ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ සේවය කරන මේ ග‍්‍රාමසේවා නිලධාරි මහතා කාර්යාලයට ආවා පමණකි. තම ජංගම දුරකථනයට ඇමැතුමක් ආවේ ගමේ කාන්තාවක ගෙනි. ”අනේ රාලහාමි අදත් ගැරඬියා ඇවිත්. මේකට මොකක් හරි කරන්න” ඇය කීවාය. ”ගෙදරට ගැරඬියකු ආවත් ඒක මට කියන්නෙ” තමාටම කියාගත් ග‍්‍රාම සේවක තැන ”ඔය භූමිතෙල් ටිකක් දැම්මම ඌ ඇදිල යයි” කියා දුරකථනය විසන්ධි කළේ කෝපයෙනි. ඒ වනවිට කාර්යාලයට පැමිණ සිටි කීප දෙනකුගේ රාජකාරී ඉටු කරන අතරතුර කාන්තාවක් තම දරුවාද ඇදගෙන කාර්යාලයට ආවේ කලබලයෙනි. ඇයගේ මුහුණ තඩිස්සි වී තිබුණ අතර ඇහි බැම ද තුවාල වී තිබිණි. දරුවා ද සිටියේ අඬමිනි. ”රාලහාමිට ”කෝල් එකක්” දුන්නත් හෙව්වයැ. මට හොඳටම තඩිබාල ඌ ගියා” ඇය කීවාය. අන්දමන්ද වූ රාලහාමිට ගැරඬියා මතක් විය. ”ඒ මගේ මිනිහා. බේබද්දා. ඌට මිනිස්සු කියන්නෙ ගැරඬියා කියලා. ”ඇය යළි කීවාය. ග‍්‍රාම සේවකට කාරණාව තේරුණේ එවිට ලූ.