වගා කටයුතු න්‍යායිකවත්, ප්‍රායෝගිකවත් උගත යුත්තකි. කෘෂිකර්ම උපාධිධාරීන් පවා වගා කටයුතු න්‍යායිකවත් ප්‍රායෝගිකවත් හදාරන්නේ එහෙයිනි.

කෘෂිකර්මය හදාරන සිසුන් විසින් වගා කළ බිමක අඩුපාඩු බලන්නට කෘෂිකර්ම උපදේශකයා ගියේ පසුගිය දිනක උදෑසනමය. බටු වගා කර ඇති ප්‍රදේශයේ යමින් සිටි කෘෂිකර්ම උපදේශක දුටුවේ උදෑසනම වැඩට ආ කම්කරුවකු ඒ වගා බිමේ වැවී තිබූ තණකොළ සුද්ද කරමින් බටු පාත්තියට සාත්තු කරන හැටිය. “බොහොම හොඳා. එහෙම තමයි වැඩ කරන්න ඕනේ.” කෘෂිකර්ම උපදේශකයා කම්කරු තරුණයා දිරි ගන්වමින් කියා සිටියේය. “හොඳටම තණ කොළ වැවිලා සර්. මම කොහොමටත් උදේම වැඩට එනවා. මේ ටික සුද්ද කරලා දාන්න හිතුණා.” ඔහුද කීවේ ගරුසරු දක්වමිනි. මේ කම්කරු තරුණයා හැඩිදැඩිය. කඩිසරය. අවංකය.

කම්මැලි නැති ඔහු වගා කටයුතුවලට සාත්තු කරන්නේ ගොවියකුගේ සැබෑ ගතිලක්‍ෂණ පෙන්වමිනි. “වම්බටු ටිකට තෙල් ටිකක් ගහන්න වෙයි. ඕක නවත්වලා වම්බටු කඩලා තෙල් ටිකක් ගහන්න.” කෘෂිකර්ම උපදේශකයා එසේ කියා ගොවිබිමෙන් ඈතට ගියේය.

පැය භාගයකට පමණ පසු නිලධාරියා ආපිට ආවේ කම්කරුවා වැඩ කරමින් සිටි ස්ථානය හරහාය. වම්බටු සියල්ල කඩා ගෝනියකට දමා වම්බටු පිරවූ ගෝනියට තෙල් ගසනු දුටු නිලධාරියාට තරු විසිවිය. “මොකක්ද යෝධයෝ මේ කළේ” “ඇයි සර්මනේ කිව්වේ වම්බටු කඩලා තෙල් ගහන්න කියලා.” “තමුසේ මහ මෝඩයෙක්නෙ. මම කිව්වේ වම්බටු කඩල ගස්වලට තෙල් ගහන්න කියලයි.” සරුවට වැඩී තිබූ වම්බටු ටික කම්කරුවාගේ ඔලුවේ හලා නිලධාරියා කාර්යාලයට ගියේ “ඇඟේ තරමට මොළේ නෑනේ” කියමිනි.

 

(අම්බලන්තොට විශේෂ ඩී.ජී. ජයසුන්දර)