තරිඳු ජයවර්ධන
සහ බිඟුන් මේනක ගමගේ
‘මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා. මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’
එලෙස කීවේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියකි. ඇයට දැන් බනින්නේ ඇගේ ඇස් පෑදීමට සිටින ගුරුවරුන් සහ වැඩිහිටි පිරිසකි. මේ සිඟිත්තියට ‘ඒඞ්ස්’ රෝගය වැළඳී ඇතැයි කියමින් පාසලේ ගුරු පිරිසක් සහ ඇය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් වෙනස්කම් කරති. දැරිය පාසලට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගනිති. ඔවුන්ගේ සිත්හි කරුණාව, මෛත‍්‍රිය නැතත් මේ කුඩා දැරියට ඔවුන් කෙරෙහි වෛරයක් නැත. ‘මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ ඇය කියන්නේ ඒ නිසා විය යුතුය.
දැරිය ඉගෙනුම ලබන්නේ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසලකය. දැරිය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි ඇගේ පාසලේ නම මෙන්ම ඇගේ පවුලේ උදවියගේ නම් ගම් ද භාවිත නොකරමු.
ඇය එම පාසලට ඇතුළත් කරනු ලැබුවේ මීට වසර හතරකට පෙරය. දැරිය දැන් ඉගෙනුම ලබන්නේ හතර වැනි ශ්‍රේණියේය. ඉගෙනුම අතින් මේ සිසුවිය එම පාසලේ අන් සිසුන් පරදා පෙරමුණේ සිටින්නීය. පසුගිය වසරේ පළමු, දෙවැනි සහ තුන්වැනි වාරාවසාන විභාග තුනෙන්ම ඇය පන්තියේ පළමු වැනියාය. 2016 වර්ෂාවසාන විභාගයේ ඇය පන්තියේ පළමු වැනියා වූයේ සියලූ විෂයන්වලට ලකුණු 89.16ක සාමාන්‍යය අගයක් ලබා ගනිමිනි.
සිදුවූ අසාධාරණය ගැන සොයා බලන්නට අප එහි යනවිට දැරිය ‘පියා’ සමඟ පාර අයිනට වී සෙල්ලම් කරමින් සිටියාය. ‘ඒඞ්ස්’ යනු කුමක්දැයි ඇය දන්නේ නැත. ඇය දන්නේ තමාට පාසලට එන්නට නොදී කරන කෙනෙහිලිකම් ගැන පමණි. පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු සහ මව්පියන් කිහිප දෙනෙකු නිතර නිතර ‘ඒඞ්ස් හැදුණු ළමයා’ යැයි චෝදනා කරන නිසා දැරිය ඇය හදා වඩා ගන්නා මාපියන්ගෙන් නිතර අසන්නේ ‘ඒඞ්ස් කියන්නේ මොකක්ද?’ කියා පමණි.
දැරියගේ මවට තවත් පුතකු බිහිවූ පසු දැරිය හදා වඩා ගැනීමට බාර කෙරුණේ මවගේ නැගණියටය. නැගණිය ඇගේ සැමියා සමඟ දරුවා රැක බලා ගත්තාය. දැරිය පාසලට බාර දෙන දිනයේ පාසලට පැමිණියේ මවයි. ඉන් පසු ඇය පාසලට නොගිය අතර දැරිය මව සහ පියා යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නේ ඇය රැක බලාගන්නා දෙදෙනාටය. කාලය මෙසේ ගතවෙද්දී දැරිය වැඳු මවට ‘එච්.අයි.වී’ ආසාදනය වී ඇතැයි ඇතිවූ සැකයක් මත පරීක්ෂණයකට බඳුන් වූවාය. ඉන් පසු ඇය ඒඞ්ස් මර්දන ව්‍යාපාරය සමඟ ළඟින්ම කටයුතු කරමින් ඒඞ්ස් රෝගය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වූවාය.
මීට මාස දෙක තුනකට පෙර රූපවාහිනී නාලිකාවකින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම කාන්තාවද දැනුම්වත් කිරීම් සිදුකරන අයුරු පෙන්වීය.
ඇය නිතර පාසලට නොපැමිණියත් දැරිය බාරදෙන දිනයේ පාසලට ගිය මතකය මාපියන්ට සහ ගුරුවරුන් කිහිප දෙනෙකුට තිබිණි. රූපවාහිනී වැඩසටහනෙන් මාසයකට පමණ පසු එම වැඩසටහන ජංගම දුරකතනයකින් පාසලේ තවත් පිරිසකට පෙන්වා තිබුණේ ගුරුවරියකි. ඉන් පසු කට කතාවලට අත්තටු ලැබුණා මෙන් විය. ‘අහවල් ළමයාගේ අම්මටත් ඒඞ්ස්. ළමයටත් ඒඞ්ස්.’ යනුවෙන් කට කතා පැතිරෙන්නට විය. එම දැරිය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන්ගේ කණටද එම කතාව යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. පාසලේ ගුරුවරු කිහිප දෙනෙක් සහ දෙමාපියන් කිහිප දෙනෙක් එක්ව නිරෝගී දැරිය රෝගී දැරියක ලෙස හංවඩු ගැසූහ. දැරිය දකින දකින අවස්ථාවල ‘ඒඞ්ස් හැදුණු ළමයා’ යැයි කියමින් ඇය කොන් කරනු ලැබුවාය.
‘එච්.අයි.වී’ යනු සුළඟින්, අතපත ගෑමෙන් බෝවන කැස්සක්, උණක් මෙන් රෝගයක් නොවන බව හත සහ අට ශ්‍රේණිවල සෞඛ්‍ය පොතෙන් පවා කියා දෙද්දී ඒවා කියා දෙන්නට සිටින ගුරුවරු පිරිසක්ද අනිසි බියක් මවා ගනිමින් දැරිය පාසල් ඒම වැළැක්වීමට උත්සාහ ගත්හ. ‘ඒඞ්ස්’ රෝගය වැළඳී තිබුණ ද එය සුළඟින් හෝ අතපත ගෑමෙන් බෝ නොවන රෝගයක් නිසා ‘ඒඞ්ස්’ වැළැඳුණු පුද්ගලයන් ඈත් නොකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙද්දී කිසිදු රෝගයක් නැති මේ සිසුවිය දිනෙන් දින පාසලෙන් කොන්වන්නට විය.
මේ අතර පසුගිය සතියේ දිනක ඇය හදා වඩා ගන්නා මාපියන්ට පාසලෙන් කැඳවීමක් ලැබිණි. ඒ අනුව ඔවුහු පාසලට ගොස් විදුහල්පති හමුවූහ.
මාපියන් කැඳවූ හේතුව පැහැදිලිව ප‍්‍රකාශ නොකළ විදුහල්පති සිය පුටුවෙන් නැගිට ගිය අතර පාසලේ වගකීමක් ඇති තවත් ගුරුවරියක් කතාව ඇරුඹුවාය. දැරියට ඒඞ්ස් වැළඳී ඇතැයි යන කතා නිසා දැරිය පාසලට පැමිණීම ගැන අනෙක් මාපියන් තරහෙන් පසුවන බව කී එම ගුරුවරිය මේ දැරිය පාසලෙන් ඉවත් කරගෙන යන ලෙස දැන්වූවාය. විදුහල්පතිද පසුව එම මතයේම සිටියේය.
එතැන් සිට දැරිය පාසලට යද්දී දෙමාපියෝ පිරිසක් වරින් වර දෙස් දෙවොල් තැබූහ. දැරිය පාසලට එද්දී අනිත් දරුවන් පාසලෙන් ඉවත් කරගෙන ගියහ.
‘පන්ති භාර ටීචරුයි, ඉංග‍්‍රීසී ටීචරුයි තව කීප දෙනකුයි විතරයි දුව ගැන කාරුණික වුණේ. දුව ගැන හොයලා බැලූවේ.’ යැයි දැරිය රැක බලාගන්නා මව විස්තර කරද්දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරිය දුවගෙන ආවාය.
‘දුව කැමැතිම මොනවා ඉගෙන ගන්නද?’
‘මං කැමැතිම ඉංග‍්‍රීසි ඉගෙන ගන්නයි.’ කියමින් ඇය ලස්සන අත් අකුරු සහිත ඇගේ ඉංග‍්‍රීසි පොත ගෙනැවිත් පෙන්නුවාය.
‘කවුද දූ කැමැතිම ටීචර්?’
‘මං කැමැතිම ඉංග‍්‍රීසි ටීචර්ටයි, අපේ ටීචර්ටයි.’ ඇය ‘අපේ ටීචර්’ යැයි කීවේ පන්ති භාර ගුරුවරියටය.
යළි දැරිය එතැනින් ඉවත්ව ගිය පසු මව කතාව ඇරැඹුවාය.
‘මේ දරුවා හරිම දක්ෂයි. හැමදාම පන්තියේ පළමුවැනියා. කොට්ඨාස, කලාප තරගවලිනුත් දිනලා තියෙනවා. දුව හරිම කැමැතියි ඉස්කෝලේ යන්න. ඉස්කෝලෙන් ආපහු එන්න වුණු දවසේ තමයි දුව අර චිත‍්‍රය ඇන්දේ.’ මව චිත‍්‍රයක් පෙන්වමින් කීවාය. ඒ සිතුවමෙහි වූයේ සිසුවිය මව සහ පියා සමඟ පාසලට යන අයුරුය.
‘දුව දහම් පාසල් යනවා. අපි හිතුවේ මේ ප්‍රශ්නය නිසා දරුවා දහම් පාසල් යවන්නත් බැරි වෙයි කියලා. නමුත් හාමුදුරුවො කතා කරලා පන්සලට එන්න කියලා කිව්වා දරුවා දිගටම දහම් පාසල් එවන්න කියලා. ඒක අපට ලොකු අස්වැසිල්ලක්. අපි නිතරම පන්සල් යනවා. මල් පහන් පූජා කරලා ප‍්‍රාර්ථනා කරන්නේ ඒ පිනෙන් හරි මේ දරුවගේ ප‍්‍රශ්නය විසඳෙන්න කියලයි.’
‘දුවට ගෙනියන්න ජාතික කොඩියයි සිංහ කොඩියයි ගේන්න නගරයට යන්න ඕනෑ.’ යැයි මව කියද්දී හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණිය මව නිවැරදි කරමින් ‘ජාතික කොඩියයි සිංහ කොඩියයි කියන්නේ එකමනේ.... මට ඕනෑ ජාතික කොඩියයි රාජ්‍ය ලාංඡනයයි.’ කීවාය.
දැරියට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ඇත්තේ තවත් වසරක පමණ කාලයකි. ‘මට ශිෂ්‍යත්වය ලියන්න ලැබෙයි නේද?’ දැරිය නිතර මාපියන්ගෙන් විමසන්නීය.
‘දැන් මේ පාසලේ තවදුරටත් ඉන්න අමාරුයි වගෙයි. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ දරුවට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියලා විතරයි. දරුවාට ගැටලූවක් නැතිව ශිෂ්‍යත්වය ලියන්නවත් පාසලක් ලැබුණොත් හොඳයි.’ පියා අවසන් වශයෙන් කීවේය.
මෙම සිද්ධිය විද්‍යුත් නාලිකාවක විකාශය වීමත් සමඟ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පසුගිය 27දා විමර්ශනයක් ආරම්භ කළේය.
කිසිම හේතුවක් නිසා දරුවකුගේ අධ්‍යාපන අයිතිය ඇහිරිය නොහැකි බව මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් කීවේය.
(දැරියට පාසලේ ගැටලූ පැමිණිදා ඇය ඇඳි සිතුවම)
(දැරියගේ සාධන වාර්තාව)

(දැරිය දළදා මාළිගාව සිතුවමකට නඟා ඇති අයුරු)

(ඇය විසින් ලියන ලද වැකියකි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කියවන්නේ දෙදහස් පන්සියයක ඉතිහාසයක් ඇති අපි, ලොවේ සියලු දියුණු යැයි සම්මත ජාතීන්ට වඩා ගුණ දහමින් පිරුණු ජාතියක් බවයි. නමුත් ඇත්ත තත්ත්වය නම් අපි තවම ඉන්නේ සෝමාලියාව, ඉතියෝපියාව, ඇෆ්ඝනිස්තානය, එහෙම නැතිනම් උතුරු කොරියාවටත් පහලින් බවයි .
බලධාරින් කියා ගන්න කොලඹට වෙලා සීත කාමර වල ඉන්න අය මේවා ගැන බලන්නේ නැද්ද? ඒ අයට ඕනේ කාර් පර්මිට් විතරමද?
ඇමෙරිකාවේ මේක වුනානම් අර දෙමුපියන්ට නඩු දාල බර වන්දියක් ළමයට ලැබෙනවා. ඔය කොන් කිරීම් වලට කිසිම ඉඩක් නැහැ
මේ දරුවාගේ ඉගෙනීම කඩාකප්පල් වුනොත්, විරෝධය දක්වන අයට ඒ පවෙන් බේරෙන්න බැරි වෙයි!!!
ඇත්තටම මේ වගේ දේවලට එරෙහිව ගැලපෙන ආකාරයට නීති රීති සැකසිය යුතුයි. මේ දක්ෂ ළමයාගේ ජීවිතේ විනාශ කරන්න කවුරුහරි කෙනෙක් ආරම්භ කල දෙයක් වෙන්න ඇති.
මේවා දකිද්දි මතක් වෙන්නේ ආගමයි ජාතියයි ඉස්සරහට ගෙන මරහඬ දෙන දේශපාලන රංචුව සහ ඒවාට උඩ ගෙඩි දෙන කට්ටියව,
එක කට්ටියක් හිතාගෙන ඉන්නේ දොස්තරලා වෙන්න ඕන ඔවුනුත් ඔවුන්ගේ දරුවනුත් විතරයි කියලනේ ඒ කට්ටිය රාජකාරිය අමතක කරලා විවිධ දේවල් කරනවා මේ දුවත් කවද හෝ දොස්තර කෙනෙක් වෙනවලු තමන්ගේ සනුහරෙන් පිට කෙනෙකුට දොස්තර කෙනෙක් වෙන්න ඉඩ දෙන්න බැහැ
මෙම දරුවාව රුධිර පරික්ෂාවක් කරලා දරුවට HIV තියනවද කියල බලන්න.
අපේ රටේ සමහරු කියන්නේ ලෝකෙන්ම උතුම් රට ලංකාවයි කියල නේද? උතුම් රටේ අන්ද මිනිසුන් නිසා වැනසෙන මල් කැකුළු වලට අයිති මහා පාරද ?????.....
H I V ආසාදනය ගැන හරි හැටි තේරුමක් නොමැති කමේ විපාකයයි මේ.ලෝ ප්‍රකට පැසිපන්දු ක්‍රීඩක මැජික් ජොන්සන් එම රෝගයෙන් පෙළෙන නමුත් ඔහු වැඩිපුර ගැවසෙන්නේ සමාජය අතරේය කිසි කෙනෙක් ඔහුට අගෞරව නොකරයි. ඔහුව අතර මග දකින ජනයා ඔහුගේ කරට අත දමාගෙන ඡයාරූප ගැනීම ඉතා සුළභ දසුනක්,එහි තේරුම සමාජය එම ආසාදනය පිළිබඳව දැනුවත්ව සිටීමයි. ඔය දරුවාට එවැනි රෝගයක් තිබෙනවාද නැද්ද තිබුණත් එම දරුවාට ඔය නුගත් පාසැලේ ආචාර්යවරුන් හා වැඩිහිටියන් කල නොහොබිනා ක්‍රියාව මිනිස් අයිතිවාසිකම් උපරිමයෙන් උල්ලංගනය කිරීමක් . ඔවැනි විෂමාචාරයක් දියුණු සමාජීය රටක කලානම් නවතින්නේ විශාල වන්දි ගෙවීමකටද යටත්ව යකඩ කූරු ඇතුලේය ...
ලංකාව ගැන UNHRC බලන්න ඕන මෙන්න මේ මානව හිමිකම් කඩවීම් ගැන නොවේද?
ඔය ළමයා ඉස්කෝලේ යනවා හොඳට. කිසි ප්‍රශ්නයක් නැහැ. ගුරුවරුන්ගෙන් ඔය කියන විදියේ බලපෑමක් නැහැ. ළමයා පව් .. දැන්වත් ඇත්ත හොයල ළමයටයි ගුරුවරුන්ටයි සාධාරණයක් කරන්න වගකිවයුතු අය ඉදිරිපත් උනොත් හොඳයි..
අපි මේක පොඩ්ඩක් අර විමල් අයියට කිරිපොවපු හාමුදුරුවන්ටවත් කියලා බලමුද?
බොරු පණ්ඩිත වාක්‍ය ලියනවට වඩා ඒ ළමයට උදව් කරන්න ඉදිරිපත් වුනොත් නේද වටින්නේ.
ඒ මොකටද ? නොදන්නා දේවල්වලට උපදෙස් නොදී හිටිය නම් නේද හොඳ....
මේ දරුවාගේ රුධිර පරීක්ෂාවක් කරලා විදුහල්පතිතුමා දැනුවත් කලානම් ඇතිනේ. එතකොට විදුහල්පතිතුමාට පුළුවන් පාසලේ අනික් අය දැනුවත් කරලා ප්‍රශ්නේ විසඳ ගන්න.
රුධිර පරීෂණ කරන කාරණය ඔබට අයත් කරුණක් නොවේ. එය ඔවුන් කරගනීවි. නමුත් මුලික අයිතීන් සදහන් කරන්න.
ඔය කතාව බොරු .ඔය ළමයා ඉස්කෝලේ යනවා .ගුරුවරුන්ගේ වරදක් නැහැ .ළමයාගේ අම්මට ඕන ළමයාව ලංකාවේ හොද ඉස්කෝලෙක දාන්න ඉස්කෝලෙන් ප්‍රතික්ෂේප කරනවා කියල .ඒ නිසා බොරු කියනවා ගුරුවරු වෙනස්කම් කරනවා කියලා .දෙමව්පියන්ගේ ගම්වැසියන්ගේ විරෝධතා වෙද්දී ළමයව රැකගන්න ගුරුවරු හැදුවා. එත් වුනේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුනා වගේ වැඩක් .. ඉස්කෝලෙට ගිහින් බලන්න පුළුවන් ඕන කෙනෙකුට ඇත්ත තත්වය ...ඇත්ත නොදැන ඒ ගුරුවරුන්ට දොස් කියන්නෙපා .මන් ඔය පාසල ගැන දන්නවා අපේ ගමට ආසන්න නිසා .ළමයි 40 වගේ ඉන්නේ .ඔය ළමයාගේ පන්තියේ ඉන්නේ ළමයි 10 හෝ 12 .වැහෙන්න ගිය බලධාරීන් නොදුටු පාසලක්.ගුරු මණ්ඩලය කැපවෙලා තමයි ඔය තත්ත්වෙට ඉස්කෝලේ තියන් ඉන්නේ . ටීචර්ලා ළමයින්ට කෑම සපත්තු ඇඳුම්පවා දෙනවා තමන්ගේ සල්ලි වලින්. ශිෂ්‍යත්වයට ළමයින්ට උදෙත් හවසත් උගන්නනවා..ළමයි ආවේ නැත්නම් ගෙදරට ගිහින් හොයන් එනවා. එහෙම ගුරුවරුන්ට දොස් කියද්දී සත්‍ය දාන්න අපිට හරිම දුකයි .සම්මාන ලැබෙන්න ඕන අයට අවමානය ..මන් කිව්වේ 100% ඇත්ත තත්වය .. ඉස්කෝලෙට ගමේ ළමයි දන්නේ නැහැ .හේතුව අවට ප්‍රාථමික පාසල් 2ක් තියනවා පාර ආසන්නයේ .මේ ගම තුල පාසලක් .කොන් කරලා තියෙන්නේ.
දැරිය මෙම පාසලට අවුරුදු 04 ක් දැනට ගිහින් තියෙනවා. මේ වෙනතෙක් කිසිම ගැටළුවක් ඇතිවෙලා නැහැ. දන්නා විදියට ලඟදි දැරියගේ මව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තිබෙනවා දැරියට ඒඩ්ස් තියෙනවා කියලා. මවක් විදියට ඇය එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කරන්න කලින් තමන්ගේ අහිංසක දරුවා ගැන හිතන්න තිබුණා. ඒ වගේ තත්වයක් තුල පාසලේ අනිත් දෙමව්පියන්ගේ බය අසාධාරණයි කියන්න අපිට අයිතියක් නැහැ.. මොකද කුඩා නොදන්නා ළමයින් අතර වෙන සමහර තුවාල කරගැනීම් වලින් රෝගය බෝවෙන්නේ නැහැ කියලා තවම ඔප්පුකරල නැති නිසා. පවතින නීති වලට අනුව දැරියගේ දෙමාපියන්ට පමණයි වෛද්‍ය වාර්තාවකින් දරුවට රෝගය නැහැ කියල ඔප්පු කරන්න පුළුවන්. ඒ අය එක කරන්නේ නැති එක ගැටළුවක්. දරුවට ඇත්තටම රෝගය තියෙනවනම්, අපේ රටේ මොනවහරි ක්‍රමයක් තිබිය යුතුයි ඒවගේ දරුවන්ට ප්‍රතිකාර හා අධ්‍යාපනය ලබාදෙන්න. ගුරුවරු සහ පාසලේ පරිපාලනය ළමයාට අසාධාරණයක් කරනවා කියල හිතන්න අමාරුයි. මොකද අනිත් දෙමව්පියන්ගෙන් එල්ලවන පීඩනය යටතේ සහ අදාල ආයතන වල නිදි බර ක්‍රියා මාර්ග හමුවේ, දරුවට අනිත් අයගෙන් දැන හෝ නොදැන වෙන කෙනෙහිලිකම් නවත්වමින් පාසැල සාමකාමීව පවත්වන්න වෙන ක්‍රමයක් නැතිනිසා.
මෙහි ඇත්ත තත්වය පැහැදිලි නැහැ . කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ යන්න ගැටලුවක් වාර්තා ඉදිරිපත් කල අයට දැන් තව වග කීමක් තියනවා පහදන්න.
මේ දරුවා එච් .අයි .වී . පරීක්ෂණයට යවන්න. පොසිටි ව් රිසල්ට් එක පාසලේ කාටත් පෙන්න තබන්න. බිය හා සැකය එතනින් ඉවරයි. 1984 - 1985 වසරවල ඇමෙරිකාවේ පොදු නාන තටාකවල නාන්ටත් මිනිස්සු බය වුනා. දැන් රෝගය ඇති අය සමග ඇසුරු කරන්ට, එකට කන්ට බොන්ට කවුරුත් පුරුදුවෙලා. දරුවා කොන්කරන බව සැබෑනම් , ඔවුන්ට විරුද්ධව නඩු මගට යන්න දෙමාපියන්ට පුළුවන්.
ළමයට එඩ්ස් තිබුනත් නැතත් එක කාටවත් අදාල නෑ වහාම විදුහල්පතිවරිය ඇතුලු අයට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න මෙහෙව් ගුරුවරු ඉන්න රටක් හදන්නේ කොහොමද අධ්‍යාපන අයිතියක්. අධ්‍යපනයෙන් ලමයි පිටමන් කරන්න බැ කාටවත්
මට කනගාටුයි මේ අහිංසක ළමය ගැන.පලකරන අදහස් වලින් පෙනෙන්නේ කාගේ හරි පෞද්ගලික යටි අරමුණක් ඉටු කරගන්න ඉතාම රහසිගතව සිදුවිය යුතු දෙයක් ප්‍රසිද්ද කරලා ළමයාගේ මුළු අනාගතයම විනාශ කරන්න හදනවා කියල.හොඳ වෙලාවට ලංකාවේ අයට මුල ඉක්මනට අමතක වෙනවා.සමහරු බොර දියේ මාළු බානවා කියලත් පැහැදිලි මම හිතන්නේ අදාල බලදාරින් සීතල කාමර වල ඉඳන් පොර ටෝක් දෙනවට වැඩිය අදාල පාසලට පැමිණ සාධාරණ පරීක්ෂණයක් කරලා විසඳුමක් දෙනඑක තමා හොඳ.විශේෂයෙන්ම මේක පස්සේ ඉන්න NGO මහත්වරු නොනලගේ අරමුණු හොයන්න මම හිතන්නේ වෙනම පරීක්ෂණයක් කරන්න වෙයි.
ගුරුවරුනුයි දෙමව්පියෝයි ඔක්කොම ගොන්නු. ළමයාගේ අම්මත් කියනවනම් HIV ටෙස්ට් එකක් කලානම් ඉවරයිනේ එක එකාට දොස් කියා කියා ඉන්නැතුව.
ඔය දරුවාට අවලාද නගන අයගේ රුදිර පරීක්ෂා කොලොත් ලෝකෙත් නැති ලෙඩ හොයාගන්න පුළුවන් වේවි.
නඩු දන්නා පුළුවන් විදුහල්පතිට සහ අනෙත් වගකිවයුතු ගුරුවරියට. ඊට එහාට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පුළුවන් ඉස්කෝලේ සහ දෙමාපියන් දැනුවත් කරන්න.