටි කුමාර සූරියර් යන මහත්වරු ගමන් කළහ. මැතිනියට ආරක්ෂාව සලසමින් ඇයගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ පොලිස් අධිකාරි ඉඹුල්දෙණිය මහතා ද ගමන් කළා මට මතකයි.
බණ්ඩාරනායක මැතිනිය කාන්තාවන් හා තරුණියන් පෙළගැසී සිටි ස්ථානයට ළඟා වෙනවාත් එක්කම ඒ සියලු දෙනා මාර්ගයේ මැදට මුහුණලා මුනින් අතට වැතිරී සිය දිගු වරලස් මාර්ගය මැදට මුදාහැරියා. මෙවැන්නක් කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් බව මැතිනියගේ ඉරියව්වලින් පෙනෙන්නට තිබුණා. ඇය පුදුමයට පත්ව සිටියා. ඇය ඉදිරියට ගමන් කිරීම නැවැත්තුවා. ඒ වෙලාවේ තැපැල් ඇමැතිවරයා මැතිනියගේ කනට යමක් කොඳුරා කිව්වා. ඉන්පස්සේ මැතිනියගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටෙනවා මම පැහැදිලිවම දැක්කා. පසුව මැතිනිය ලේන්සුව අරගෙන ඇස් පිහදනවාද දුටුවා.


මැතිනියගේ දැනුම්දීමක් අනුව එසේ පාරට වරලස මුදාහැර මුනින්තලාවට වැටී සිටි කාන්තාවන් හා තරුණියන් සියලු දෙනා නැගිට්ටා. ඊට පස්සේ මැතිනිය වේදිකාවට ගොඩවීමට ආවා. මේ වෙච්ච දේවල් ගැන මා පුදුමයට පත්ව සිටිනවා දුටු සුදු වේට්ටියක් හැඳගත් කෙනෙක් මගේ ළඟට ආවා. රාලහාමි දන්නවාද අපේ බවලත්තු එහෙම කළේ ඇයි කියා විමසුවා. මේ වෙස්වළා ගත් බුද්ධි අංශ නිලධාරියෙක් කියා මා සැකකර ඔහුත් එක්ක කතාබහට ගියේ නැත. රාලහාමි බය වෙන්න එපා. මම නුවරඑළියේ තැපැල් අධිකාරි කියා ඔහු පැවසුවා. ඒ තැපැල් අධිකාරි මහත්තයාගේ නම දැන් මගේ මතකයේ නැහැ.


සිරිමාවෝ මැතිනියගේ රජය මගින් පිටරටින් අල ලූණු හා මිරිස් ගෙන ඒම නැවැත්තුවා. ඒ නිසා යාපනයේ ගොවි ජනතාවගේ අතමිට යහමින් සරුවුණා. මෙන්න මේ වැඩපිළිවෙළට ගෞරව කිරීමක් වශයෙන් හින්දු චාරිත්‍රවලට අනුව දියහැකි උතුම්ම ආචාරය මෙය බව තැපැල් අධිකාරිවරයා මාත් එක්ක පැවසුවා. මැතිනියට කරන උත්තමාචාරයක් විදිහට තමා වරලස් මතින් මැතිනියව ගමන් කරවීමට උත්සාහ කර තිබෙන්නේ යැයි” විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි බෝවල මහතා පැවසීය. 
විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි බෝවල මහතා කතාබහ කිරීමට මත්තෙන් කිව්වේ මෙවැනි කතාවකි.


මැතිනිය උත්සවයට පැමිණ සිටි මහජනකාය අමතා කතාකළා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා මුළු රටම එකම ගොවි බිමක් කිරීම අපේ රජයේ අරමුණ බව ඇය කිව්වා. ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බවත් අවශ්‍ය උපදෙස් හා සහාය ඉන්දිරා ගාන්ධි මැතිනිය ප්‍රමුඛ එරට රජයෙන් ලැබෙන බවත් මැතිනිය කිව්වා මට අද වගේ මතකයි. මේ කතාව අහලා ජනතාව එක දිගට ඔල්වරසන් හඬ දෙන්නට පටන් ගත්තා.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූපය අන්තර්ජාලයෙනි