ප්‍රජාතන්ත්‍රවාදය කල්ලිතන්ත්‍රවාදයක අත්අඩංගුවේ පසුවන බව සැබෑවකි. එය එම කල්ලිතන්ත්‍රවාදයෙන් නිදහස් කරගත යුතු බවද සැබෑවකි. ස්වාධීනතාව ලද මුල් කාලයේ දී ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රභුතන්ත්‍රවාදයක අණසකට යටත් විය. එහෙත් එය ඔවුන්ගේ අත්අඩංගුවට පත් වුණේ නැත. එම ප්‍රභුතන්ත්‍රයට අයත් ප්‍රභූන් වැඩි දෙනකුට අවශ්‍ය වූයේ ධනය සහ බලයට වඩා කීර්තිය සහ ගෞරවය ය. එසේම යටත් විජිත බලය හමුවේ දෙවැනි ගනයේ ප්‍රභූන් බවට පත් වී සිටි ඔවුන්ට ඩොමීනියන් ස්වාධීනතාව තුළින් ලද නිදහස ස්වදේශීය ජනයා මත සිය ප්‍රභූ අධිපත්‍යය පතුරුවා ලීමට අවශ්‍ය ඉඩකඩ සලසා දුන්නේය. ඒ මගින් පළමු ගනයේ පුරවැසියන් වූ ඔවුන් ඉන් සෑහීමකට පත් වුණා මිස ප්‍රජාතන්ත්‍රවාදය අත්අඩංගුවට ගැනීමට තරම් සාහසික වූයේ නැත.

එහෙත් පශ්චාත් යටත්විජිත ප්‍රභූන්ගේ පාලනය හෙවත් පසු යටත්විජිත ප්‍රභුතන්ත්‍රවාදය යටපත් කරමින් බලවත් වූ ලුම්පන් හෙවත් පාදඩ ප්‍රභුතන්ත්‍රවාදය අවසානයේ ජාවාරම්කාර කල්ලිතන්ත්‍රවාදයක් බවට පත් වුණේය. රටේ පුළුල් ජන සමාජයේ යහපත, මනා පැවැත්ම සහ සංතෘෂ්ටිය පිළිබඳ රැවටිලිකාර මායා මිස ඒ කෙරෙහි සැබෑ ප්‍රයෝගික සහ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මොවුන් සතු නොවීය. එවැනි වැඩපිළිවෙළක් ගැන උනන්දුවක් තිබුණේද නැත. ඒ දෙකටම අවශ්‍ය ඥානයක් තිබුණේද නැත. ඔවුන්ට රටකුත් නැත. ජාතියකුත් නැත. ආරම්භයකුත් නැත. අවසානයකුත් නැත. ස්වදේශික සම්ප්‍රදාය සහ සංස්කෘතියක් ද නැත. ඒ හේතුව නිසා පොදුජනයාට ඛේදජනක පලවිපාක ඇතිකළ සහ ඇතිකරන අර්බුදවල නිමාවක් නැත. ඒවාට එරෙහිව මතුවන ජනතා විරෝධය තම බල ව්‍යාපෘති අස්ථාවර කරන බව වටහාගත් ලුම්පන් කල්ලිතන්ත්‍රවාද සිදුකළේ සහ සිදු කරන්නේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදය අත්අඩංගුවට ගෙන සිරගත කිරීමය. අපේ රටේ මැතිවරණ නැත්තේ ඒ නිසා ය. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ අත්අඩංගුවේ යැයි මා කියන්නේ ඒ නිසා ය. නිදහස් කොට ඇත්තේ දිළිඳුකමය. නැතහොත් දරිද්‍රතාවය ය. බලනු රටක මහිම. දුටු තැන අල්ලා අත්අඩංගුවට ගතයුතු දිළිඳුකම නිදහසේ ය, ප්‍රජාතන්ත්‍රවාදය අත්අඩංගුවේය.

මේ රටේ ව්‍යවස්ථා සම්පාදක වෘත්තිකයන්ට, කුලභේදය ඉහළින්ම නඩත්තු කරන සහ මහජන දිනයට කුල අනුව ජනයා වර්ග කොට වෙන වෙනම කාමරවල ගාල් කරන වර්ගවාදී පාලකයන්ට  සහ බොහෝ පාරජාතික (ජාතිකත්වයක් නොමැති) “රැඩිකල්” බුද්ධිමතුන්ට අනුව මෙරට ජාතික අර්බුදයක් ඇත. ජාතික ප්‍රශ්නයක් ඇත. ඔවුන්ට අනුව ඒ වනාහි ජාතීන් අනුව පාලන බලය පංගු නොකිරීම නිසා ඇතිවූ අර්බුදයකි, ප්‍රශ්නයකි. එහෙත් එය ඉදිරියට දමා ඇත්තේ බල පංගු හරි හරියට බෙදා ගැනීමට දඟලන පාලක ප්‍රභූන්ගේ වුවමනාවක් නිසා මතුවුවක් ලෙස නොව  ජනතාවට බල පංගු   නොලැබීමේ අර්බුදයක් ලෙසය. මේ හරහා ජනයා අති දැවැන්ත මුළාවකට ලක් කොට ඇතිවා සේම සැබෑ ජාතික ප්‍රශ්නය අර්බුදය සඟවා ඇත. ඇත්තටම නම් පොදු මහජනතාවට කවදාවත් ලැබුණු බලයක් නැත. ලැබුණත් ඒ ඉතා ටික කාලයකටය. ටික දවසකටය. සමහර විට මැතිවරණ දිනයට ය. දැන් නම් ඒකත් නැත. සිංහල ජාතියට, දෙමළ ජාතියට හෝ මුස්ලිම් ජාතියට බලය ඉල්ලන බව පෙන්වමින් එකී ජාතීන්ට අයත් ජනයා මුළාවේ දමන රවටන බොරුකාරයන් වංචා කාරයින් සහ කපටියන් රෑනකට මේ ජනයා තවදුරටත් රැවටීමට ඉඩ නො දිය යුතුය.

පාලකයන් සහ ඔවුන්ගේ ව්‍යවස්ථා සම්පාදකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පාරජාතික බුද්ධිමත්හු මේ ඊනියා ජාතික ප්‍රශ්නය වටේ දශක ගණනාවක් තිස්සේ කැරකුණහ. අනේක විධ ව්‍යවස්ථා සම්පාදන, සංශෝධන ​ෙගන ආහ. ප්‍රතිපත්ති සම්පාදනය කළහ. ඔවුන් දුටු ඊනියා ජාතික ගැටලුව විසඳූ සැණින් සියලු අර්බුද නිමවී සදාකාලික වසන්තයක් උදාවනු ඇති බවට අනේක විධ පණ්ඩිතමානී තර්ක ඉදිරිපත් කළේ ඒවා පිටුපස ඇති ධන බල අරමුණු සහ අනුග්‍රහ වසන් කරමිනි. අනෙකුත් සියලු ආර්ථික, සංවර්ධන, සුබසාධන, සමාජ යහ පැවැත්ම, නීතිය සහ පිළිවෙළ  සහ සමාජ සංතෘෂ්ටිය කෙරෙහි දැක්වූයේ ඉතාම අඩු අවධානයකි. අවසානයේ ඒ ඊනියා ජාතික ප්‍රශ්නය විසඳුණේත් නැත. සැබෑ ජාතික ප්‍රශ්නය හඳුනා ගැනුණෙත් නැත. විසඳුණේ දේශපාලකයන්ගේ ධන බල ගැටලු පමණක් ම ය. නටාපු තොවිලෙත් බෙරේ පළුවත් නැති වුණේ රටේ ජනතාවට ය. ඒ නිසා මෙවර ලිපියේ අරමුණ සැබෑ ජාතික ප්‍රශ්නය සහ ඊට බලපෑ මූලික සාධකය හඳුනා ගැනීමට ආරම්භයක් ගැනීමය. ඒ මගින් බෙරේ පළු දෙකම බේරාගෙන කපටින් එළවා දමන තොවිලයක් නැටීමට ජනයා දැනුවත් කිරීම ය. 

සත්‍ය වශයෙන්ම අප හමුවේ ඇති, රට හමුවේ ඇති සියලු අවශේෂ අර්බුද ජනනයට පාදක වන ජාතික ප්‍රශ්නය නො එසේ නම් ජාතික අර්බුදය  කුමක් ද?ඒ ජාතික අර්බුදයට හේතුවූ ප්‍රධාන සාධකය කුමක්ද?මෙතැන් සිට ලිපිය ඒ අරබයා ය.

මේ රටේ පොදු මහජනයා මුහුණ දී සිටින, සියලු අවශේෂ අර්බුද ජනනයට පාදක වන ජාතික ප්‍රශ්නය නො එසේ නම් ජාතික අර්බුදය  දුප්පත්කම ය. දරිද්‍රතාවය ය. දිළිඳුකම ය. ඒ ජාතික අර්බුදයට හේතුවූ ප්‍රධාන සාධකය රාජ්‍යයේ අසංවිධානාත්මක බවය. අවිධිමත් බවය. එනම් ජන මූලික රාජ්‍යවාදයක් නො පිළිපැද සහචර කල්ලි මූලික තිප්පොළක් ලෙස රාජ්‍ය පවත්වාගෙනයාම ය. ඊට අදාළ දසදහස් ගණනක් වූ සිදුවීම්වලින් කීපයක් නිදසුන් ලෙස ගනිමු.

“රේගුව මෙහෙයවන්නේ එක්තරා ව්‍යාපාරික මාෆියාවක්”. මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ මේ බරපතළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ මා කියූ රාජ්‍යයේ අවිධිමත්බව, අසංවිධානාත්මකකම සහ ජනමූලික රාජ්‍යවාදයක් නඩත්තු කිරීමට නොහැකිකම ය. රාජ්‍යයක් සංවිධානය කිරීම යනු විවිධ ධන බල අරමුණු ඇති සහචර කල්ලි සහ පුද්ගලයන් ඒ ඒ තැන්වලම හිඳිමින් රාජ්‍ය බලය සහ සම්පත් සාහසිකව බෙදාගැනීමේ ක්‍රියාවලිය සංවිධානය කිරීම නොවේ. රටේ පොදුජන සහ බහුජන යහපත ඉෂ්ට සිද්ධ කරගැනීමට හැකි අයුරින් විධිමත් කේන්ද්‍ර-පරිවාර ජාලගත ක්‍රමයක් මගින් රාජ්‍ය බලය සහ සම්පත් විසරණය කිරීමය. ඒ විසරණය පදනම් විය යුත්තේ පොදුජන යහ පැවැත්ම අරමුණු කරගත් ජාතික අභිලාෂ මතය. ඒ ජාතික අභිලාෂ රාජ්‍යයේ දාර්ශනික සහ අාධ්‍යාත්මික පදනම විය යුතුය. අපට නැත්තේ එයය. ඒ දාර්ශනික සහ අාධ්‍යාත්මික දිළිඳුකම ජාතික දිළිඳුකමේ සියලුම අකාරයේ රූපකායන් නිර්මාණය වීමේ අති මූලික සාධකය බව අප වටහාගත යුතුය. නාමිකව රටක් රාජ්‍යයක් තිබුණද ඒවා සැබෑවල් වීමට අවශ්‍ය පදනම් අප ගොඩනඟාගෙන නැත. ඒ නිසාම මේවා හිස් සහ බොල් ආකෘති ය.

ආනයනික කිරිපිටිවල විස රසායනික ඇතැයි වාර්තා වූයේ අද ඊයේ නොවේ. කිරි පමණක් නොව, මස්, ආනයනික පලතුරු, එළවළු, ධාන්‍ය, බීම, සීනි, ලූනු, අල, කුළුබඩු, මිරිස්, ටින් කෑම, ක්ෂණික කෑම වර්ග, කරුංකා, ඖෂධ, මල්, බීජ, රසායනික ද්‍රව්‍ය, පොහොර, සහ සත්ව ආහාර යන මේ සියල්ල හරහා රටට, මහපොළොවට  ජන සමාජයට එකතුවන විස අපමණය. එහෙත් ඒ විස එකතුවීම වැළැක්වීම සඳහා වූ විධිමත් සහ දියුණු තාක්ෂණික  ක්‍රම, උපක්‍රම, උපකරණ සහ වෙසෙසියන් සහිත විධිමත් වැඩ පිළිවෙළක් රට සතුව නැත. එවැනි පසුබිමක පාර්ලිමේන්තුවේ 225 ට දෙන කිරිවල විස ඇත්දැයි පරීක්ෂා කිරීම හදිසි කටයුත්තක් වන්නේ රට සහ ජනතාව යනු තමන් පමණක් ය යනුවෙන් ඔවුන් සිතා සිටින නිසා විය හැකිය. 

මෙරට රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය වැඩකරන්නේ රටවල් දෙකක් ලෙසය. ජනමූලික රාජ්‍යවාදී සම්බන්ධයක් හෝ සම්බන්ධීකරණයක් ඒ අංශ දෙක අතර නැත. බොහෝ දුරට ඇත්තේ සහචර කල්ලි සම්බන්ධයක් සහ සම්බන්ධීකරණයක් පමණි. සුරැකුම් පත් ජාවාරම් සහ තවත් මහබැංකු ජාවාරම්, එමෙන්ම ඖෂධ, කරුංකා සහ ගම්මිරිස් ජාවාරම් ඊට උදාහරණ කීපයක් පමණි. එහෙත් නෝර්වේ සහ ෆින්ලන්තය වැනි දිළින්දන් ඍණ අගයක් ගන්නා දියුණු ජනමූලික රාජ්‍යවල මේ දෙඅංශයම මෙහෙයවන මෙහෙයුම් දර්ශනය වන්නේ ජාතික අභිලාෂය ය. ඒ අභිලාෂ රාජ්‍යය සතුය. ඒවායින් පිටපැනීමට හෝ ඒවා මඟ හැරීමට පෞද්ගලික අංශ උත්සාහ නොකරති. ඒ නිසා ඒවා සංවිධානාත්මක පදනමක් සහිත විධිමත් රාජ්‍යය. 

ක්ෂුද්‍ර මුල්‍ය ජාවාරම ගැන සිතන්න. දිළින්දන් නඟා සිටුවීම සහ ඔවුන්ට පිළිසරණක් වීම දඩමීමා කර ගනිමින් රට පුරා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මුල්‍ය ජාවාරම සහ ජාවාරම්මු ගම්මාන පිටින් බිලිගෙන සිටිති. බිලි ගනිමින් සිටිති. ජනයා තම උපන් ගමේ ම නිවටයන් සහ අසරණයන් බවට පත් කොට ඇත. ක්ෂුද්‍ර මුල්‍ය ජාවාරම්කාර දාමරිකයන්ට බියෙන් ගම් බිම් අතහැර යෑමට ජනයාට සිදුවී ඇත. ඒ සියල්ලට හේතුව මුල්‍ය කළමනාකරණය, මුල්‍ය සහ ෆිස්කල් ස්ථාවර භාවය සහ රටේ මුල්‍ය විනය ජනමූලික රාජ්‍යවාදයක් සමඟ පෙළ නොගස්සවන අසංවිධානාත්මක රාජ්‍ය ක්‍රමය ය.

ජාතික ආණ්ඩු උපක්‍රමය සහ පළාත් සභා මැතිවරණ කල් දැමීම යනු ඒ අසංවිධානාත්මක රාජ්‍යකරණයේ ප්‍රතිඵල ය. ඒ සියල්ල මැද පාලකයන් හඬගාන ප්‍රජාතන්ත්‍රවාදය ජනයාගේ එකක් නොව ඔවුන් වෙනුවෙන්  ඔවුන් විසින්ම පවත්වාගෙන යන්නක් මිස ජනයාගේ එකක් නොවේ. ඉන් නැතිවී ඇත්තේ පාලකයන්ගේ මිස ජනයාගේ දිළිඳුකම නොවේ. ජනයා සතුවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදය පාලකයන්ගේ අත්අඩංගුවේ ය. ඒ නිසා ජනයා සදාකාලික ජාතික අර්බුදයක් වූ දිළිඳුකමේ කරවටක් ගිලී ගොස්ය. රාජ්‍යය අසංවිධානාත්මකය. දැන් කළ යුත්තේ කල්ලිතන්ත්‍රවාදයක අත්අඩංගුවට පත් වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය නිදහස් කරගෙන  සහ දිළිඳුකම සිරගත කිරීමය. ඒ සඳහා දිළිඳුකම එකම ජාතික අර්බුදය ලෙස ගන්නා ජනමූලික සංවිධානාත්මක රාජ්‍යකරණයක් කෙරෙහි මහජන අවධානය යොමුවිය යුතුමය. එසේම සියලු පාර්ශ්ව දිළිඳු සතුරු පෙරමුණට එරෙහි ජන හමුදාවක් බවට පත්වී කටයුතු කළ යුතුම ය.