මඩකළපුවේ සෙයින්දමරුදු නගරයේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි බේරුණු මොහමඞ් සහරාන් රුසයිනා දියණිය මුලු මහත්  මානව සත්වයාටම  නෑකම් කියන්නාවූ සමස්ත මානව පවුලේ සාමාජිකාවක වශයෙන් මෙලොව එළිය දුටුවේ ඇයගේ මව හෝ පියා කුමන ජාතියකට කුමන ආගමකට අයත්ද යන වග කිසිසේත් දැන ගෙන නොවේ. එලෙස මෙලොව දකින සියලුම දරුවන් උපතින්ම සමාන හා අහිමි කළ නොහැකි අයිතිවාසිකම් වලට උරුමකම් කියන බවත් සියලු දෙනා කිසිදු වෙනස්කොට සැලකීමට ලක් නොකර සමස්ත මානව ප්‍රජාවේ කොටස්කරුවන් වශයෙන් සැලකිය යුතු බවත්, නිදහස, යුක්තිය හා සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කළ නොහැකිවූ සම අයිතිවාසිකම් පිළිගැනීම බව 1948 දෙසැම්බර් මස 10 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කරන ලද එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයෙන් අවධාරණය කර ඇත. 

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1990  සැප්තැම්බර් මස දෙවන දින සිට සමස්ත ලෝක ප්‍රජාව වෙතම විවර කළ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය (ක්‍දබඩැබඑසදබ දබ එයැ ඍසටයඑ දf එයැ ක්‍යසකා ්ාදචඑැා ්බා දචැබැා දෙර ිසටබ්එමරු ර්එසසෙජ්එසදබ ්බා ්ජජැිසදබ ඉහ ඨැබැර්ක ඍැිදකමඑසදබ 44රැ25 දf 20එය දf භදඩැපඉැර) මගින් මෙම සියලු මානව අයිතීන් නැවත නැවතත් අවධාරණය කරමින් සමස්ත  ළමා අයිතීන් වැඩිදුරටත් එහි පුර්විකාව මගින් පහත දක්වා ඇති අයුරින් විග්‍රහ කර ඇත. 

දරුවකු සුවිශේෂී ආරක්ෂාවක් රැකවරණයක් හා අවධානයක් යටතේ සාමකාමී පවුල් පරිසරයක් තුළ කරුණාව දයාව හා ආදරය පෙරදැරි කර ගනිමින් හදා වඩා උතුම් ගුණධර්මවලින් සැදුම්ලත් පුද්ගලයකු ලෙස සමාජගත කිරීමට දෙමාපියන් ඇතුලු සියලු වැඩිහිටියන්ගේ පරම යුතුකම හා වගකීම වේ. දරුවකු මනා පෞර්ෂයෙන් හෙබි සමගි සම්පන්න පුරවැසියකු ලෙස සමාජයට මුදා හැරීම සඳහා සතුට හා ආදරය දරුවා කෙරෙහි  දැක්වීම දරුවා තේරුම් ගැනීම තුළ දරුවා මෙහෙයවීම  අතිශය වැදගත්වේ. දරුවකු නුපුහුණු රියදුරකට සමකළ හැකියි. ඔහු කුමන දිශාවකට කුමන ආකාරයෙන් තම ජීවන රථය සමාජය තුළ පදවයිද යන්න තීරණය වනුයේ දරුවකුගේ මුල් ගුරුවරුන් වන දෙමාපියන් හෝ භාරකරුවන් ඔවුන් වෙත ලබාදුන් ගුරුහරුකම් හා මාර්ගෝපදේශයන් මතය. එහෙත් සමාජයේ සමස්ත වැඩිහිටි ප්‍රජාවම එම වගකීමෙන් බැඳෙන අතර සියලු දේශපාලකයින් ආගමික නායකයින් ගුරුවරුන් ඇතුළු සියලු වැඩිහිටි ප්‍රජාවටම එම වගකීමෙන් ඵලා යාමටත් එම වගකීම එකනෙකා වෙත පවරමින් කර හැරීමටත් කිසිදු වැඩිහිටියකුට සදාචාරාත්මක අයිතියක් නොමැත. තවද 19 වන අධිකාරිය වශයෙන් සලකන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට ගෙනෙන ද 1995 අංක 22 දරන 1998 අංක 29 දරණ 2006 අංක 16 දරණ සංශෝධන පනත මගින් මෙන්ම 2007 අංක 56 දරණ ෂක්‍ක්‍ඡඍ පනත 1998 අංක 50 දරණ ළමා ආරක්ෂණ අධිකාරී පනත 1939 අංක 48 දරණ ළමයින් හා යෞවනයන් පිළිබඳව ආඥා පනත 2005 අංක 34 දරණ ගෘහස්ත හිංසනය වැලැක්වීමේ පනත හා 1999 අංක 37 දරණ නඩත්තු ආඥා පනත වැනි නීති මගින් අපරට තුළ ළමා අයිතීන් සුරක්ෂිත කිරීමට කටයුතු සිදුකර ඇති අතර ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් ළමයින්ගේ අභිවෘද්ධියට විශේෂ නීති පැනවීමටත් අවැසි නෛතිකමය ඉඩ ප්‍රස්තාව ද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12  (4) ව්‍යවස්ථාව මගින් තවදුරටත් සුරක්ෂිත කර ඇත. 

රුසයිනාට අවශ්‍යව තිබුණේ පවුල් පසුබිම තුළින් ඇය කෙරෙහි දායාද කළ යුතු විශේෂ ආරක්ෂාව දයාව කරුණාව හා අවධානයයි. ඇයගේ පෞර්ෂ වර්ධනය සඳහා අවශ්‍ය සාමකාමී වටපිටාව නිදහස හා සමානාත්මතාව වැනි සමාජ ඉඩ ප්‍රස්තාවන් පමණි. එහෙත් ඇයට ඇයගේ ජීවත්වීමේ අයිතිය 

(ඍසටයඑ එද කසfැ) පවා අහිමි කිරීමට පවා ඉඩතිබූ එම කුරිරු බෝම්බය පුපුරවා හැරියේ ඇය මෙලොවට බිහි කිරීමට හේතුවූ පියාගේ විකෘති වු මානසික ස්වභාවයයි. එවැනි මානසිකත්වයක් ඇති පියකුට දාව හා එවැනි පවුල් පසුබිමක් තුළින් සාමකාමී දරුවකු මෙලොව ජනිත කළ හැකිවේද යන සාධාරණ සැකයක් සමාජය තුළ ගොඩනැගීමද වැලැක්විය නොහැක. එක් අතකින් මෙවැනි දරුවකු එවැනි කුරිරු පවුල් පරිසරයකින් මිදීමට හේතුවූ මෙම බෝම්බය ඇයගේ ජීවන රටාව හා සිතුම් පැවතුම් හා ආකල්ප වෙනස් කර ඇය සැබෑ මානව හිතවාදී දරුවකු ලෙස සමාජගත වීමට ඇය වෙත වෙස්වලාගෙන සැගවී පැමිණි ආශිර්වාදයක් විය හැකියි. එනම් දරුවකු කෙරෙහි ආදරය කරුණාව හා නිසිඅවධානය දක්වමින් දරුවාගේ පෞර්ෂ සංවර්ධනයට දායක නොවන දෙමාපියන් හා එවැනි පවුල් පරිසරයක් සැබවින්ම දරුවකු සමාජයට වෛර කරන කුරිරු මිනිසකු බවට පත් කරයි. 

අප රටේ පවතින නීතිය අනුව වයස අවුරුදු 18 අඩු සියලු දරුවන්  ළමයින් වශයෙන්ද වයස අවුරුදු 16 අඩු දරුවන් බාල වයස්කරුවන් වශයෙන්ද නීතිය පිළිගනී. දරුවකුගේ පරම භාරකරුවා වශයෙන් සලකන්නේ ගරු දිසාධිකරණය වේ. ඒ අනුව දරුවකු හට උපතින්ම උරුම විය යුතු අයිතීන් උල්ලංඝනය කිරීමට දරුවාගේ දෙමාපියන්ට පවා අයිතියක් නොමැත. එහෙත් රුසයිනාගේ ජීවත්වීමේ අයිතිය (ඍසටයඑ එද කසfැ) පවා අහිමි කිරීමට පියකුගේ කුරිරුවූ ත්‍රස්තවාදී මානසික අංගය කටයුතු කළ ආකාරය දැකීම හා ඇසීම පවා අප සමාජය ලද අභාග්‍යයක් වශයෙන් සැලකිය යුතුවේ. 

මෙහිදී සලකා බැලිය යුතු තවත් වැදගත් පැතිකඩක් වන්නේ මෙම අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ මානසික ස්වභාවයයි. මොවුන් බොහෝ දෙනකු උසස් අධ්‍යාපනය හැදෑරු පුද්ගලයින් බව අනාවරණ විය. එනම් අධ්‍යාපන සුදුසුකම් යන්න පුද්ගලයකු විසින් ප්‍රගුණකර ලබා ගන්නා ජීවිතයේ බොහෝ දෑ අතුරින් එක් කොටසක් පමණක් බව මින් සක්සුදක් සේ පැහැදිලි වෙයි. තවද මානුෂවාදී ගුණධර්ම ප්‍රගුණ නොකළ දැනුම පමණක් රැස්කළ පුද්ගලයින් සමාජ සංස්ථාව තුළ සිටින බවත් මින් මුලු ලෝකයාටම කියාපායි.  තමා වෙත පැමිණෙන රෝගියකු කෙළෙසන වෛද්‍යවරුන් නීතියේ පිළිසරණ පතා එන අසරණ මිනිසුන්ගේ ගේ දොර ඉඩකඩම් සූක්ෂමව අත්පත් කර ගන්නා නීතිඥවරුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන්  ලෙස එන ඉංජිනේරුවන් මුදල් පසුපස හඹා යන පොලිස් නිලධාරීන් විදුහල්පතිවරුන් දූෂිත දේශපාලකයින් හා විවිධ වෘත්තීන්හි නියුතු අනුකම්පා විරහිත අසතත්භාවයෙන් ක්‍රියා කරන  මිනිසුන් බිහිවන්නේ ඔවුන්ගේ පවුල් පසුබිම තුළින් ඔවුන්ට අහිමිවු ආදරය කරුණාව දයාව හා සාමකාමී වටපිටාව නිසා බව මනෝ විශේෂඥයන්ගේ මතය වේ. එසේ බිිහිවන දැනුම පමණක් උකහාගත් තරගකාරී පුද්ගලකු මුලුමහත් සමාජයටම වෛරකරන බරපතල අපරාධකරුවකු බවට පත්විය හැකියි. එනම් එවැනි බරපතල අපරාධකරුවන් දක්නට ඇත්තේ බන්ධනාගාරගවල පමණක් නොවේ. වෛද්‍යවරයකුගේ, නීතිඥයකුගේ ඉංජිනේරුවකුගේ හෝ ඕනෑම වෘත්තියක නියුතු පුද්ගලයකුගේ මානසිකත්වය තුළ එවැනි බරපතල අපරාධකරුවකු සිටිය හැකියි. 

මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ මෙසේ විකෘති මානසික ස්වභාවයකින් යුත් සෑම පුරවැසියකු තුළම ඔහුගේ හෝ ඇයගේ පූර්ණ ළමාවිය සංවර්ධනය නොවූ කනගාටුදායක අතීත කතාවක් පවතින බවයි. ඒ දුක්ඛදායක තත්ත්වය කෙරෙහි ඔහුගේ හෝ ඇයගේ මාපියන් ඇතුළු සමස්ත වැඩිහිටි පරම්පරාව විසින්ම පැහැර හරින ලද වගකීමක් තිබෙන බව අමතක නොකළ යුතුවේ. 

සමස්තයක් ලෙස ගත්කල දරුවකු බිහිකළ පමණින්  පුද්ගලයකු  මවක හෝ පියකු නොවන අතර දරුවකු අවශ්‍ය සාමකාමී වටපිටාවක් උරුමකර දෙමින් පූර්ණ ළමාවිය මෙන්ම සමස්ත ළමා කාලය තුළම ඔහුට හෝ ඇයට අවශ්‍ය පෝෂණය කරුණාව දයාව හා ආදරය ලබා දෙමින් දරුවාගේ පෞර්ෂය මනාව සංවර්ධනය කර මානුෂවාදී සැබෑ මිනිසකු හෝ ගැහැණියක වශයෙන් සමාජගත කිරීමේ වගකීම දැරීමට ඔබට හැකියාවක් නොමැති නම් දරුවන් සමාජයට බිහිකර ළමා අයිතින් උල්ලංඝනය කර එවැනි දරුවන් සමාජගත කිරීම රටේ පවතින නීතියට මෙන්ම අන්තර්ජාතික නීතින්වලටද පටහැනි වන අතර එය සදාචාරාත්මක නීතියටද පටහැනි දෙයක් වශයෙන් සැලකිය යුතු අතර එය මුලු මහත් සමාජයටම එරෙහිව සිදු කරන අපරාධයකි.

නීතිඥ සඳුන් අමරසිරි ගුණවර්ධන