දකුණු පළාතේ ප‍්‍රකට පෙරපාසලකි. උදේ පාන්දරම කුඩා දරුවකු එහි ඇදගෙන ආ සීයා කෙනෙක් එහි විදුහල්පතිනිය හමුවිය.

”මේ පුංචි එකා මගේ පුතාගෙ. ඇයි මේ දරුවට වෙනස්කම් කරන්නෙ” ඔහු කීවේ ගොත ගසමිනි.

”මොකද වෙලා තියෙන්නෙ? විදුහල්පතිනිය ඇසුවේ සිනාසෙමිනි.

”අනිත් දරුවන්ට ලොකු හරි ලකුණු දාලා. මේ පොඩි එකාට පුංචි හරි දාල තියෙන්නෙ. එයා අඬනවා, ඉස්කෝලෙ එන්නත් බෑ කියනවා” ඔහු කීවේ දරුවාගේ වැඩ පොතද පෙන්වමිනි. විදුහල්පතිනියගේ සිනාව වැඩිවිය.

”ආ... හරි” කී ඇය එම පොතෙහි රතු පෑනෙන් ලොකු හරි ලකුණු දාගෙන ගියේ දරුවන්ගේ සීයාගේත් සිනාමැදය.

ඇය අභ්‍යාස කළ තැන්වලට ලොකු හරි ලකුණු දමමින් අනතුරුව හිස් පිටුවලටද ලොකු හරි දැමීම නිසා සීයාට තරු පෙනිණි.

ඒ ගැන සීයා විමසූවිට ඇය කීවේ ”දරුවට  ඕනෑ ලොකු හරිනෙ. ඉතිං ඔය හරිදාපු හිස් පිටුවලත් මොනව හරි ලියන්න කී ඇය දරුවාගේ හිස අතගෑවාලූ.